Gossip

“මම කවදාවත් මගේ කෙල්ලට තාත්තා හොරෙක් කියලා මිනිස්සුන්ගෙන් අහන්න දෙන්නේ නෑ මහත්තයෝ. අපි ජීවිතේ කරපු වැරදිවලට උන් පළි නෑ. ” – Photos

ජීවිතේ කියන්නේ දුක සතුට කරදර මේ හැමදේම මැද ගෙවෙන අපූරු ගමනක්.
සමහරු සැප විදිද්දි තවත් සමහරු දුක් විදිනවා.
මේ ජීවිතේ ගැටගහගන්න සමහර මිනිස්සු නොකරන දෙයක් නෑ. තමන්ගේ දරුවව, අම්මව තාත්තාව රැකබලාගන්න ඒ මිනිස්සු කොයි තරම්නම් කැපකිරීමක් කරනවද..?
මේ අපි කියන්න යන්නේ එවැනි කතාවක් ගැනයි.
මොහොතක් ඔබත් නැවතිලා මේ කතාව කියවලා යන්න..

ගිණිගහන අවුවේ ගස් හෙවනක ඔහු හොදින් නිදාගෙන හිටියේ.
කෑමට ගිහින් එනකොටත් ඔහු ඒ වගේම නිදි.
ළගට ගිහින් පොටෝ එකක් ගන්නකොටම ඔහු ඇහැරුනා.
“සමාවෙන්න මහත්තයෝ “
“ඇයි මාමේ සමාව ඉල්ලන්නේ ? “
” මම හිතුවේ පාරේ නිදාගෙන ඉදපු නිසා ඒක වැරැද්දක් කියලා”
කාලයක් බුලත් කාල දුර්වර්ණ වෙච්ච දත් සෙට් එක මට පෙන්නලා ඔහු හිනා වුණා.
” මහන්සිද ? “
” මහන්සිය නන් මොකක්ද මහත්තයෝ. ඔළුව කක්කියන්න ගත්තා. පොඩ්ඩක් හාන්සි උනාම දන්නෙම නැතුව නින්ද ගියා”
ඔහුගේ ඉටි කොළ කෑල්ලේ පැත්තකින්ම මාත් වාඩි වුණා.
අවුරුදු ගානක් උදේ හවා එහාට මෙහාට ගියපු පාරේ මේ අඹගහ යට හෙවනේ වාඩි උනේ පළවෙනි වතාවට.
” මාමා දවල්ට කෑම කාලද ?”
” තාම කෑවේ නෑ මහත්තයෝ.”
” අපි යමු ගිහින් මොනා හරි කමු. එතකොට ඔය අමාරුව ඇරිලා යයි.”
” ඕනි නෑ මහත්තයෝ. උදේ එනකොට පවුල ඔතල දීපු බත් එක තියෙනවා.” කරත්තේ එල්ලලා තිබුනු කැප් එකට යටින් තිබ්බ බෑග් එක දිහා බලන ගමන් ඔහු කිව්වා.
” කොච්චර අමාරුවෙන් හිටියත් ඒ ගෑණි මම එළියට බහිනකොට තියෙන මොනවා හරි රත් කරලා දෙනවා” ඔහුගේ මුහුණේ ඒ ඇදුනේ නන් බොහොමත්ම ආදරණීය හිනාවක්.
” මාමා අද කොච්චර ඇවිද්දද ?”
” මන් උදේ පානදුරේ ඉදන් ආවේ මහත්තයෝ. මෙට්ට තුනයි ගෙනාවේ. යන්තන් එකක් විකුණගත්තා. මේ දෙකත් කොහොම හරි විකුණගන්න ඕන.”
ඔහුගේ මූණ බලාපොරොත්තුවෙන් පිරිලා.
” අමාරුයි නේද ජීවිතේ ?”
” කාටත් අමාරුයි මහත්තයෝ ජිවිතේ. මට විතරක් නෙමෙයි, කෙල්ලට උගන්න ගන්න ඕන. අපි ජීව්තේ කරපු වැරදි වලට උන් පළි නෑ මහත්තයෝ. ඒකිට ගියපාර නත්තලට අරන් දීපූ තොප්පිය තමයි අර තියෙන්නේ. උදේ පාන්දර ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා අවුවේ යන්න එපා කියලා ඒකී ඕක දීල ගියේ මට.”
” වෙන රස්සාවක් කරන්න බැරිද ? මේකෙන් පුළුවන්ද ජීවත් වෙන්න තුන්දෙනෙක්ට ?”
