ගිරිගෝරිස් අයියා හැටපස් හැවිරිදි වියේ පසුවූ දරුවන් හය දෙනකුගේ පියෙකි. මොහුගේ බිරිඳ සිරියාවතීය. මෙකී යුවළගේ දරු හය දෙනාගෙන් තිදෙනකු පාසල් යන වියේ පසුවූහ. අනික් දරු තිදෙනා විවාහ වී වෙනම පදිංචිව සිටියහ. ගිරිගෝරිස් අයියා තම දරුපවුල සමග බද්දේගම නගරයට නුදුරින් පිහිටි සුන්දර ගම්මානයක පදිංචිව සිටියේය..
ගිරිගෝරිස් අයියා තම දරුපවුලේ බඩවියත රැකගැනීම සඳහා රක්ෂාව වශයෙන් ගව පාලනයේ නිරතව සිටියේය. ඔහු සතුව ගොන් නාම්බෙක් ඇතුළු මී ගව රංචුවක් සිටියහ. ගිරිගෝරිස් අයියා පාරම්පරිකව ගව පාලනයේ නිරත ගව හිමියෙකි.
මෙකි මී ගවයන්ට සාත්තු සප්පායම් කිරීමට හා එම සතුන් රැකබලා ගැනීම වෙනුවෙන්
ගිරිගෝරිස් අයියා දිනයේ වැඩිකාලයක් ගත කළේය. මීගව රංචුවේ කිරිදොවන වැස්සියන් සිව් දෙනකුද සිටියහ. මේ නිසා ගිරිගෝරිස් උදෑසනින්ම කිරි දෙවීමට යෑමට පුරුදුව සිටියේය. නිවස අසල තිබූ ලඳු කැලෑවක් සහිත ඉඩමක මී ගවයින් බැඳ සිටි අතර හරක් හොරුන්ගෙන් තම සතුන් ආරක්ෂා කරගැනීම සඳහා ගිරිගෝරිස් අයියා දැඩි අරගලයක නිරතව සිටියේය. ගිරිගෝරිස් අයියා හැඩිදැඩි පුරුෂයෙකි. හේ ශක්තිවන්ත දිරිය මිනිසෙකි. මොහුගේ බිරිඳ සිරියාවති ද උත්සාහවන්ත කාන්තාවක් වූ අතර ඇය ගිරිගෝරිස් සමග හරි හරියට වැඩ කළාය.
ගිරිගෝරිස් අයියාගේ මීගව රංචුවේ සිටි මී ගවයින් කිහිපදෙනකුම හරක් හොරුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබුණි. මේ නිසා ගිරිගෝරිස් අයියා රාත්‍රියේ වැඩි කාලයක් ගත කළේ අවදියෙනි. හේ රාත්‍රි කාලයට මී ගවයින් ගැන විටින් විට සොයාබැලීමට පුරුදුව සිටියේය. මේ නිසා ඇතැම් දිනවල ගිරිගෝරිස් නින්දට ගියේ අළුයම දෙක තුනටය. එක් වතාවකදි
ගිරිගෝරිස්ගේ මිගවයින් හොරකම් කිරීමට පැමිණි හරක් හොරුන් කිහිප දෙනකු පොලිසියට අල්ලා දීමට ගිරිගෝරිස් කටයුතු කළේය. මේ නිසා හරක් හොරුන් ගිරිගෝරිස් අයියා සමග දැඩි වෛරයෙන් පසුවූහ.
එක්දිනක සවස් කාලයේ
ගිරිගෝරිස් අයියා මීගවයින් බැඳීම සඳහා නිවසට මඳක් දුරින් පිහිටි ලඳු කැලෑව වෙත ගියේය. ? බෝවන තුරුත් ගිරිගෝරිස් අයියා යළි නිවසට නොපැමිණියේය. බිරිඳ සිරියාවති මෙන්ම දරුවන්ද
ගිරිගෝරිස් අයියා ගැන සොයා බලන්නට වූහ. ගිරිගෝරිස් අයියාගේ මී ගව රංචුවේ සිටි එක් ගොන් නාම්බෙකු ගෙලබැඳි කඹය පිටින්ම නිවස වෙත දිව විත් තිබුණි. මේ අතර ගිරිගෝරිස්ගේ පවුලේ අය මෙන්ම ගම්මුන්ද එක්වී ලඳුකැලය පීරමින් ගිරිගෝරිස් අයියා සොයන්නට වූහ. ලඳු කැලය තුළ ගිරිගෝරිස් අයියා වැටී සිටියේය. ගිරිගෝරිස් අයියාගේ හිසේ මුදුනේ විශාල තුවාලයක් ද තිබුණි. සිරුරේ තැලීම් තුවාල කිහිපයක් විය. ඒ වනවිටත් ගිරිගෝරිස් අයියා මියගොස් සිටියේය.
