Gossip

“කළු ගලක් අරන් ඔළුවට ගැහුවා. මම හිතුවේ ජෝති අයියා මැරුණා කියලා.” පංචිකාවත්තේ යකඩ කුරුල්ලන්ට අඩුපාඩු සකසන, විකුණන නීල් අයියා අවදි කළ එච්.ආර්. ජෝතිපාලගේ මතකය

ඔහු නන්දසේන අල්විස් අප්පුහාමිය. කවුරුත් දන්නා කියන නීල් අයියාය. පංචිකාවත්තේ යකඩ කුරුල්ලන්ට අඩුපාඩු සකසන විකුණන ඔහු මේ වන විට 75වැනි විය සපුරමින් තම ජීවිතයේ සැඳෑ සමය ගතකරමින් සිටින්නේය. ඔහු දශක තුනකට අධික කාලයක් රටක් වසඟ කළ ඒ සොඳුරු සත්සරවේදියාගේ ළඟම හිතමිතුරෙකි. ඔව් මේ කියන්නට යන්නේ ඔහු ගැනය.
මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය ඔබට සිහියට නැඟෙන විට ඉන් පසුව සිහිපත් වන්නේ හදවත රත්තරන් ජෝති හෙවත් එච්.ආර්. ජෝතිපාල මහතා බව දනිමු.
නීල් අයියා යනු වැලිකෙළියේ සිට එච්.ආර්. ජෝතිපාල මහතා මියෙන තුරාවට ඔහු ළඟින් ඇසුරු කළ, ඔහු පිළිබඳ නොයෙක් දෑ දන්නා කියන හිතවතෙකි.
ඔහු හා බැඳුණු දශක පහක මතක මේ සා විසල් යැයි කිව නොහැකි තරම්ය. එහෙත් නීල් අයියා ඒ මතකවලින් බිඳක් අප සමඟ පැවසුවේ මෙසේය.

ජෝතිපාල මහත්තයා ඔබට හමුවෙන තැනින් මේ කතාව පටන්ගමු?
දෙමටගොඩ මකුටාරාම පන්සල පිටිපස්සෙ වත්තේ තමයි ජෝතිපාල මහත්තයා ජීවත් වුණේ.
එතකොට ජෝතිපාල මහත්තයාට අවුරුදු 17ක් වගේ ඇති. මට වයස අවුරුදු 10ක් වගේ ඇති. මට මුලින්ම මතක ජෝතිපාල මහත්තයා යනවා වත්තේ බෙටින් සෙන්ටර් එකට එයාගෙ අස්සයෝ ටික බලන්න.
එතනම තමයි ඉස්සර එයා හිටියේ. අපේ තාත්තා ලේක්හවුස් එකේ ඒජන්ට්. එයාගේ තාත්තා ටේලර් සාප්පුවක් කළේ.
එතකොට ජෝති අයියා ගායකයෙක් වෙලා නැහැ. රැකියාවක් නැතුව ගෙදරට වෙලා හිටපු කාලේ.
නාඹර කොලු කාලේ. අපේ තාත්තා පත්තර ගේනකොට එන රවුල් බන්ඩල් කාඩ්බෝඩ් අරගෙන ජෝති අයියා වත්තේ තියන ජම්බෝල ගහට නඟිනවා.
නැඟලා අර කාඩ්බෝඩ් එකට තාලේ අල්ල අල්ල ගහනවා ලස්සන සිංදු. එඩී ජයමාන්න මහත්තයාගේ සිංදු තමයි ගහන්නේ. “කොලොම්පුරේ ශ්‍රියා, ළපටි රූපේ ඈගේ” වගේ සිංදු. අපි අහගෙන ඉන්නවා ඉතින් ඕවා. දවසක් ධර්මදාස වල්පොල මහත්මයා වත්තට ඇවිල්ලා සර්පිනාව ගෙනල්ලා හඬ පරීක්ෂණයක් කළා. ඒකෙන් ජෝති අයියාගේ හැකියාව ධර්මදාස මහත්තයා දැනගත්තා. ඊටපස්සේ තමයි ජෝති අයියා “සුරතලී” චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

