රසික හදවත්වල ආදරය දිනාගත්තු චරිතයක් තමයි ඕෂධී හිමාෂා කියන්නේ.
ඇය දරු ප්‍රසූතියට පෙරල කළ ඡායාරූප කිහිපයක් නිසා ඇය ගැන වැඩියෙන් කතා වුණා.
ඒ ගැනත් ඇයගේ අලුත්ම තොරතුරු ගැනත් ඕෂධී සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.
අලුත් පදවියත් එක්ක ගෙවෙන ජීවිතය කොහොමද ඕෂධි?
දැන් මම මවක්. ඉතින් බබත් එක්ක ගෙවන ජීවිතේ ගොඩක් කාර්යබහුලයි. ඉස්සරත් මම කාර්යබහුල ජීවිතයක් ගත කළේ. නමුත් දැන් ඊටත් වඩා අපහසු කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඒත් ආසාවෙන් ඒ ජීවිතය ගත කරනවා.
දුව ඕෂධි වගේද? සැමියා වගේද?
දුව ලැබුණාට පස්සේ මම දුවගේ ෆොටෝ ඉන්ස්ටර්ග්‍රෑම් දැම්මා. ඒ ඡායාරූප දැම්මට පස්සේ සෑහෙන ප්‍රතිචාර ලැබුණා.
හැමෝම කිව්වේ දුව සැමියා වගේ කියලා. දුව මං වගේ කියලා කවුරුවත්ම කිව්වේ නෑ. ඉතිං අකැමැත්තෙන් වුණත් ඒක පිළිගන්න වෙනවනේ.
දුව ඕෂධි වගේ නෙවෙයි කියද්දී දුකකුත් ඇති නේද?
බබා ලැබෙන්න ඉද්දි හිතේ පුංචි පුංචි බලාපොරොත්තු තිබ්බා. දුවගේ ඇස් මගේ වගේ වෙයි, නහය සැමියාගේ වගේ වෙයි වගේ කියලා. ඒත් දුව එයාගේ තාත්තා වගේ කියලනේ ප්‍රතිචාර ලැබෙන්නේ. ඉතිං එහෙම කියද්දි සැමියට හරි සතුටුයි. මං වගේ කියලා කිව්වේ නැතත් සැමියාගේ සතුට දැකලා මමත් සතුටුවෙනවා.
ඕෂධියි සැමියයි දෙන්නම කැමැත්තෙන් හිටියේ දුවකුටද?
මම නම් දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නෑ කියලා හිතාගෙන හිටියේ. හැබැයි සැමියා නම් වැඩිපුරම කැමැත්තෙන් හිටියේ පුතකුට.
සැමියා පුතකුට කැමැත්තෙන් හිටියට ලැබුණේ දුවෙක්නේ. ඒ ගැන සැමියා මොකද කිව්වේ?
බබා ලැබෙන්න මාස පහක් වගේ යද්දී ස්කෑන් කළාම දුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගන්න ලැබුණා.
සැමියා විදේශ රටවලට ගිහින් එද්දී පුතකුට ඕන ඇඳුම් කිහිපයකුත් ඊට කලින් ගෙනත් තිබ්බා. ඉතිං දුවෙක් ලැබෙන්න ඉන්නේ කිව්වම එයා පොඩ්ඩක් අප්සට් එකේ හිටියා.
ඒත් දැන් එයා දුවට පුදුම විදිහට සමීපයි. මම බබාට කවන පොවන බලාගන්න දේවල් කළාට, බබාගේ හැමදෙයක්ම සැමියා හොයලා බලලා කරනවා.
දුවගේ වැඩ රාජකාරිවලට හුරු වෙන්න ඕෂධිට පහසු වුණාද?
මේ අපිට ලැබුණු පළමුවැනි බබා. ඉතිං බබාගේ වැඩවලට හුරුවෙන එක නුහුරු අත්දැකීමක් වුණා.
දුව ලැබුණට පස්සේ මගේ අම්මා අපි ළඟට ආවා. සති දෙකක් විතර අම්මා තමයි බබාගේ වැඩ කළේ. ඊට පස්සේ මම බබාගේ වැඩ කරන්න පුරුදු වුණා. දැන් මම තනියම බබාගේ වැඩ ඔක්කොම කරනවා.
