ජීවිතේ හිතාගන්නවත් බැරි වෙලාවට හිතාගන්නවත් බැරි විදිහට කරදර ප්රශ්න අපිව හොයාගෙන එනවා.
ඒ විදිහට එන කරදර නිසා ජීවිත කාලෙම වුණත් දුක් විඳින්න වෙන අවස්ථාත් ඕනේ තරම් තියෙනවා.
මේ එවන් ජීවිත කතාවක්.
“අවුරුදු ගාණක් මම ඉතාම හොඳින් හිටියා. ඒ වුණාට එකපාරටම කඩාගෙන පාත්වුණ හෙන ගෙඩිය මොකක්ද කියලා මට හිතා ගන්න බැහැ.
ඇය එසේ කියන්නට වූයේ ඇයි ද යන්න මට වටහා ගන්න බැරි වුණි. මම ඇය දෙස මොහොතක් බලා සිටියෙමි. අම්මා යයි කියමින් පුංචි කෙළි පොඩිත්තිය ඇ ඇකයේ දැවටෙන්නට වුවාය.
“මේ දරුවයි මමයි අසරණ වුණා.”
එහෙම කියන්නේ ඇයි?
මා එසේ ඇසුව ද ඊට පිළිතුරු දීමට ඇයට දිගු වේලාවක් ගත විය. අවසානයේ ඇගේ මුවින් නැගුණේ සුසුමකි.
ඇයි?
“මට දැන් මං ගැන කතා කරලා ඇති වෙලා තියෙන්නේ. කමක් නැහැ. ඔයාටත් මං කියන්නම් කෝ”
ඇය කතා කරන්නට වුයේ අකමැත්තෙන් මෙනි. ඇගේ සිත රිදවන්නට උවමනා නැතැයි සිතු මම එතැනින් නැගිට්ටෙමි. නමුදු ඇය මා පසුපස ම ආවාය.
“මං කැමති කතා කරන්න. මං මෙහෙ ආවේ මගෙ මහත්තයා බලන්න. මහත්තයා හිරේ ඇවිල්ලා අවුරුදු තුනකට වැඩියි. මං හැම මාසයක් ගානෙම එයාව බලන්න එනවා.”
චූටි දරුවව මේ වගේ තැන්වලට එක්කගෙන ආවේ ඇයි?
“එයාට තේරුමක් නැහැ වෙන්නේ මොනවද කියලා. එයා තාම චූටියිනේ. මහත්තයාට ඕන වුණා දුව බලන්න. අපි ආයේ කාලෙකට ලංකාවට එන්නේ නැහැ. ඒකයි මම අද දුවව එක්කගෙන ආවේ.”
කොහෙද යන්නේ ?
“මමයි දුවයි පිටරට යනවා.”
මහත්තයා දන්නවද?
“ඔව් එයා දන්නවා එයාට දුක දැනෙනවා ඇති. ඒ වුණත් අපි යනවට එයා කැමතියි.”
මහත්තයා නිදහස් වෙන්නේ කවද්ද?
“දවසක් නැහැ. එයා හිරේ ගියේ ජිවිතාන්තය දක්වා.”
ඒ කියන්නේ?
“මම හැදුණේ වැඩුණේ කොළඹින් දුර පළාතක. මම සඳුන් එකක් යාළු වුණේ ඉස්කෝලේ යන කාලේ. සඳුන්ලට අපේ අම්මට තාත්තාට තරම් සල්ලි තිබුණේ නැහැ.
ඒ නිසා මගේ සම්බන්ධය දැන ගත්ත දවසේ අම්මයි තාත්තයි හුඟාක් විරුද්ධ වුණා. මම සඳුන්ව අමතක කරන්න කැමති වුණේත් නැහැ. ඒ නිසාම තමයි අම්මලා ඉක්මනින්ම මාව විවාහ කරලා දෙන්න බැලුවේ.
මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. විභාග ප්රතිඵල එන්නත් ඉස්සෙල්ලා ඉඳන් අම්මලා මනමාලයෙක් හෙව්වා. මගෙ නම් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ.