“තුන් දෙනෙක් නෙමෙයි මහත්තයෝ අපි පස් දෙනෙක් . අපේ අම්මයි පවුලගේ අම්මයි දෙන්නත් ඉන්නේ අපි එක්කමයි. එක දිගට එකම දේ කරන්න බෑ සර්. ඔළුවේ කැක්කුම එනවා.”
” බෙහෙතක් එහෙම ගන්නේ නැද්ද ?”
ඔහු හිනා උනා. ඒ වගේම මහා ලොකු වැරැද්දක් කරා වගේ ඔහු බිම බලා ගත්තා.
” මේවා අපේ මෝඩ කන් මහත්තයෝ. අවුරුදු හතක්ම කුඩු ගැහුවා. ගෙදරින් මාව එළෙව්වා.. පවුල හම්බ උනාට පස්සේ තමයි ජීවිතේ තේරුන් ගත්තේ. එතකොට හුගාක් පරක්කුයි.”
“වෙලාව තමයි නේද ?”
ඔහු හිනා වුණා.
“පිස්සුද මහත්තයෝ මේවා ගිය ආත්මේ කරපු පව් පින් නෙමෙයි. මේ ආත්මේ මම කරපු මෝඩ කන්. දෙයියන් වහන්සේ මොනා කරන්නද අපි කරන වැරදි වලට.
පවුල කසාද බැන්දට පස්සේ ඒ දේවල් සේරම නතර කලා. ඒත් මේ ඔළුව කැක්කුම පටන් ගත්තා. මේක ඉවසන් ඉන්න පුළුවන් මහත්තයෝ. ජරා වැඩ කරනවට වඩා දාහෙන් සැනසීමක් ඒක..”
කුඩු ගහන එක නවත්තපු දවසේ ඉදන් ඔහු සුව නොවන ඔළුවේ කැක්කුමකින් පෙළෙන්න පටන් අරන්.
” හැමදාම මෙට්ට විකුණන එකද කරන්නේ ?”
” අනේ නෑ මහත්තයෝ. ඒක දවසේ හැටියට තමා. හොරකමක් නොකර හම්බු කරන් කන්න පුළුවන් ඕන දෙයක් කරනවා.
තාත්තා කුඩු ගැහුවා කියලා මගේ කෙල්ලා දන්නවා. මන් ඒක රටේ මිනිස්සු කියන්න කලින් ඒකිට කියලා තිබ්බා. ඒත් මන් කවදාවත් මගේ කෙල්ලට තාත්තා හොරෙක් කියලා මිනිස්සුන්ගෙන් අහන්න දෙන්නේ නෑ මහත්තයෝ.. “
” අමාරුයි තමයි. අත අරින්නේ නෑ ඒ වුණාට. ජීවිතේ හොදම කාලෙදි මම ජීවිතේ අතඇර ගත්තා.
දැන් ජීවීතේ අල්ලගෙන ඉන්නවා. මොනවා උනත් අපි සතුටින් මහත්තයෝ. මේ අවුරුද්දේ කෙල්ලා සාමාන්‍යය පෙළ. ඒකී ඉහළින්ම පාස් වෙනවා. “
ඔහු ජීවිතේ දිහා බලන්නේ එහෙම.
“මට නම් මෙට්ට ඕන වෙන්නේ නෑ. යනකොට ගෙදරට මොනවා හරි අරන් යන්න.”
රුපියක් පන්සීයක් පර්ස් එකෙන් ඇදපු මගේ අත්දෙක ඔහු ආදරෙන් අල්ලා ගත්තා.
” එපා මහත්තයෝ. මහත්තයට ගොඩාක් ස්තුතියි. කාගෙන්වත් සත පහක දෙයක් නිකන් ගන්නේ නෑ මහත්තයෝ. මට පුළුවන් අපේ උන්ව රකින්න. මට පුලුවන් උන්ට හම්බු කරලා කන්න අදින්න දෙන්න. ජිවිතේ වරද්ද ගත්තා තමයි මහත්තයෝ. අපි කවුරුත් මිනිස්සුනේ . අපිටමයි වරදින්නේ. අපිටමයි හරි යන්නේ.
මාත් එක්කම හිට ගත්ත මේ මනුස්සයා අර ගෙදරින් ගෙනාපු බත් පාර්සලේ අතට ගත්තා..
ඒ බත් එක හුගාක් රස ඇති……

~ සහන් කොඩිකාර ~
උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!