ෆින්ලන්තයේ ගමනාගමන ඇමැතිනිය ලෙස පසුගිය ජුනි මස සිට සේවය කළ සන්නා මාරින්, එරට පාලක සමාජ ප්රජාතන්ත්රවාදී සන්ධානය විසින් අගමැතිනිය ලෙස පසුගිය ඉරිදා තෝරා පත් කරගනු ලැබුවා.
තවමත් 34 වැනි වියේ පසු වන ඇයට එම තනතුර ලැබීමට හේතු වූයේ හිටපු අගමැති ඇන්ටි රිනේ එම තනතුරෙන් ඉල්ලා අස්වීමයි. මෑතක පැවති තැපැල් වැඩවර්ජනය සාර්ථක ලෙස සමථයකට පත් කිරීමට තමා අසමත් වීම සිය ඉල්ලා අස්වීමට හේතුව ලෙස ඔහු දක්වා තිබුණා.
පාලක සන්ධානය පක්ෂ 5කින් සමන්විත වන අතර ඇය නියෝජනය කරන මධ්‍යම පක්ෂය එහි විශාලතම පක්ෂයයි. නුදුරු දිනෙකදී ඇය තනතුර භාරගැනීමත් සමඟ ලොව ළාබාලතම අගමැතිනිය වීමේ ගෞරවය ඇයට හිමි වනු ඇත. පක්ෂය තුළ පවත්වන ලද ඡන්දයේදී පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ඇන්ටි ලින්ට්මාන් පරදා තියුණු තරගයකින් ජයග්‍රහණය ලද සන්නා මාරින්, ජනතා විශ්වාසය නැවතත් ගොඩනැඟීමට බොහෝ කාර්යයන් කළ යුතුව ඇති බව මාධ්‍යවේදීන් සමඟ පවසා තිබෙනවා.
ටැම්පියරේ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය වයස 27දී එම නගරයේ පුරපතිනිය ලෙස පත්වෙමින් දේශපාලනයට පිවිසි ඇය, 2015 වසරේ සිට ෆින්ලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරියක ලෙස කටයුතු කරනවා.
සුරූපී සන්නා මාරින් ලොව ළාබාලතම අගමැතිනිය ලෙස පත්වීම පිළිබඳ අදහස් දක්වමින් ලොව මහලුතම අගමැතිවරයා වන මැලේසියාවේ මහතීර් මොහොමඩ් පවසා ඇත්තේ ඇයට යම් උපදෙසක් අවශ්‍ය නම් ‘මහලු පුද්ගලයන්’ වෙතින් විමසීම කදිම අදහසක් වනු ඇති බවයි.