ඒ ආව එකම මනමාලයෙකටවත් මම කැමති වුණේ නැහැ. මොකද සඳුන් ඒ තරමටම මගේ හිතට ළංවෙලා හිටියේ. කොහොම හරි ප්රභාත් ව මට බන්දලා දෙන්න හුඟාක්ම උත්සාහ කළේ පුංචි අම්මා.
එයා හැම වේලාවෙම ඇවිල්ලා ප්රභාත් ගැන අම්මා එක්ක වර්ණනා කළා. ප්රභාත් ලස්සනයි. එයා ගාව තිබුණේ අමුතු පෙනුමක්. හරියට බයෙන් ඉන්නවා වගේ.
මං අම්මට ඒ ගැන කිව්වත් වැඩක් වුණේ නැහැ. අන්තිමට අම්මයි තාත්තයි දෙන්නම පුංචි අම්මා ගෙනා යෝජනාව ස්ථිර කළා. මට සිද්ධ වුණා ප්රභාත්ව බඳින්න.”
එතකොට සඳුන් ?
“එයා මට කතා කළා. එයාත් එක්ක යන්න. මම බය වුණා එවගේ තීරණයක් ගන්න.
මගෙ තාත්තට සල්ලි තිබුණා. එයා සඳුන්ට කරදරයක් කරයි කියලා මං බය වුණා. ඒ නිසා මං අකමැත්තෙන් වුණත් ප්රභාත්ව බදින්න කැමති වුණා.
ප්රභාත්ටත් අපේ තාත්තට වගේම සල්ලි තිබුණා. අපි බැන්දා. ඒත් මගේ හිතේ හිටියේ සඳුන්. අවුරුද්දක් විතර යනතුරු මට ප්රභාත් ගැන ආදරයක් ඇති වුණේම නැහැ.
අපි වැඩි කතා බහක් නැති වුණාට ප්රශ්නයක් නැතිව හිටියා. අපිට බැඳලා අවුරුදු හතක් විතර යනතුරු දරුවෝ හිටියේ නැහැ.
මේ දුව ලැබුණේ මීට අවුරුද්දකට ඉස්සෙල්ලා. ඒත් දුවගේ තාත්තා ප්රභාත් නෙමෙයි.”
එහෙනම් කවුද?
දුවගේ තාත්තා සඳුන්…”
සඳුන්?
“ඔව් සඳුන්. මගේ ජිවිතේ වෙනස් කළේ ප්රභාත්. එයා කළේ බිස්නස්. එයා යන්නේ එන්නේ කොහෙද කියලා මං හෙව්වේ නැහැ. එයා මට හොඳින් සැලකුවා ඒත් අපි අතර හිස් තැනක් තිබුණා. ඒ හිස්තැනට එකම හේතුව වුණේ මගේ හිතේ හැමදාම සඳුන් හිටපු එකයි.”
ප්රභාත් හිරේ ගියේ කොහොමද?
“මං කිව්වේ ප්රභාත් කියන්නේ මගේ පුංචි අම්මාගේ යාළුවෙක්ගේ පුතෙක්. ඒ යාළුකම නිසාම අපේ තාත්තලා එයා ගැන ඒ තරම් හෙව්වේ නැහැ.
ප්රභාත් එයාගේ පවුලේ තුන් වැනියා. මං දැනගෙන හිටියා ප්රභාත්ට උසාවියේ නඩුවක් තියෙන බව. ඒත් ඒ නඩුව මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ.
මොකද ප්රභාත් මට කිව්වේ එයාට ඉඩම් නඩුවක් තියෙනවා කියලා. අවුරුදු දහයකට වැඩිය ප්රභාත් උසාවි ගියා.
එයා මට වඩා අවුරුදු හයක් වැඩිමල්. උසාවි ගිහිල්ලා ආව හැමදවසටම ප්රභාත් හිටියේ ලොකු ප්රශ්නෙක ඉන්නවා වගේ.
මං ඇහුවත් එයා උත්තර දුන්නේ නැහැ. කොහොම හරි අන්තිමට නඩු වාරයේදී එයා ගෙදර ආවේ නැහැ. රෑ වුණාත් ගෙදර ආවේ නැහැ.
