සමහර දෙමව්පියන්ගේ වැරදි ක්රියා කළාපයන් නිසා අදටත් දුක් විඳින දරුවෝ ඉන්නවා.
මොහුද එවැන්නෙකි.
අතමිට සරු මාපිය යුවළකට දාව ඉපදී හැදී වැඩුණු ඔහුට අද ඉතිරිව ඇත්තේ සිපිරිගෙදර පමණි.
ඒ…. දුරදිග නොබැලූ තම දෙමව්පියන් නිසා බව ඔහු හොඳින් දනී. තරුණ වියේදීම ජීවිතය වරද්දාගත් ඔහුට අද කියන්නට ඇත්තේ මෙපමණකි.
“සල්ලිකාර පවුලක ඉපදුණාට මං පුංචි කාලෙ ඉඳලම හැදුණේ තනියම.
අම්මට අම්මගෙම කියලා ලෝකයක් තිබුණා. මං හිතන විදිහට ඒ ලෝකේ තාත්තටවත් ඉඩක් තිබුණේ නැහැ. තාත්තා ජීවත් වුණේ එයාගෙම ලෝකයක.
මාව බලාගත්තේ පුංචි අම්මයි ආච්චියි. ඒත් අපේ අච්චි පපුවේ අමාරුවක් හැදිලා අකාලයේ මැරුණා.
තාත්තගෙ සල්ලිකාර ගෙදර අම්මයි පුංචි අම්මයි දෙන්නම හිටියා. මුලින් නම් මට මුකුත්ම තේරුණේ නැහැ.
පස්සේ තමයි තේරුණේ අම්මයි පුංචි අම්මයි විරසකයි කියලා. මට අවුරුදු පහළොවක් විතර වෙනකොට ගෙදර තිබුණ හැම ප්රශ්නයක්ම තේරුම් ගන්න මට පුළුවන් වුණා.”
උඹගෙ තාත්තා නංගිවයි මාවයි දෙන්නවම විනාශ කළා. අද ඔය මිනිහා වැජඹෙන්නේ අපේ සල්ලි නිසා.
මගේ තාත්තා හම්බ කරපු දේවල් අද ඒ මිනිහා එයාගේ දේවල් වගේ පාවිච්චි කරනවා.
“අම්මා කෑගහන්න ගත්තම ගෙදර එකම ඝෝෂාවයි.
පුංචි අම්මා නම් නිහඬව ඉන්නවා. ඒත් සමහර දවස්වලට අම්මයි තාත්තයි ගහ මරා ගන්නවා.“
“මේ ගොල්ලෝ කරන්නේ මොනවද කියලා කාටවත් තේරෙන්නේ නැහැ.
ඒ නිසාම මට මගේ ඉස්කෝලේ ගමන එපා වුණා. හැම දෙයක්ම තිබුණටත් වඩා අවුල් වුණේ තාත්තගෙ මරණයත් එක්ක.”
තාත්තා කොහොමද මැරුණේ?
“කියන්න දන්නේ නැහැ.
තාත්තා මැරුණා. ගෙදරට පොලිසියෙන් ආවා. මේක මිනී මැරුමක් කියලා පොලිසියේ මහත්තුරු කිව්වා.
අම්මවයි පුංචි අම්මවයි දෙන්නවම සැකකරන්න ගත්තා.
පොලිසිය මගෙනුත් ප්රශ්න කෙරුවා. තාත්තගෙ මරණයේ වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ නෑයෝ හැමෝම යන්න ගියා. තාත්තගෙ තුන් මාසේ දානේ ඉවර වුණාට පස්සේ අම්ම ගෙදරින් යන්න ගියා.
ඒ ගියේ පුංචි අම්මා එක්ක රණ්ඩු වෙලා.
ඒත් ඒ ගොල්ලෝ කවුරුවත් මං ගැන හිතුවේ නැහැ.
පුංචි අම්මා ඉන් ටික කලකට පස්සේ විවාහ වුණා. මං අසරණ වුණේ ඊට පස්සේ.”
අම්මා කොහෙද ගියේ?
“දන්නේ නැහැ. ගියේ කොහෙද කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.
පුංචි අම්මා දන්නෙත් නැහැ. මං හිත හදාගත්තා පුංචි අම්මා එක්ක ඉන්නවා කියලා.
ඒත් පුංචි අම්මා විවාහ වුණ කෙනා කැමති වුණේ නැහැ මං ඒ ගෙදර ඉන්නවට.
මං ඒ වෙනකොට හිතුවක්කාර කොල්ලෙක්. ඒ නිසා මාත් කාටවත් යටත් වුණේ නැහැ. ජීවත් වෙන්න ක්රමයක් හොයාගන්න, රස්සාවක් හොයාගන්න මං හුඟාක් උත්සාහ කළා.
මං ඉස්කෝලේ යාළුවන්ට කිව්වම ඒ ගොල්ලෝ මට පුංචි රස්සාවක් හොයලා දුන්නා. මං බෝඩිමක නතර වුණා. ඒ බෝඩිමේ හැම ජාතියෙම අය හිටියා.
මගේ තරුණ කාලේ ගෙවිලා ගියේ ඒ විදිහට. පවුලක් ගැන, ආදරයක් ගැන මගේ කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ.”
ඒ කියන්නේ විවාහයක් කරගත්තේ නැද්ද?
“නැහැ මං කසාද බැන්දා. ඒ විවාහය තමයි මට ජීවිතේ වැරැද්දුවේ.”
ඒ කියන්නේ?