දුවගේ වැඩ රාජකාරිවලට සැමියගෙන් ඕෂධිට උදවු ලැබෙනවද?
ඇත්තටම සැමියාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. රැකියාවේ වැඩ කටයුතු එක්ක එයාට නිතරම ගෙදර රැඳෛන්න වෙන්නේ නැහැ.
ගෙදර ඉන්න දවස්වලට බබාගේ වැඩවලටත් පුළුවන් උපරිම උදවු කරනවා. මටත් කොහේ හරි යන්න ඕනේ නම් මම සැමියා එනකල්ම ඉන්නවා. ගෙදර ඉන්න දවසට එයා මටත් වඩා කාර්යබහුලයි.
දුවට නමක් තිබ්බද?
දුවට නම් කිහිපයක්ම හිතාගෙන ඉන්නවා. හැබැයි තාම නමක් හරියටම තියලා නැහැ.
සමහරු මාස කිහිපයක් යනකල් අලුත ඉපදුණු බබාගේ ඡායාරූප එළිදක්වන්නේ නෑ. නමුත් ඕෂධි බබාගේ ඡායාරූප එළිදැක්වූවා. ඒ වගේම බබා ලැබෙන්න ඉද්දි වෙනස් ඡායාරූප පෙළක් කළා. සමහරු දාගත්ත රාමුවලින් ඕෂධි පිට පැනලා නේද?
මගෙයි සැමියාගෙයි කැමැත්තට තමයි මම බබා ලැබෙන්න ඉද්දි ඒ ඡායාරූප පෙළ කළේ. මම මොඩ්ල් කෙනෙක්. හැමෝම කරන විදිහේ ඡායාරූපවලට වඩා වෙනස් විදිහේ ඡායාරූප ටිකක් කරන්න අපිට ඕන වුණේ. බබා ලොකු වුණාම එයා ලැබෙන්න ඉද්දි අම්මා හිටියේ මෙහෙම කියලා එයාට පෙන්වන්න මතක සටහන් එකතු කරගන්න මට ඕන වුණා.
මට ගොඩක් ආරාධනා ආවා ගැබිනි කාලසීමාවේ ෆොටෝ ෂූට් කරන්න.
ඉතිං අපි වෙනස් ෆොටෝ ෂූට් කිහිපයක් කළා. පිටරටක ඔය වගේ ෂූට් එකක් කළා නම් ගොඩක් අය වාව් කියයි. අපේ රටේ අය ඒ ඡායාරූප ගැන නරක විදිහට කතා කරන්නේ ඇයි දන්නේ නැහැ. ඒ වගේ ෂූට් එකක් කරන්න බැරි විදිහට මගේ ඇඟ කැතවෙලා තිබ්බේ නැහැ. ඒ නිසා ඒ වගේ ෆොටෝ ෂූට් එකක් කරන්න සැමියාටයි මටයි ප්‍රශ්නයක් තිබ්බේ නෑ. අනෙක් අය මොනවා කිව්වත් අපි ඒ ගැන හිතන්නේ නැහැ. අදටත් මම බබා ලැබෙන්න ඉද්දි ගත්ත ඡායාරූප බලලා රස විඳිනවා.
අපි පටු සීමාවල් ඇතුළේ ඉඳලා වැඩ කරන්නේ නැහැ. අපි බබාගේ ඡායාරූපත් දැනටම එළිදක්වලා තියෙන්නේ.
ඕෂධි දැන් නිරූපණ කටයුතු, රංගන කටයුතු අතහැරලා දායිද?
මම නිරූපණ කටයුතු, රංගන කටයුතු අතහැරලා දාලා නැහැ. ආයෙත් වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
නමුත් දැන්ම වැඩ කරන්න බලාපොරොත්තුවක් නැහැ. බබාට මාස හයක්වත් යනකල් එයා එක්කම ඉන්න ඕන. නමුත් සමාජ මාධ්‍යවල කරන වැඩකටයුතු කරගෙන යනවා.
බබා ලැබුණට ඕෂධිගේ පෙනුමේ වෙනසක් වෙලා නෑ නේද?
