මා යුධ හමුදාවේ සේවය කරමින් සිට රැකියාවෙන් ඉවත් වූයේ මගේ දරු තුන්දෙනා ගැන හිතලයි. මට ඒකෙ ප‍්‍රතිඵල ලැබුණා.
මට මගේ ලොකු දුව රිෂානි විශ්ව විද්‍යාලයට යවන්න ලැබුණා. මගේ රත්තරන් දුව උපාධිය ලබා ගත්තත් ඒ සියලූ ප‍්‍රාර්ථනා බොඳ කරමින් මගේ ලොකු දුව අකාලයේ මරු වැළඳ ගත්තා.
ඉතින් මම මේ දුක කොහොම ඉවසගන්නද? යනුවෙන් බස් අනතුරෙන් මියගිය සිය දියණියගේ නිසල සිරුර බදාගෙන හඬන හේමපාල මහතාගේ ලතෝනියට ඔහුගේ නිවසට පැමිණ සිටි කාගේත් දෙනෙතට කඳුලූ කැට ගලා එනු දැකගත හැකි විය.
කළුතර වස්කඩුවේදී පෙරේදා 04 දා සිදු වූ බස්රථ අනතුරෙන් මියගිය පිටිගල, හත්තක, මානම්පිට පදිංචිව සිටි හේමපාල මහතාගේ ආදරණීය බිරිඳ වන වල්පිට දෝන මානෙල් (49) සහ ඇයගේ වැඩිමහල් දියණිය වන උපාධි ධාරිණී බංගමු හේවා අප්පු ආරච්චිගේ රිෂානි අප්සරා (29) මියගොස් ඇත.
දැඩි කම්පනයට පත්ව සිටි හේමපාල මහතා මෙසේ ද පැවසීය. මගේ ලොකු දුව ඉගෙනීමට හරිම දක්‍ෂයි. දරුවෝ ඉගෙන ගන්න කාලයේදී අපට ආර්ථික අපහසුතා තිබුණා. මා රැකියාව කළේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ මගේ වැටුපෙන් පමණක් දරුවන් තුන්දෙනාට උගන්වන්න ප‍්‍රමාණවත් වුණේ නෑ.
ඒ නිසා මා වසර 12 ක් කළ හමුදා රැකියාවට ආයුබෝවන් කියා රැකියාවෙන් ඉවත්ව ගෙදර ඇවිත් ඉඩකඩම් වගා කළා ඊට අමතරව රියදුරු රැකියාව කළා. මියගිය දුව ඉගෙන ගත්තේ ගමේ පාසලේ. ඇය පළමු වසරේ සිට උසස් පෙළ දක්වාම හත්තක මහා විiාලයෙන් අධ්‍යාපනය හදාරා කලා අංශයෙන් උසස් පෙළට ඉදිරිපත් වූ පළමු වරට ‘ඒ’ සාමාර්ථ 3 ක් අරගෙන උපාධිය හැඳෑරීම සඳහා කොළඹ විශ්වවිවිද්‍යාලයට ඇතුළත් වුණා.
දුව විශ්ව විද්‍යාලයේදී දැන හඳුනා ගත් ඉහළ වසරේ සිසුවකු සමග සම්බන්ධතාවක් පවත්වා ගෙන ගියේ දෙපාර්ශවයේම ආශිර්වාදය ඇතිවයි.
ඒ පුතාගෙ ගම නුවර දැනට වසර 3 කට පෙර ඒ පුතා උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ජපානයට ගියා. ඔහු මගේ දියණියටත් ජපානයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සියලූ කටයුතු සූදානම් කර තිබුණා. මගේ දුව ඔක්තෝබර් මාසයේදී ජපානයට යෑමට සියලූ කටයුතු සූදානම් කර තිබුණා.
ඒ අතර දුවගේ පාදයේ ආබාධයක් මතු වුණා. දුවට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉරිදා 04 දා උදෙන්ම මාපලගම සිට එන ලං. ග. ම. බස් රථයට උදේ පාන්දර 3.45 ට බිරිඳත් දියණියත් වත්තේහේනේදී නංවා නිවසට පැමිණියා.
නිවසට පැමිණ උදේ 6.00 ට ප‍්‍රවෘත්ති බැලූවා. එවිට මා දැනගත්තා ඇල්පිටිය ඩිපෝවට අයත් කොළඹ යන බස්රථය අනතුරකට ලක්වී ඇති බව. එවිට මට දෙවියන් සිහි වුණා. මම බිරිඳටත් දියණියටත් ෆෝන්වලට කෝල් ගත්තා. ඒ දෙන්නගෙන්ම ප‍්‍රතිචාරයක් නැති නිසා කළුතර මගේ යාලූවෙකුට කතා කරලා නාගොඩ රෝහලට ගිහින් මට තොරතුරු කියන්න කියලා මමත් කළුතර රෝහලට ගියා.
ඒ ගියාම බිරිඳගෙයි, දුවගෙයි මෘත ශරීර දෙක දුටුවා. එදිනම සවස 5.00 ට පමණ කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේදී බිරිඳගෙත් දියණියගේත් මරණ පරීක්‍ෂණ පැවැත් වූවා. එහිදී රෝහල් සේවකයෙකු විසින් මට පැකට් කරපු රන්බඩු වගයක් ගෙනැත් දුන්නා. ඒවා බිරිඳගේ ගෙල පැළඳ තිබූ බඩු කියලයි දුන්නේ.
මගේ බිරිඳගේ ගෙල පැළඳ තිබූ රන් මාලය පවුම් දෙකහමාරක චේන් එකක්. වම් අතේ පැළඳ තිබූ මුදුව පවුම් එකක මුද්දක්. ඒ දෙකම තිබුණේ නැහැ. මට දුන්නේ ඉමිටේෂන් බඩු. මම ඒ වෙලාවේ හිටියේ දැඩි කම්පනයෙන්. ඒ නිසා මේ ගැන කාටවත් පැමිණිලි කළේ නැහැ.
මියගිය රිෂානි අප්සරාගේ නැගණිය රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන අතර, සොහොයුරා මෝටර් කාර්මිකයෙකු වශයෙන් සේවය කරයි. කෙසේ වෙනත් නොහික්මුණු රියැදුරෙකුගේ හිතුවක්කාර රිය ධාවනය නිසා රටට දැයට ඉතාම වටිනා ජීවිත රැසක් අහිමි වී තවත් ජීවිත රැසක් සදා ආබාධිත තත්ත්වයට පත් වී ඇත.
මියගිය මවගේ සහ දියණියගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද 06 දා හත්තක පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.
විදාන ආරච්චි කීර්තිරත්න