“ඉබාගාතේ ඇවිදිමින් හිටපු මගේ ජීවිතයට පිළිසරණක් වුණේ එයා. ඒත් එයාට මම පිළිසරණක් වුණා කිව්වොත් ඒකත් හරි. හේතුව තමයි එයත් මං වගේම අනාථ වෙච්ච කෙනෙක්. හේමා කියන්නේ පුංචි දරුවෙක් එක්ක අසරණ වෙලා හිටපු ගැහැනියක්. මං එයාව බාර ගත්තා.
ගමෙන් නගරයට ඇවිල්ලා කවුදෝ අතින් අසරණ වෙච්ච ඒ ගෑනිව මං මගේ මුළු ජීවිතයම කරගත්තා.
මං හිතුවා හේමා හොඳින් ඉඳියි කියලා.”
මොකද වුණේ?
“මොනවා වෙන්නද? එයත් අපේ අම්මලා පුංචි අම්මලා වගේම චරිතයක් වුණා. මං හුඟාක් ඉවසුවා.
ඒත් මං ගෙදර ඉන්න කොටත් නන්නාඳුනන මිනිස්සු එයාව හොයාගෙන එන එක මට ඉවසන්න බැරිව ගියා.
මං හේමට හොඳින් කිව්වා. දරුවගේ අනාගතය ගැන හිතලා හොඳින් ජීවත් වෙන්න කිව්වා.
ඒත් එයා ඒක ඇහුවේ නැහැ. මගේ ඉවසීම නැතිව ගියා. දවසක් මම ගෙදර එනකොට හේමා මිනිහෙක් එක්ක ගේ ඇතුලේ.
දරුවා මිදුලේ සෙල්ලම් කරනවා. මං බේබද්දෙක් නෙමෙයි ඒත් හේමගෙ වැඩ නිසා මං බේබද්දෙක් වුණා. හේමා ඉන්න විදිහ දැක්කම මගේ සිහිය විකල් වුණා. මං ඒ මිනිහව මැරුවා.
හේමවත් මැරුවා. මං මිනීමරුවෙක්.”
එතකොට දරුවා?
“ළමයා ළමා නිවාසයක හැදෙනවා.
අරවගේ අනාචාරයේ යන ගෑනියෙක් ගාව හැදුණට වඩා දැන් ඒ දරුවගේ ජීවිතය පිළිවෙළක් වේවි.
මං හේමා මරපු එක ගැන කණගාටු වෙන්නේ නැහැ. මගේ අම්මා, තාත්තා පුංචි අම්මා ගෙවපු චාරයක් නැති ජීවිත නිසා මං ළමා කාලයේ ඉඳලම දුක් වින්දා.
ඒ දුක් විඳපු මං දන්නවා ආදරයක් කරුණාවක් නැතිව හැදෙන දරුවන්ගේ මානසික තත්ත්වය ගැන. මොනවා කියලා කියන්නද?
දැන් ඉතිං හිරගෙදරට වෙලා ජිවිතේ ගෙනියනවා. වෙන දෙයක් වෙච්චාවේ කියලා බලාගෙන ඉන්නවා.”
හිතෙන්නේ නැද්ද මිනීමරන්නේ නැතිව හිටියනම් හොඳයි කියලා.?
“ඇත්ත එහෙම හිටියනම් හොඳයි. දැන් බලන්න මිනිස්සු කියනවා ප්රශ්නයක් ආවම කාට හරි කියන්න.
කා එක්ක හරි කතා කරන්න කියලා.
ඒත් අපේ මේ සමාජයේ අපිට එහෙම පුළුවන් ද? මිනිස්සු බලාගෙන ඉන්නේ කාට හරි හිනාවෙන්න.
තමන්ගේ ප්රශ්න වලට විසඳුම් හොයාගන්න විදිහක් නැති වුණාම තමයි මිනිස්සු වහ බොන්නේ. කෝචිචියට පනින්නෙ.
දිවි හානි කරගන්නේ. මටත් පුංචි කාලේ ඉඳලම හිතුණා මැරෙන්න. මොකද අම්මලගෙ තාත්තලගේ ප්රශ්න නිසා මම තමයි හැමදාම බැට කෑවේ. අම්මා එයාගේ තරහා පිට කරගත්තේ මට ගහලා.
තාත්තත් එහෙමයි. පුංචි අම්මා මට ඊටත් වඩා අපරාධයක් කළේ.
එයා මාව අපයෝජනය කළා. පුංචි මම කාටද ඒ දේවල් කියන්නේ.
යාළුවෙක්ට කියන්න බැහැ. ගුරුවරුන්ට කියන්න බැහැ. මං පුංචි කාලේ ඉඳලම බයෙන් ජීවත් වුණ කෙනෙක්. ඒ භීතිය මගේ හිතේ හැම වෙලේම තිබුණා.
මං හරියට බොරු කිව්වා. දැන් මට හිතෙනවා අම්මලා තාත්තලා ලස්සන පවුල් ජීවිතයක් ගත කළා නම් මගේ ජීවිතේ මීට වඩා සුන්දර වෙනවා කියලා. මේවා තමයි අපි සංසාරේ ගෙනාපු කරුම.”
දැන් ඉතින් හිත හදාගන්නේ කොහොමද?
පැදුරේ හිටිය මිනිහා බිමට වැටුණාම මහා ලොකු අමාරුවක් නැහැ. මටත් ඒ වගෙයි.
හිරගෙදර පරිසරය නුහුරුයි.
ඒත් දැන් හැම දෙයක්ම හුරුයි. දැන් මට මෙහෙ ගෙදර වගේ. මං කනවා, නානවා, පිරිසුදුව ඉන්නවා. සීල් සමාදන් වෙනවා. භාවනා කරනවා. පොත්පත් කියවනවා. එච්චරයි. එතැනින් එහා ජීවිතයක් ගැන මම හිතන්නේ නැහැ.”