ගිරිගෝරිස් අයියා පොල්ලකින් ගහලා මරා දමලා ඒ වනවිට ගමපුරා මේ පුවත ලැව්ගින්නක් සේ
පැතිරිගොස් තිබුණේය. මගේ මහත්තයා කුරා කූඹියෙකුටවත් හිංසාවක් කළේ නැහැ. මොන වැඩ තිබුණත් හතර පෝයටම සිල් ගත්තා. මා දන්නා තරමට මහත්තයාට තරහකාරයන් සිටියේ නැහැ ගිරිගෝරිස් අයියාගේ බිරිඳ හඬාවැළපෙමින් පරීක්ෂණ කටයුතු සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට කීවාය. මෙය මිනී මැරුමක් බවට පොලිස් නිලධාරීන් විසින් ද තීරණයට කොට තිබුණි. ඒ අනුව මහෙස්ත්‍රාත් වරයාගේ නියෝගයකට අනුව
ගිරිගෝරිස් අයියාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබීය.
ඒ වනවිට පොලිසිය මගින් ද ගිරිගෝරිස් අයියාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකොට තිබුණි. මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන්ද කිසිදු තොරතුරක් අනාවරණය වී නොතිබුණි. එම සැකකරුවන්ද පොලිසියට පවසා සිටියේ තමන් ගිරිගෝරිස් අයියාගේ මරණයට සම්බන්ධව කිසිවක් නොදන්නා බවය.
ගිරිගෝරිස් අයියාගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූයේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි පී. ඒ. කිරිඇල්ල මහතාය. අධිකරණ වෛද්‍යරයා ගිරිගෝරිස්ගේ මළ සිරුර බාහිරව පරීක්ෂා කළේය. හිස මුදුනේ විශාල තුවාලයක් තිබූ අතර සිරුර පුරා තැලීම් තුවාල දක්නට විය. සිරුර පුරා මඩ තැවරී තිබුණේය.
සැබවින්ම මෙය බැලූ බැල්මට මිනීමැරුමකි. එහෙත් ඒ ගැන කිසිදු සාක්ෂියක් හෝ වැඩියමක් අනාවරණය කරගැනීමට පොලිසියට ද නොහැකිවිය. ඒ අනුව අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පසුවට තබා ස්ථානීය පරීක්ෂණයක් කිරීම සඳහා සිද්ධිය වූ ස්ථානයට ගියේය. ගිරිගෝරිස් වැටී සිටි ස්ථානයේ ගරාවැටී තිබූ ගෙයක් දක්නට විය. මෙකී ගරාවැටී තිබූ නිවසට ආසන්නයෙන් යකඩ පොල්ලක් සිටුවා තිබුණේය. ඒ වටා මීහරක් අඩි විසිරී තිබුණි. ඒ විතරක් නොව පාදවල සටහන් ද දක්නට ලැබුණු අතර ඒ පාද සටහන් කෙරෙහි අධිකරණ වෛද්‍යවරයාගේ සියුම් නිරීක්ෂණයට ලක්විය. මෙකී යකඩ භාරයේ ගිරිගෝරිස් විසින් සිය ගොන් නාම්බා ගැටගසන බව එහි සිටි පවුලේ අයෙකු අධිකරණ වෛද්‍යවරයාට කීවේය.
යකඩ පොල්ලේ අඩි එකහමාරක පමණ ලේ පැල්ලමක්ද දක්නට විය. එහි කෙස්ගස් කිහිපයක්ද තැවරී තිබුණේය.
ඇත්තටම මේ පුද්ගලයා මිය ගිහින් තිබුණේ හිසට එල්ලකළ පහරදීමකින් නෙවෙයි. මේ පුද්ගලයා ගොන් නාම්බා බඳින්න ආ විට ඒ සතා කුලප්පු වුණා. පස්සේ මොහු ගොනා බැඳල හිටපු නයිලෝන් කඹයෙන් ඇදලා තියෙනවා. අත ලිස්සාගොස් මොහු වැටෙන්න ඇති. මොහුගේ දෑත් පරීක්ෂා කිරීමේදි ඒවා ලෙලි ගිහින් තිබුණා. ඒ සමග මොහු යකඩ බටය මත වැටෙන්නට ඇති. යකඩ බටයේ හිස වැදීමෙන් තමයි හිස තුවාල වෙන්න ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරි පී. ඒ. කිරිඇල්ල මහතා විසින් ස්ථානීය පරීක්ෂණයේදි අනාවරණය කරගත් තොරතුරු විස්තර කරමින් එසේ කීවේය.
යකඩ බටයේ තැවරී තිබූ ලේ පැල්ලම් හා හිස කෙස් මියගිය පුද්ගලයාගේම කියා පරීක්ෂා කිරීම සඳහා ඞී. එන්. ඒ. පරීක්ෂාවක් කිරීමටද අධිකරණ වෛද්‍යවරයා විසින් කටයුතු කළේය. එම පරීක්ෂාවේදි ලේ සහ හිස්කෙස් මියගිය පුද්ගලයාගේ බවට අනාවරණය විය. ඒ අනුව ගිරිගෝරිස් මරණය ඝාතනයක් නොවන බවට අනාවරණය කරගැනීමට අධිකරණ වෛද්‍යවරයාට හැකිවිය.
මෙකී පුද්ගලයාගේ හිස කුඩුවෙලා මොළයට ලේ බැහැලා තිබුණා. හිසට වූ තුවාල වලින් තමයි මෙම පුද්ගලයා මියගොස් තිබුණේ යැයි අධිකරණ වෛද්‍ය නිලධාරි පී. ඒ. කිරිඇල්ල මහතා පැවසීය.
උපුටගැණිම – දිවයින පුවත්පත
