අයේෂා මධුශානි කියන්නේ නිරූපණ ශිල්පිණියක් විදිහට ක්ෂේත්රයට ඇවිත් රංගන ක්ෂේත්රයට ආපු කෙනෙක්.
ඇය ගැන පසුගිය කාලේ අන්තර්ජාලය පුරාම කතා වුණා.
අයේෂා කේන්දරේ ගැන විශ්වාස කරනවද..? මේ ගැන සතිඅන්ත පුවත්පතකට අයේෂා මේ විදිහට කියලා තිබුණා.
* ඔබේ කේන්දරේ ?
මගේ කේන්දරේ එදා ඉඳලම තිබුණෙ අම්ම ළඟනේ. බොහොම මෑතක මගේ යාළුවෙක් කිව්ව හොඳ තැනක් තියෙනවා කේන්දර බලවන්න කියලා. ඒ නිසා මම ඕක කොළඹට ගෙන්න ගෙන එයත් එක්ක ගිහින් බැලෙව්වා.
* කේන්දරේ ගැන මොකද හිතෙන්නේ ?
ශ්‍රී ලාංකිකයෝ විදියට අපිට උපතින් උරුම වුණාට වෙනත් රටවල අයට කේන්දර නැහැ. අපේ අය හැම දේම කරන්න උත්සාහ කරන්නේ කේන්දරේට මුල්තැන දීලා. ඒත් ඒ පිටරට තමන්ගේ අධිෂ්ඨානය ආත්ම ශක්තියට තැන දීල තමන්ගෙ කටයුතු ආරම්භ කරනවා. මම කේන්දරේට ලොකු තැනක් දෙන්නෙවත් ප්රතික්ෂෙප කරන්නෙවත් නෑ. හැම වෙලාවෙම හෘද සාක්ෂියට එකඟව වැඩ කරනවා.
* ප්‍රයෝජනයට ගන්නෙ මොන වෙලාවටද ?
මගේ ඩාන්සින් ගෲප් එක පටන් ගන්න වෙලාවේ අම්මලගෙ කීමට ඕක බලවල නැකතක් හදල ඒ අනුව වැඩ කළා. ඉදිරියේදී ඉතින් විවාහය නිසා ඕක ප්‍රයෝජනයට ගන්න වෙයි සමහරවිට. මොකද දැන් ඒ කාලේ ඇවිල්ලනෙ තියෙන්නෙ.
* අපල කාල ගැන විශ්වාස කරනවද?
කෙනෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙන හැම අයහපතම අපල නිසා සිද්ධ වෙනව කියල මිනිස්සු කියනවා. ස්වභාවධර්මයට අනුව අපිට යහපත වගේම අයහපතටත් මුහුණ දෙන්න වෙනව කියන එකයි මම විශ්වාස කරන්නෙ.
* නැකැත් අනුගමනය කරනවද?
ගෙදර ඉන්න කාලෙනම් අඩුගානෙ සිංහල අවුරුදු දවසේ කෙරෙන නැකැත් ටිකවත් කළා අම්මත් එක්ක එකතු වෙලා. දැන් නම් සමහර අවුරුදු දවස්වලට ගෙදර යන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා නැකැත්
අනුගමනයක් ඇත්තටම සිද්ධ වෙන්නෙ නෑ.
* දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය ?
බුදුරජාණන් වහන්සේ ගැනත් උන්වහන්සේගේ ධර්මය ගැනත් ලොකු විශ්වාසයක් තියෙනවා. බුද්ධ වන්දනාවට මම ගොඩක් ලැදියි. වෙනම බුදුකුටියක් දාගෙන ඒ වතාවත් මම හරියට කරනවා. ඉස්කෝලෙ යන කාලේ ඉඳල ගණ දෙවියන් වන්දනා මාන කළා. ඒ පුරුද්දට මම අදටත් ගණ දෙවියෝ වඳිනවා.
* පුද පූජා ශාන්තිකර්ම වලට දෙන තැන ?
කැම්පස් එකේදී මම ඒක විෂයක් හැටියට ප්‍රගුණ කළා. ඒ දේවල්වලට මම ගුරු කරනවා. නමුත් ශාන්තිකර්මවලට යොමුවෙලා නැහැ. බොහෝ වෙලාවට රෝගීන් වෙනුවෙන් යම් යම් ශාන්තිකර්ම සිදුකළාට ඒ අයගේ මානසික සතුට වර්ධනය වෙලා ඉක්මනින් නිරෝගී බව ලැබීම ඒ හරහා වෙන්න පුළුවන්. ඒත් කෙනෙකුගේ ප්‍රශ්නයක් ඔය හරහා සම්පූර්ණයෙන් විසඳන්න පුළුවන්ද කියන එක ගැන ගොඩක් හිතන්න වෙනවා.