ඔව්. ගොඩක් අය බබාලා ලැබුණට පස්සේ තරබාරු වෙනවනේ. නමුත් මට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ මම සිරුර හරියට පවත්වාගෙන ගිය නිසා වෙන්නත් පුළුවන්. දැන් මම ඉන්න තත්ත්වය එක්ක මට ක්ෂේත්‍රයේ වැඩ කරන්නත් අපහසුවක් නැහැ.
අලුත් වැඩවලට ආරාධනාත් ලැබෙනවා ඇති?
ඔව්. මම සම්බන්ධ වුණ චිත්‍රපටයක් මේ මාසේ ඉඳන් තිරගත කරන්න සියලු කටයුතු සුදානම් කරලා තියෙන්නේ.
වැඩවලට ආරාධනා ලැබෙනවා. නමුත් මේ දවස්වල බබාගේ වැඩත් එක්ක කළමනාකරණය කරගෙන කරන්න බැරි නිසා ඒ වැඩ භාර ගත්තේ නැහැ.
ඒ කියන්නේ ඕෂධි දැන් පවුල් ජීවිතයට මුල්තැන දෙනවා වගේ?
ඇත්තටම, මම දැන් පවුල් ජීවිතයට මුල්තැන දීලා තියෙන්නේ. පවුලට, බබාට මුල්තැන දීලා ලැබෙන වෙලාවත් එක්ක තමයි අනෙක් වැඩ කරන්නේ. ලැබෙන ලැබෙන හැම වැඩේම භාරගන්න වුවමනාවක් නෑ. හොඳ වැඩවලට පුළුවන් විදිහට ඉදිරියේදී සම්බන්ධ වෙනවා.
ආයෙත් ක්ෂේත්‍රයේ වැඩ කරනවට සැමියාගේ අකැමැත්තක් නැද්ද?
නැහැ. මගේ සැමියා ක්ෂේත්‍රයේ වැඩවලට ආසා කෙනෙක්. එයත් නිරූපණ ක්ෂේත්‍රයේ ඉඳලා තියෙනවා.
ඒ නිසා එයාට මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙනවා. මම ක්ෂේත්‍රයේ වැඩ කරනවට සැමියත් කැමැතියි. එයා මට කවදාවත් තහංචි දාලා නැහැ. හැබැයි එයා හදිසියෙවත් දෙයක් එපා කිව්වොත් මම එයා කියන දේ අහනවා.
නිදහස දෙන සැමියෙක් තෝරා ගැනීම ගැන ඕෂධි සතුටුවෙනවා ඇති?
ඇත්තටම මම වාසනාවන්තයි. මගේ සැමියා හැමදෙයක් ගැනම විවෘත මනසකින් හිතන කෙනෙක්. ඒ එයාගේ රැකියාව, පවුල් පසුබිම, අධ්‍යාපන පසුබිම එක්ක වෙන්න පුළුවන්. එයාව තෝරා ගැනීම ගැන මම ගොඩක් සතුටුවෙනවා.
මොනවද ඕෂධිගේ ජීවිතේ හැබෑ කරගන්න තියෙන ඊළඟ හීන?
මගේ ජීවිතේ තිබ්බ ලොකුම හීනය තමයි මවක්වීමේ හීනය. ඒ බලාපොරොත්තුව හැබෑ වුණා. ඉදිරියේදී දුවව හොඳ පුරවැසියෙක් කරන බලාපොරොත්තුව තියෙන්නේ. ඒ වගේම රැකියාවෙන් ඉදිරියට යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
දුව කවදාහරි ඕෂධි වගේ නිරූපණ ක්ෂේත්‍රය, රංගනය තෝරාගන්නවට කැමැතිද?
මම ඒ ගැන තාම හිතලා නැහැ. මගේ සැමියා කවදා හරි බබා කැමැති ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඉඩ දෙයි. එයා හැම දේ ගැනම විවෘත නිදහස් මනසකින් හිතන නිසා දුව කලා ක්ෂේත්‍රය තෝරාගත්තත් එයාට ඒ පාරේ යන්න උදවු කරයි.
උපුටා ගැනීම – මව්බිම පුවත්පත
