පියෙකු සහ ඔහුගේ පුතා විසින් ගුවන් යානයක් පදවාගෙන තම මව්බිමට පැමිණීම ඊයේ (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදු වුනා.
උදිත දන්වත්ත වන පියා ප්‍රධාන ගුවන් නියමුවා වශයෙනුත් , ඔහුගෙ එකම පුත් කවීෂ දන්වත්ත සහායක නියමුවා වශයෙන් කටයුතු කරමින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි එයා ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ.- 047 දරන ගුවන් යානය පදවාගෙන ඊයේ රාත්‍රී 9.45 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි තිබුණා.
එහිදී ඔවුන් දෙදෙනා පිළිගැනීම සඳහා උදිතගේ බිරිඳ ගුවන් තොටුපළ වෙත මල් මිටක් ද රැගෙන පැමිණ සිටි අතර ඔවුන් පදවාගෙන පැමිණි ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලට පැමිණ , එහි සිටි මාධ්‍යවේදීන් වෙත මෙලෙස අදහස් දැක්වා තිබුණා.
“මට මේ ගුවන් ගමන ඉතාමත් සුවිශේෂී එකක් . මම මගේ පුතාත් එක්ක මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එයා ඒෂියා ගුවන් යානය පදවාගෙන පැමිණියා. එහිදී මගේ සහායක ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ මගේ ආදරණීය එකම පුතා, කවීෂ දන්වත්ත.”
“මේක අපි බලාපොරොත්තු වූ සිහිනයක්. මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක්.”
මෙහිදී අදහස් දැක්වූ සහායක ගුවන් නියමු කවීෂ දන්වත්තද මෙලෙස ප්‍රකාශ කළා.
“මේක මගේ කුඩා කාළයේ පටන්ම පැවති සිහිනයක් . මට අවුරුදු 22 කට පසුව ඒ සිහිනය සැබෑ කර ගන්නට පුළුවන් උනා.ඉතිං මට මේ තත්වයට එන්නට උදව් කළ මගේ ආදරණීය දෙමාපියන්ට , ගුරුවරුන්ට මේ අවස්ථාවේ මම ස්තුතිය පුද කරනවා.”