* කේන්දරේ සඳහන් වුණ විශේෂ කාරණා ?
මම ඉපදිලා තියෙන්නෙ පිරිමි නැකතකලූ. ඒ නිසා ඒ විදියට වැඩකරන කිසිම දේකට බය නැති චරිතයක් කියල තමයි කේන්දරේට අනුව කියවෙන්නෙ. ඒකනම් සීයට දෙසීයක් ඇත්ත. ඉස්කෝලේ යන කාලේ මම කොල්ලෙක්ම තමයි. විවාහයෙන් පස්සෙ පිටරට පදිංචියට අවස්ථාව ලැබෙනවාලූ. බලමුකො ඉතින්.
* රංගන ශිල්පිනියක් වෙන බව කේන්දරේ සඳහන් වුණාද?
ඔව්. කලා හැකියාවන් තියෙන බවත් ඒ හරහා ඉදිරියට ගිහින් සමාජයේ ආදරයට පාත්රවෙන ප්‍රසිද්ධ චරිතයක් වෙන බව කේන්දරේට කියවිලා තියෙනවා මම පුංචි කාලේදීම.
* විවාහ වෙන්න බලාපොරොත්තුව කේන්දර ගලපලාද?
ප්‍රේම සම්බන්ධයකින් හරි මට එන යෝජනාවකින් හරි මගේ හිතේ කෙනෙකුට ආදරයක් ඇති වුණොත් කේන්දරේ නොගැලපුණත් මම ඔහු සමග විවාහ වෙනවා. කේන්දර ගැලපිලා විවාහ අසාර්ථක වෙන අය කොයි තරම් ඉන්නවද? ඊට වඩා වැදගත් වෙන්නේ අදහස ගලපගෙන එකට ජීවත් වීම. හැබැයි මම තෝරා ගන්න කෙනා මට වඩා හඳහනට මුල්තැන දුන්නොත් මම ඔහු සමග විවාහ වෙන්නෙ නෑ. මම හිතනව කවදහරි මම කැමතිවෙන කෙනාගේ හඳහන මගේ හඳහනට ගැලපෙයි කියල.
* රාහු කාලයට බයද?
මම කවදාවත් ඒක සැලකිල්ලට අරන් වැඩ කරන්නෙ නෑ. වැඬේ යෙදෙන්නෙ මොන වෙලාවෙද ඒ වෙලාවට බුදුසරණයි කියල මම ඒ දේ කරනවා. ඒ නිසා රාහු මට බයයි වගේ.
* ලග්නය වෘෂභ
* කේන්දරේ වෙනස් කරගෙන ආපු තැන් ?
ගොඩක් වෙලාවට මම පාසලේදී ඉගෙනීමටත් වඩා ක්‍රිඩාවට තැන දීල වැඩකරපු කෙනෙක්. ඒත් එක්කම ක්‍රිඩාවෙන් ඉදිරියට යන ගතියක් තියෙනව කියල සමහර දෛවඥයෝ අම්මට කියල තිබුණා. ඒත් ඉතින් අද ඒ සේරම නතරවෙලා මම රංගන ශිල්පිනියක් බවට පත්වෙලා ඒක ඉතින් ලොකු වෙනසක් නේ.
* කියවුණ අසුබ කාරණා ?
මම කාර් එක ගත්තු දවස්වල අම්ම මටත් හොරෙන් මගේ කේන්දරේ බලවලා. ඒ වෙලාවේ කියල තියෙනව ඉදිරි මාස තුන ඇතුළත අනතුරකට ලක්වෙනව කියලා. අම්මා ඒ බව කිය කියා උදේ හවස මතුරන්න පටන් ගත්තා අනේ පුතේ කොළඹ වාහන එළවන එක පරිස්සමෙන් කියලා. එදා ඉඳල මම බුදුසරණයි කියල වාහනේ අතට ගන්නව මට කරදරයක් අනතුරක් නොවේවා කියල හිතාගෙන.
* අවුරුද්දට කී වතාවක් හඳහන බලනවද?
අම්ම ඒ කාලේ කොච්චර මගේ හඳහන බැලෙව්වද කියල දන්නෙ නෑ. මම තාම තනියම ගිහින් බැලෙව්වෙ එක වතාවයි. ඒ ඇති කාලෙකට.
උපුටාගැණිම – දිවයින පුවත්පත.