මට හිතෙන්නේ පියෙකුගේ ඇඟේ මස්, ලේ, ඇට මිඳුළු දක්වා කිඳාබැස්ස, කිසිදා අත්හරින්න බැරිම හා උත්තරීතර ආදරයක් ආත්මීය බැඳීමක් තමයි පිය සෙනෙහස කියන්නේ.
ජීවිත කාලය පුරාවට ගොඩ නගා ගත් වස්තුව, දේපළ, මිල මුදල්, රැකියාව, කීර්ති නාම දිනකදී අත් හරින්නට පුළුවන් වුණත් ජීවිතේ හුස්ම ටික තියෙනකං දරුවෝ අතඅරින්න බැහැ.
දරුවන් වෙනුවෙන් උපන් ආදරය සෙනෙහස මැකී යන්නේ නැහැ.
විටෙක එය ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්නත් පුළුවන්. තාත්තලාගේ ආදරය ගැන කතා කිරීමට අපි මුල පිරුවේ වර්තමානයේ ජනාදරයට නොඅඩුව පාත්‍රවන නව පරපුරේ ගායක සනුක වික්‍රමසිංහගේ ආදරණීය පියාණන් සංගීත් වික්‍රමසිංහ ය.
සනුක පුතා අද ඉන්න තැන ගැන කොහොමද දැනෙන්නේ?
පියෙකු විදියට තව දරුවෙකු සමාජයේ යහපත් පුරවැසියෙක් වී, රටට කීර්තියක් ගේන, දෙමාපියන්ගේ නම ආරක්ෂා කරන කෙනෙක් වීම දැකීම තරම් සතුටක් නැති තරම්. ඒ ගෞරවනීය පූජනීය සතුට මම අද විඳිනවා. ඉස්සර මිනිස්සු කිව්වේ සංගීත්ගේ පුතා සනුක කියලා. අද කියන්නේ සනුකගේ තාත්තා සංගීත් කියලා. අපට ලෙයින් ලැබුණ උරුමයත් අරන් සනුක අද යන ගමන දිහා දැක්කාම මට දැනෙන සතුට කියන්න වචන නැති තරම්.
අපි අතීතයට පොඩ්ඩක් ගිහින් ඔබට පියෙකු ලෙසින් හිස ඔටුණු පැළඳු අතීතය මතක් කරමු?
මමත් බිරිඳත් විවාහ වෙන්නේ 1992 වසරේ ජනවාරි. ඒ වසරේම මාර්තු මාසයේදී තමයි බිරිඳ මට කියන්නේ මම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන සුබ ආරංචිය.
ඒ සුබදායක පණිවිඩය දැනගත්ත මොහොතේම අපි දෙන්නාම අධිෂ්ඨාන කළා අපිට පිරිමි දරුවෙක් ලැබුණොත් හොඳයි කියලා.
අද වගේ දරුවා ඉපදෙන්න කලින් කුසේ ඉන්න දරුවා කවුද කියලා දැනගන්න විදිහක් තිබුණේ නැහැ.
ඒත් අපි දෙන්නාගෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණා අපට පුතෙක් ලැබෙයි කියලා. හරියටම දෙසැම්බර් 11 වැනිදා අපිට ලැබුණේ පුතෙක්.
ඒ බලාපොරොත්තුවේ සතුට නම් අම්මෝ කියන්න බැරි තරම්.
පුතෙක් ලැබුණොත් දාන්න ඕනේ නම මමත් බිරිඳත් කතිකාකරගෙන තිබුණේ අපි පෙම්වතුන් ලෙස ඉන්න කාලයේදීමයි.
මා මැදපෙරදිග රැකියාව කරද්දි මමත් රේණුකාත් (මගේ බිරිඳ) සමග අදහස් හුවමාරුකර ගනු ලැබුවේ ලිපි මගින්. සාමාන්‍යයෙන් ලංකාවේ ඉඳලා මැද පෙරදිගට ලිපියක් එන්න දින 12 ක් විතර යනවා. දවසක් රේණුකා මට ආදරයෙන් එවපු ලිපියක සඳහන් කරලා තිබුණ අපිට පුතෙක් ලැබුණොත් සංගීත් නමේ මුල් අකුරයි. රේණුකා කියන නමේ අග අකුරු දෙකයි. එකට එකතු කරලා සනුක කියලා නම තියමු කියලා. ලොකු පුතාට නම යෙදුණේ ඔන්න ඔය විදියට. දෙවැනි පුතා සමිත වික්‍රමසිංහ. ඔහුට දැන් අවුරුදු 21 ක්. ඔහු ඔටෝ මොබයිල් ඉංජිනේරු අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වී සිටින්නේ.
ඇයි ඔබ පුතෙකු පවුලට එකතු වෙනවාට ලොකු ආසාවකින් හිටියේ?
ඇත්තම කියනවා නම් අපේ ලේවල තියෙන සංගීතයේ උරුමය ඉස්සරහට අරං යන්න පුතෙක් ඉන්න ඕනේ කියලා මට ගොඩක කල් ඉඳලාම හිතිලා තිබුණා. මගේ තාත්තත් දක්ෂ සංගීතවේදියෙක්. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවෙ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ නායක ලෙස 1955 – 1980 වසර නියෝජනය කළා. ඒ වගේම මගේ පියා සංගීත ගුරුවරයෙක්. මේ ආභාසයෙන්ම උපන් හැකියාවෙන්, දක්ෂතාවයෙන් තමයි මමත් ගායකයෙකු, ගීත රචකයෙකු වෙන්නේ. ඒ උරුමය අඩුවක් නැතුව සනුකටත් ලැබිලා තියෙනවා.