ජෝතිපාල මහත්තයා යාළුවෝ අතරේ කොහොම හිටපු කෙනෙක්ද?
අපි පොඩි කාලේ ජෝති අයියලා අපිට වඩා වැඩිමල් නිසා ඒ තරම් ලොකුවට අපිව ආශ්‍රය කළේ නැහැ.
හැබැයි සම වයසට වගේ ආවට පස්සේ ජෝති අයියා මාව බොහොම ළඟින් ඇසුරු කළා.
ජෝති අයියා පංචිකාවත්තේ ෆ්ලැට් එකට පදිංචියට ආවට පස්සේ හිතවත්කම් වැඩි වුණා. එයා එහෙම දඩබ්බර චරිතයක් නෙමෙයි.
එයා ටිකක් තැන්පත් කෙනෙක්. ඉස්සර හරිම කෙට්ටුයි කෙසඟයි. චිත්‍රපටවල රඟපාන්න ගත්තට පස්සේ තමයි හැඩ වෙලා ආවේ. බොහොම නිහතමානී කෙනෙක්. හරිම ආදරණීයයි. එයාගෙන් කවුරුහරි ෂර්ට් එක ඉල්ලුවත් ඒක ගලවලා පරිත්‍යාග කරන ජාතියෙ කෙනෙක්.

ටික ටික ජනප්‍රිය වෙද්දි ජොතිපාල මහත්තයාට යාළුවෝ අමතක වුණේ නැද්ද?
කොහෙත්ම නැහැ. එක දශමෙකින් වෙනස් වුණු කෙනෙක් නෙමෙයි එයා. වත්තේ හිටපු දුප්පත් කොල්ලෝ කෙල්ලෝ එක්ක විනෝදෙන් ජීවත් වුණු එක තමයි එයාගේ වැඩේ.
ජෝති අයියාට ෂෝ එහෙම වැඩි වෙද්දි සල්ලි ගොඩක් ආවා අතට.
එක සතයක් එකතු කරලා නැහැ. එයා විනෝදෙට 99%ක්ම බර කෙනෙක්. ඒ ඔක්කොම සල්ලි යාළුවෝ එක්ක එයා වියදම් කළා. ඒ සල්ලි තැම්පත් කළා නම් ප්‍රකෝටිපතියෙක්. එච්චරට සල්ලි හම්බ කළා. එච්චරට එයාට වැඩ තිබුණා.

ඔබ ජෝතිපාල මහත්තයාගේ ප්‍රේම සම්බන්ධතා ගැන එහෙමත් දන්නවා ඇති?
ඉස්සර ඉතින් දන්නැද්ද කොලු කාලේ. මට මතකයි ජෝති අයියා නිතරම අනුරාධපුරේ යනවා හේරත් බණ්ඩා හම්බෙන්න.
ටික කාලෙකින් අනුරාධපුරේ වැඩියෙන් යන්න ගත්තා. එතකොට අපිට තේරුණා එහේ මොකක්හරි එකක් පටලවගෙන කියලා.
හැබැයි එයා අපිට කිව්වේ නැහැ. ඊටපස්සේ එයා ත්‍රිකුණාමලයේ නර්ස් කෙනෙක් බැන්ඳා. හොස්පිට්ල් එකේ ඉද්දි යාළු වෙලා. එයාට තමයි දූවරු හතර දෙනෙක් හම්බුණේ. එයා ඉතින් හැන්ඩියානේ. කොහොමත් කාන්තාවන්ගේ ආකර්ෂණය වැඩියි.

