අරණායක හත්ගම්පොළ සිරිපුර සාමසර කන්ද ඊයේ (17) සවස නාය යාමට ලක්වීමෙන් පල්ලෙබාගේ හා ඔලන්ගහපිටිය ගම්මාන මුළුමනින්ම වැසී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
අඩි සිය ගණනක් උස මේ කන්ද ඇතුළු ගම්මාන ඊයේ (17) සවස 5.30 ට පමණ මුළුමනින්ම මීදුමෙන් වැසී ගිය අතර ඉන් මොහොතකට පසු කන්ද නාය යාමට ලක්ව තිබේ.
නාය යන භූමියට කොටු වී සිටින පිරිස් විදුලි පන්දම් දල්වමින් දුරකථන ඇමතුම් ලබාදෙමින් තමන් බේරාගන්නැයි කෑගසනු ඇසෙන බව ප්‍රදේශවාසීහු පවසති.
මේ අනුව යුද හමුදාව විසින් ඊයේ (17) රාත්‍රියේම දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් හතරක් ප්‍රදේශයේ තරුණ පිරිස් ද සමඟ කොටුවූ පිරිස බේරාගැනීමට මෙහෙයුමක යෙදිණි.
අවදානම් කටයුත්තක් වුවද මරු කටට හසුවී තිබෙන මේ පිරිස කෙසේ හෝ බේරාගත යුතුය යන චේතනාවෙන් කොටු වී සිටින පිරිස දෙසට ගමන් කරමින් සිටිනු දක්නට ලැබිණ.
එහිදී බේරුණු පවුල් 500 ක පමණ පිරිස් එම ප්‍රදේශවලින් අවතැන් වී දෙබත්ගම හත්ගම්පළ හා දික්පිටිය ප්‍රදේශවලට පැමිණ ඇති අතර තවත් පිරිසක් නාය යාමට ලක්වූ ප්‍රදේශයට එපිටින් කොටු වී සිටින බව වාර්තා වේ. දැනට නායයාමට ලක්ව ඇති ප්‍රදේශයේ පවුල් සිය ගණනක් පදිංචිව සිටි අතර, නිවාස කොපමණ ප්‍රමාණයක් පස් කඳුවලට යටවී ඇත්දැයි ස්ථිරවම ප්‍රකාශ කළ නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති.
සිද්ධිය සැල වූ වහාම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා එම ස්ථානයට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ බව දැනුම් දුන් අතර එතුමන්ගේ උපදෙස් පරිදි ගුවන් හමුදාවට ෆෑෂර් මඟින් මේ ප්‍රදේශය නිරීක්ෂණය කරන ලෙස දැනුම් දුන්නේය.
නාය යාමට ලක්වූ ප්‍රදේයේ මෙහෙයුම් දියත් කිරීම සදහා මේජර් ජෙනරල් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා බලඇණියක් ඊයේ (17) සවසම එම ප්‍රදේශයට එවනු ලැබුවද අඳුරේ මෙහෙයුම් දියත් කිරීමට නොහැකි තත්ත්වයක් පැවතුණි.
කෙසේ වුවද අද (18) අලුයම 5.30 ට හමුදා, ගුවන් හමුදා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමට නියමිතය.
ඊයේ (17) නායයාම් සිදුවූ මොහොතේ පටන් ගිලන් රථ සේවා ආරම්භ කළ අතර අවතැන් වූවන් දෙබත්ගම ධර්ම ශාලාව, හත්ගම්පළ ධර්ම ශාලාව, දික්කපිටිය රාජගිරිය විදුහල, හත්ගම්පළ විදුහල යන ස්ථානවල ස්ථානගත කර සහන සේවා ලබාදීමට පියවර ගෙන තිබිණි.
ප්‍රදීප් කුමාර ධර්මරත්න අරණායක සාමසර කන්දේ සිට
දිනමිණ