ආරියවංශ දිසානායක.
මෙවර ජනාධිපතිවරණයේදී රටේ හැම තැනින්ම වගේ ඡන්ද ගත්තු මේ ආරියවංශ දිසානායක කියන්නේ කවුද..?
රාජලියාගෙන් ඡන්දය ඉල්ලපු මොහු ගැන හුඟදෙනෙක් කතා කළේ උතුර පළාතෙන් පවා මොහුට ඡන්දය ලැබුණු නිසා.
සමහරු කිව්වේ රාජලියා සහ හංසයා මාරු වෙලා ආරියවංශ දිසානායක මහතාට ඡන්දය ලැබුණා කියලා.
ඇත්තටම මොකක්ද වුණේ..? ඒ ගැනත් ආරියවංශ දිසානායක කියන චරිතය ගැනත් ඔබට කියන්න අපි එතුමාට කතා කළා.
ආරියවංශ දිසානායක කියන්නේ කවුද..?
ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් සහ නායක.
ඔබ මොනවද කරන්නෙ..?
මගේ වෘත්තිය ඉන්ජිනේරු.. ප්‍රධාන වශයෙන් මම කරන්නේ ඉදිකිරීම්..
ඇයි ඔබ ජනාධිපතිවරණයට ඉල්ලන්න හිතුවේ..?
1991 පක්ෂය අපි ප්රජාතන්ත්රවාදී එක්සත් පෙරමුණ කියන පක්ෂය ජනගත කළා. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි සහ මම එළියට ආවේ විශාල වැඩපිළිවෙලකට මුල් ආරම්භය දීලා. එතකොට එතුමන්ලා නැතිවුණාට පස්සේ විශේෂයෙන්ම මට ගාමිණි දිසානායක මහත්තයා කිව්වා අනාගතයේදී මේ පක්ෂය අවශ්‍ය වෙනවා. කිසිම අවස්ථාවක මේ පක්ෂය විකුණන්නවත් මේක විසුරුවා හරින්නවත් එපා යම් දවසකදි මේ පක්ෂය මගින් රටට දෙයක් කරන්න පුළුවන් කියලා.
ඒ නිසා මේ පක්ෂය තියාගන්න කිව්වා. ඒක නිසා මම මේ පක්ෂය දිගටම අරගෙන ආවා. ඉතාම අමාරුවෙන් හම්බ කරපු සල්ලි ඔක්කොම වියදම් කරලා පක්ෂය පවත්වගෙන ආවා.
අරන් ඇවිත් 1994 දි යම්කිසි වෙනසක් වුණා මේ ලෝකේ.. ඒ කාලේ ගාමිණී දිසානයක මහත්තයා මට උදව් කළා.. විද්‍යාඥයෝ හම්බවෙන්න වගේ. ඒ කාලේ ඉදන්ම අපිට දූපතක් වශයෙන් යම් යම් දේවල් ඇතිවෙනවා කියලා දැනගෙන හිටියා.. ඒක නිසා මේ පක්ෂයත් එක්ක ලොකු වැඩපිළිවෙලක් ඒ දවස්වල ඉදලම කරගෙන ආවා.
මේ සැරේ ජනාධිපතිවරණයෙදි ඔබ ඡන්ද කීයක් ගත්තද..?
හම්… මම මෙදා පාර ජනාධිපතිවරණයේදි මම ඡන්ද තිස් හතරදාස් ගාණක් ගත්තා.. තිස් පන්දහස් ගාණකට ළඟ ගාණක් ඡන්ද හම්බවුණා.
මෙදා පාර ඡන්දෙදි ඔබට රට වටෙන්ම ඡන්ද ලැබුණා.. ඇත්තටම ඒ විදිහට ඡන්ද වැටුණේ මිනිස්සුන්ට අත්වැරදීමක් වෙලාද..?
මිනිස්සුන්ට අත්වැරදීම් වෙන්න තරම් මෝඩ මිනිස්සු ලංකාවේ නෑ.
අනිත් එක තමයි මිනිස්සු අවස්ථානුකූලව තමයි කල්පනා කරලා ඡන්දය භාවිත කළේ..
අපේ පක්ෂය හැමවෙලාවෙම කිව්වේ ලෝකයේ උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන්නා වූ මුහුදු හිමකදු දියවුණාට පස්සේ වතුර මට්ටම වැඩිවෙනවා. ඒ දවස්වල හැමවෙලේම කිව්වා මාලදිවයින යටවෙනවා අපිත් දූපතක් අපිත් යටවෙනවා කියලා..
මමජනගත කළේ ඒක. වතුර අගල් කාලක් ගේ ඉස්සරහ තියෙනවානම් අපිට ගේ ඉස්සරහ ඉන්න බෑනේ.. රළ ගහනවා.. ඉතිං ජීවත් වෙන්න බෑනේ.අපි ඉස්සරහට කල්පනා කරලා බලන්න ඕනේ.. මම ඒකයි ඉස්සරහට අරන් ආවේ. ජනතාවට එක පැත්තකින් ඒක අනිත් පැත්තෙන් ආර්ථිකය.. ඒක තමයි මම ජනගත කළේ. මම ආර්ටිකල් එකක් කළා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒක ගොඩක් අය බැලුවා. දෙමළ පත්තරේ අනිත් පළාත්වලටත් ගියා. ඒක තේරුම්ගත්ත අය තමයි මට ඡන්දය දුන්නේ.