එයා නඩුවට ගියේ එයාගේ අයියත් එක්ක. මං ප්රභාත්ගේ මහගෙදර ගියා. ඒ යනකොට ඒ ගෙදර අය මළ ගෙදරක වගේ අඬනවා. මමත් අඬන්න ගත්තා. ඒත් හේතුවක් දන්නේ නැහැ. පස්සේ තමයි ඒ ගොල්ලෝ කිව්වේ ප්රභාත් මිනිමැරුම් නඩුවක වැරදි කාරයා වෙලා ජිවිතාන්තය දක්වා හිරගෙට ගියා කියලා.
මට අදහා ගන්න බැරි වුණා. එදා මං හිිටියේ ඒ ගෙදර. රෑ එළිවෙනතුරු මට නින්ද ගියේ නැහැ. මම පහුවදා උදේම ගියා අපේ ගෙදර. අම්මට තාත්තා මේ කතාව කිව්වා. තාත්තා අම්මා වැළපෙන්න ගත්තා. මං ඊට පස්සේ ගියා හිර ගෙදර. ප්රභාත් මට මුහුණ දෙන්න කැමති වුණේ නැහැ.”
“මං මිනිමරුවෙක්.”
“මාව දැක්කම ප්රභාත් එහෙම කිව්වා. එයා යාළුවෝ කට්ටියක් එක්ක එකතු වෙලා ඒ අයගෙම යාළුවෙක් මරලා. එකේ පළවෙනි විත්තිකාරයා ප්රභාත්.”
“මොනවා කරන්නද මට මගේ අම්මා තාත්තා ගැන ඇති වුණේ වෛරයක්. මං ගෙදර ගියා. ඒ මහ ගෙදර තනියම හිටියා. දවස් ගානක් යනතුරු මට කිසිදෙයක් හිතා ගන්න බැරි වුණා. ඔය අතර තමයි සඳුන් මාව හොයාගෙන ආවේ. මම කැමති වුණේ නැහැ එයාගේ තීරණයට. ඒත් එයා මට තනිවෙන්න දුන්නේ නැහැ. අවුරුදු ගානක් තිස්සේ මගේ හිතේ හිිටිය සිහින කුමාරයා හොයාගෙන ආවා. අපේ ආදරේ අලුත් වුණා.”
ඊට පස්සේ ?
“සඳුන් කාලයක් හිිටියේ රට. එයා මට කතා කළා. එයාත් එක්ක යන්න.එයාගෙන් තමයි මට මේ දරුවා ලැබුණේ. ප්රභාත්ගේ අම්මලා මට අපහාස කළා. නින්දා කළා. මගේ අම්මලා මාව අයින් කළා පවුලෙන්ම. එයාලට ඕන වුණේ ඒ අයගේ නම්බුව බේරගන්න. මං ප්රභාත් වෙනුවෙන් කැපවුණා කෙනෙක් වෙලා ඉන්නවා දකින්න.
ඒත් මට ඕන වුණේ මගේ ජීවිතේ විඳින්න. මං සඳුන් එක්ක ගියා. ඒ ජීවිතේ හරි සුන්දරයි. ප්රභාත්ට ඕන වුණා මාව බලන්න. දුවව බලන්න. අපි තීරණය කළා ලංකාවෙන් යන්න. සඳුන් කැමති වුණා. ප්රභාත්ව බලන්න එන්න. ඒ නිසයි මං මේ දරුවත් අරගෙන ආවේ.”
“මං ඔයාට කිව්වනේ හිරගෙදර ඉන්නේ මගෙ මහත්තයා කියලා. ඒක බොරු. දැන් අපි දික්කසාද වෙලා. මං ලබන සතියේ සඳුන්ව බඳිනවා. බැඳලා අපි රට යනවා. මගෙ දුවට අනාගතයක් තියෙන්න ඕන. සඳුන් මගේ ජිවිතේ ලස්සන කරයි කියලා මට හිතෙනවා.”