ජෝති කියන්නේ දරුවන්ට ආදරේ කෙනෙක්ද?
ඔව්, සෑහෙන්න ආදරෙයි. එයාට දුවලා හතර දෙනෙක්නේ හිටියේ. ඒ හතර දෙනාටම ගොඩක් ආදරෙන් හිටියේ.
හැබැයි පුතෙක් නැති එක ගැන ජෝති අයියා පසුතැවුණා. මට එයා කියලා තියෙනවා “බලපං නීල් මල්ලී, ඔක්කොටම ඉන්නවා කොල්ලෝ. මටනේ එක්කෙනෙක්වත් නැත්තේ” කියලා. හැබැයි ඒ අඩුව අපිට දැන් තමයි තේරෙන්නේ.
ජෝති අයියාට පුතෙක් හිටියා නම් අද ඒ කටහඬ රත්තරන් වටිනවා. ෂෙල්ටන් අයියාගේ පුතා, මිල්ටන් අයියාගේ පුතා, බෙග් මාස්ටර්ගේ පුතා මේ හැමෝටම තාත්තාගේ හඬ ටිකක් හරි පිහිටලා තියනවානේ.

ජෝතිපාල මහත්තයාත් එක්ක බැඳුණු අමතක නොවන මතකත් ඇති ඔබට?
ඉස්සර තිබුණේ ට්‍රෑම් කාර්. දවසක් ඒකේ මමයි ජෝති අයියයි යනවා. ඒකෙදි කකුල පෑගිලා එක්කෙනෙක් ගැහුවා කළු ගලක් අරන් ඔළුවට.
එයාගේ නළල පැළුණා. මම හිතුවේ ජෝති අයියා මැරුණා කියලා. අයියව ඉස්පිරිතාලෙ අරන් ගියා. මම එයාලගේ ගෙදර ගිහින් කෑගැහුවා “බුදු නැන්දේ ජෝති අයියා මැරුණා” කියලා. මැහුම් පවා දැම්මා ජෝති අයියාගේ නළලට. ඒ මැහුම් පාර හොඳට පේන්න තිබුණා. ඒක මට කවදාවාත් අමතක වෙන්නේ නැති සිදුවීමක්.

ජෝතිපාල මහත්තයා වැඩියෙන්ම ඇසුරු කළ ජනප්‍රිය තලයේ හිතමිතුරන් කවුද?
මිල්ටන් පෙරේරායි ෂෙල්ටන් පෙරේරායි තමයි වැඩිපුරම ළඟින් ආශ්‍රය කළේ.
තව යාළුවෙක් හිටියා. එයා නම් එච්චර ජනප්‍රිය නැහැ. ගිල්බට් අයියා කියලා කෙනෙක් හිටියා. එයා ගබඩා පාලක කෙනෙක්. එයා එක්ක තමයි ජෝතිපාල මහත්තයා හැම තැනම යන්නේ. ජෝති අයියා ඕනෑවට වඩා සූර් වුණේ නැහැ.
මිල්ටන් අයියලා බාර් එකට ඇවිල්ලා ඕනෑවට වඩා බොනවානේ. ඒත් ජෝති අයියා එහෙම ප්‍රසිද්ධියේ ඒ ක්‍රමයට බීලා නැහැ
මම දන්න තරමින්. ඒ වගේම බෙග් මාස්ටර් නිතරම ජෝති අයියාව හම්බවෙන්න එනවා.
එතකොට ඉශාග්ලා පොඩියි. ඉස්සර ඉතින් බෙග් මාස්ටර්ලත් එක්ක පැදුරු පාටි දානවා. එයාලා වැඩියෙන්ම පාවිච්චි කළේ තෛලෝකවිජය පත්‍ර. දැන් තියන ජරාව වගේ නෙමෙයි. ඒ කාලේ තිබුණේ සුපිරි ඒවා. එතකොට අවශ්‍ය කෑම බීමත් තිබුණා. පැණිරස කෑම අනම් මනම්. තබ්ලා, සර්පිනා, ඔක්කොම සංගීත භාණ්ඩ ඒ පැදුරු පාටිවල තියෙනවා. ඒ සිංදු අහන්න ඉතින් අපි පිං කරලා තියෙනවා.