ඒ කියන්නේ ඡන්ද සලකුණ මාරුවීමකින් නෙවෙයි නේද ඔබට ඡන්දය ලැබුණේ..?
අනේ එච්චරම.. අපේ රාජලියා විශාල සතෙක්නේ.ඒක විශාල විදිහට තියෙනවා. හුගක් අය මට ඇහුණා කියනවා හංසයත් එක්ක පැටලුනා කියලා. හංසයා අකුලගෙනනේ ඉන්නේ. තටු දෙක දිගඇරලා ඉන්න එකයි නැති එකයි නොපෙනන්න තරම්.. මම හිතන්නේ පව් අපේ ජනතාවට එහෙම කියන එක.
ඒ කියන්නේ එහෙම කියන්න හොද නෑ. මොකද ජනතාව අසරණ තත්ත්වයකට පත්වෙනවා. විශේෂයෙන්ම ලංකාවෙන් පිට ඉන්න අය ඉන්නවනේ.. ඒගොල්ලෝ තමයි මේ අයව හසුරවන්නේ.. කැනඩාවේ ඉන්න ළමයෙක් ගෙදරට කතා කරලා කිව්වම යම් කිසි පක්ෂයකින් රටේ ප්‍රශ්නවලට පිළිතුරක් ලැබෙනවා ඒ පක්ෂයට ඡන්දේ දෙන්න කියලා. ඉතිං එතකොට ඡන්දය දෙනවා.
ඉදිරි මහ මැතිවරණයටත් ඔබ ඉදිරිපත් වෙනවද..?
අපි ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න අවශ්‍යයි. මේ තත්ත්වය අනුව අපිට අනාගතයේදී අපිට ලොකූ ප්‍රශ්න ඇතිවෙනවා.
සමහරු කියනවා ඔබතුමත් කළේ ඡන්ද කැඩීමක් කියලා..
ඡන්ද කඩනවා කියන්නේ මොකක්ද..? කාටහරි ලිියාපදිංචි කරලා තියෙනවද මේ ඡන්දේ..නෑනේ.. ඕක අමුතුම කතන්දරයක්නේ. සමහරු කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ ඡන්ද කැඩුවා කියලා.ත සමහරු කියනවා සජිත් ප්‍රේමදාසගේ ඡන්ද කැඩුුවා කියලා. මොකද ඒවා ලියලා තියෙනවාද.. ලියලා තියෙනවානම් කඩන්න බෑනේ..ඡන්ද කැඩීම කියන්නේ ඒ දෙන්නගෙම මතේට විරුද්ධව යන දෙයක්නේ. ඒ මත දෙකට විරුද්ධව යන්න අපිට අවශ්‍යයිනේ.. මේ රට හොදටම ණය කරලා තියෙනවා. ඉතිං අපි වෙනසක් කරන්න පෙරමුණට එන්න ඕනනේ.. ඔය දෙගොල්ලොම එකතු වෙලා කළේ අපිව ණයකාරයෝ කරපු එක.. ඡන්ද කැඩීම කියන වචනය පාවිච්චි කිරීමත් වැරදියි.
වත්මන් සමාජ තත්ත්වය ගැන ඔබතුමා දකින්නේ කොහොමද..?
අද සමාජයේ පොඩි දරුවගේ පටන් ඒ කියන්නේ අද ඉපදෙන දරුවගේ ඉදන් බලාගෙන ඉන්නේ පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න. රස්සාවක් කරන්න. ඒ තත්වෙට මේ රට හදලා තියෙන්නේ.අද අපේ ජනතාව ඇත්ත වශයෙන්ම පැති තුන හතරකට බෙදිලා ගිහිල්ලා සමාජය අන්ත අසරණ තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. ඒ අය දන්නේ නෑ හෙට මොනවද කරන්නේ කියලා. ඒකම තමයි තියෙන්නේ අපේ දුප්පත් ගොවියට. ගොවියට ඒ ප්රශ්නය විශාල වශයෙන් තියෙනවා.. මම හැමදාම කියනවා ගොවියගේ පැත්තට යන්නේ දේශීය ආදායමෙන් 7% ක් විතර. හැබැයි ලංකාවේ භාගෙකට වඩා ගොවියෝ. ඉතිං ඒකට සියයට හතක් යනවානම් ඒ අය දුප්පත්නේ. අඩුම තමන්ගේ ළමයට සපත්තු දෙකක්වත් ගන්න බෑ. ඒ නිසා මේක වෙනස් වෙන්න ඕනේ. ගොවියාව මේ තත්ත්වයෙන් නිදහස් කරගන්න ඕනේ.. මම එදා ඉදලම කියන්නේ විවෘත ආර්ථිකයෙන් මේ රට දියුණු කරන්න බෑ.. මිශ්‍ර ආර්ථිකයෙන් තමයි මේ රට දියුණු කරන්න පුළුවන්. අපි හැමවෙලාවෙම වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන්.. මට මුදල් අවශ්‍ය නෑ.. මම ඕන තරම් මුදල් අතගාලා තියෙනවා.. මට ජීවත් වෙන්න මුදල් තිබ්බනම් ඇති.. රටට දෙයක් කරන්නයි ඕනේ..