සනුක සංගීතයෙන් ඉදිරියට යයි කියලා ඔබ හීන මැව්වාද?
ඔව්, පුතා කුසේ ඉන්න කොට මම ඉතාම සෞම්‍ය සංගීත කාණ්ඩ ඉයර්ෆෝන් එකක් ආධාරයෙන් රේණුකාගේ කුසේ දෙපැත්තට අහන්න සලස්වනවා. ඒ මියුරු සංගීත කාණ්ඩ ඇහෙන කොට කුසේ ඉන්න පුතා චලනවලින් ප්‍රතිචාර දක්වනවා. සංගීත කාණ්ඩය නතර කළාම එයාගේ චලනයෙත් ප්‍රතිචාර නතර කරනවා.
සනුක සංගීතයට ඇත්තටම ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තේ කුසේ ඉඳලාම. ආ තව එකක් තමයි එයා ඉපදිලා මාස 4 – 5 වගේ කිරි බොන වයසේදී මහ ගෙදරදී මගේ තාත්තා සංගීත පන්ති කරද්දි තාලයට ගායනා කරන සංගීත කාණ්ඩ පවා, අම්මාගෙන් කිරි බිබී ඉද්දි, කිරි එක අත ඇරලා ඒ හඬට ඇහුම්කන් දෙන්න තරම්, සංගීතයට ඔහු ගොඩක් ආකර්ෂණය වී තිබුණා. පෙර පාසල් අවධිය, පාසල් අවධිය ආදී අවධීන් වලත් ඔහු ඔහුගේ දක්ෂතාව දින දින පෙන්නුම් කළ නිසාම ඔහු යන මාවත ගැන පැහැදිලි දැක්මක් එදා ඉඳලාම මම දැක්කා.
දරුවන් නිසා වඩාත් සමීප දෙයක් හිතට දැනී තිබුණද?
මම රාත්‍රී ප්‍රසංගවලට සහභාගී වෙන නිසා පුතාලා එක්ක තුරුළුවෙලා රාත්‍රිය ගත කරන්නට මට ලැබෙන්නේ නැහැ. මම පාන්දර ගෙදර ඇවිත් උදේ දහය විතර වෙනකම් නිදාගන්න කොට දරුවෝ පාසල් ගිහින්. ඒත් සනුක හැමදාම රෑට නින්දට යන කොට කියනවාලු අනේ පව් නේද අම්මා, තාත්තා අපි නිසා නේද ඔය රෑ එළිවෙනකම් නිදි මරන් දුක් විඳින්නේ කියලා.
රාත්‍රී නින්දට පෙර දුරකථන ඇමතුම් අරං තාත්ති බුදුසරණයි කියලා තමයි නින්දට යන්නේ. පුංචි දේවල් වුණත් ඒවා හරියට හිතට දැණුන දේවල්.
ඇත්තටම දරුවන්ට පුංචි කාලේ ඉඳලාම අපි කරන දේවල් දැනෙනවා කියන්නේ ඒකත් මහා අපූරු දෙයක්. ඇත්තටම පුංචි කාලේ ඉඳලාම අද වෙනකම් දරුවෝ දෙන්නයි අපි දෙන්නායි ඉන්නේ යාළුවෝ වාගේ. දුක, සතුට, හැමදේම එක්ක ගලාගෙන යන ජීවිතේ අපි හැම දෙයකදීම එකට ඉන්නවා.
එහෙම වාසනාවන්ත විදිහට ජීවත් වෙන්න ලැබීම පිනක් විදිහටයි මම දකින්නේ. ඇත්තටම පෙර කරලා තියෙන කුසල් නිසා වෙන්න ඇති මේ තරම් හොඳ ගුණ යහපත් දරුවෝ දෙන්නෙක් අපිට ලැබෙන්න ඇත්තේ කියලා මමයි, බිරිඳයි, අපේ ලෝකවල තනි වුණාම අපි නිතර කතා කරනවා.
සනුක සමග එකම වේදිකාවේ ඔබත් ගායනා කරනවා. මොකද හිතෙන්නේ?
ඒ හැඟීම මහා අමුතුම ආත්ම ශක්තියක් ලැබෙන දෙයක්. මම මේ එකම වේදිකාවේ ඉන්නේ මගේම ලෙයින් උපන් මගේ පුතා එක්ක නේද කියලා හැඟෙනකොට මුළු ලෝකයම මට අයිති වුණා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. අනේ මන්දා වෙන කොහොමද මම ඒ සතුට විස්තර කරන්නේ.
දරුවෝ කියන්නේ ඇත්තට කවුරුන් කියලා ද ඔබට හැඟෙන්නේ?
මට හිතෙන්නේ දරුවෝ කියන්නේ ඩ්‍රීම් එකක්. මට අද පේන්නේ තව වසර කිහිපයකින් සීයේ කියලා සනුකගේ පුතෙක් මා ළඟට එයි කියන ඩ්‍රීම් එක. දරුවෝ කියන ආත්මීය බැඳීම, ඔය විදිහට පුරුකෙන් පුරුක එකතුවෙනවා හැරෙන්න කවදාවත් අබමල් රේණුවකින් වත් අඩුවෙන්නේ නම් නැහැ. ඒක තමයි ඇත්ත.
අසුන්තා එදිරිසූරිය