ජෝතිපාල නිතරම කතා කළේ මොනවා ගැනද?
ජෝති අයියා එක එක දේවල් කතා කරනවා. මියුසික් ගැන, ෆිල්ම් ගැන අපිට නිතරම කියනවා.
හැබැයි එයා වැඩියෙන්ම කතා කරන්නේ අස්සයෝ ගැන. මිනිහා ටිකක් සූදුවට බර කෙනෙක්නේ. අස්සයෝ ගැනමයි කතාව. “බලන්නකෝ නීල් මල්ලි, මම දැම්මනේ දෙන්නෙක්. එක්කෙනයිනේ වින් කළේ” කියනවා.

ජෝතිපාල මහත්තයාගේ ඔබ වැඩියෙන් ප්‍රිය කරන ගීතය මොකක්ද?
මම ජෝති අයියාගේ හැම සිංදුවකටම කැමතියි. හැම සිංදුවක්ම අහන්න පුළුවන් හරිම ලස්සන සිංදු.
ඒ අතරින් වඩාත්ම කැමති සිංදුව “සිරියාමේ සාරා” තමයි. ජෝති අයියාගේ කටහඬ තව අවුරුදු දාහක් ගියත් හැමෝටම මතකයි.

ඔබ හිතන විදිහට ජෝතිපාලගේ කටහඬට වැඩියෙන්ම හරියන නළුවා කවුද?
ජෝති අයියාගේ කටහඬ හැම නළුවකුටම ගැළපුණා ඒ කාලේ. කොයි නළුවා රඟපෑවත් ඒ නළුවාට ඔබින විදිහට ගායනා කරන්න දක්ෂතාව ජෝති අයියට තිබුණා.
හැබැයි විජය කුමාරණතුංග මහත්තයා තමයි හරියටම හරි ගියේ. එයාගේ කටහඬත් ජෝති අයියගේ කටහඬට ටිකක් සමානයිනේ.
ප්‍රසංග වේදිකාවේ, රියැලිටි වේදිකාවේ බොහෝ ගායකයන් ඔහුව අනුකරණය කරනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒ කිසි කෙනකුට එක දශමෙකින් ජෝති අයියාගේ කටහඬට සමාන වෙන්න බැහැ. එකම එක ගායකයෙක් ආවා පෞද්ගලික නාලිකාවකින්. ඒ කොලුවගේ යාන්තමට තියනවා ජෝති අයියගේ හඬ. ඒත් යාන්තම් විතරයි.

ඔහුගේ මරණය ගැන ඔබට තියෙන්නේ මොන වගේ මතකයක්ද?
මට මතක විදිහට ජෝති අයියා නැති වුණේ ප්‍රසංගයකට ගිහින් ඉද්දි. එතකොට එයාට අවුරුදු පනහකට විතර කිට්ටු ඇති.
එයා එදා සිංදු කිව්වෙත් අමාරුවෙන්. අන්තිමේදී පළවෙනි හාර්ට් ඇටෑක් එකෙන්ම ජෝති අයියා යන්න ගියා. මම දැකපු මුළු රටක්ම සංවේදී වුණු මරණය ඒක තමයි. හරිම දුකයි. හිතුවේ නැහැ මෙච්චර ඉක්මන්ට ජෝති අයියා අපෙන් ඈත් වෙයි කියලා.
අද හිටියා නම් අසූ පහක් විතර වයස. ඔහුගේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.

එතුමාගේ වියෝවෙන් වසර 32ක් ගතවෙන මෝහොතේ ඔහු ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?
ඔහු මේ වෙද්දිත් ජීවත් වෙලා හිටියා නම් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය, සිනමාව මීට වඩා ඉහළ තලයක වැජඹෙයි කියලා මම හිතනවා.
දැන් තියෙන ඉහළ තාක්ෂණයත් එක්ක ඔහුගේ කටහඬෙන් විපර්යාස කරන්න තිබුණා හිටියා නම්. ඔහු හිටියා නම් තවමත් ලංකාවේ අංක එකට ඉන්න ගායකයා ජෝති අයියා තමයි.

එච්.ආර්. ජෝතිපාල මහතාගේ වියෝවෙන් 32 සංවත්සරය ඊයේ දින (07) සපිරීම නිමිත්තෙන් සකස් කරන ලද ලිපියකි.

[නිර්මාණි බණ්ඩාරනායක]

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!