සිය නිවස ඉදිකිරීමට නැකත් වේලාවක් බැලීමට ගිය විශ්‍රාමික නාවික සෙබළයකු ගම්පොළ නගරයේ මත්පැන් හලකින් බියර් පානය කර අවසිහියට පත්ව බස් නැවතුමේ සිටියදී නිවස සෑදීමට බැංකුවෙන් ගත් රුපියල් තුන්ලක්ෂ දසදහසක මුදලක් සිවුදෙනකු විසින් සොරාගෙන ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි. සිද්ධියෙන් දින 8 කට පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගම්පොළ පොලිසියට හැකි වී ඇත. සිද්ධිය මෙසේය
ගම්පොළ නගරයට පැමිණ අදාළ විශ්‍රාමික නාවික සෙබළා බැංකුවෙන් රුපියල් තුන්ලක්ෂ දසදහසක මුදල රැගෙන දන්නා හඳුනන ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සලකට ගියේය. එහිදී තමන් ඉල්ලූ කම්බි වර්ගය පසු දින ලබාදීමට හැකි බව පැවසීම නිසා ඔහු ඊළඟට සිදු කළේ නිවස ඉදිකිරීමට අවශ්‍ය සුදුසු නැකැත් වේලාවක් බලාගැනීමට නගරයේ සිටින නැකත්කරුවකු ළඟට යෑමය.
නමුත් ඔහු ළඟට යන විට දහවල් 12.00 පසු වී තිබීම නිසා ජ්‍යොතිෂවේදියා පවසා ඇත්තේ නව නිවසක් සෑදීම වැනි කටයුත්තකදී දහවල් එය කිරීම නුසුදුසු බවයි.
තමන් සිදුකර ගැනීමට පැමිණි කාරණා දෙකම අසාර්ථක වීම නිසා බියර් පානය කර ගෙදර යෑමට සිතූ ඔහු ඒ අසල තිබූ සුරා සලට පැමිණ බියර් පානය කර ඇත.
ගම්පොළ නගරයේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිවුදෙනකු මොහුගේ හැසිරීම දැක මොහු පසුපස ගොස් ලංගම බස් නැවතුම අසලදී නවතා තිබූ ති‍්‍රරෝද රථයකට ඔහු නංවා ගත්තේ උදව් කරන මුවාවෙනි.
එහිදී සාක්කුවේ තිබූ සියලූ මුදල් පැහැර ගත් මොවුන් සිවුදෙනා අවසිහියෙන් සිටි නාවික සෙබළා එහි දමා පැන ගොස් ඇත.
බොහෝ වේලාවක් එහි සිටි මෙම තැනැත්තා පසුව සිද්ධිය පිළිබඳව ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි කළ ද මුදල් ගත් කිසිවකු පිළිබඳව පැවසීමට නොදැන සිටියේය.
විශ්‍රාම යනතුරු දරු පවුලට නිවසක් සෑදීමට නොහැකි වූ මෙම නාවිකයා පිළිබඳව අනුකම්පා කළ පොලිස් පරීක්ෂණ කණ්ඩායම මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ඇරඹීය. එහිදී නගරයේ රහස් කැමරා දත්ත ද උපයෝගී කරගෙන සිද්ධියට අදාළ සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගේ කටඋත්තර අනුව මෙම මුදල් රැගෙන ගොස් මහනුවර නගරයේදී රුපියල් දෙලක්ෂ විසිපන්දහසක (225,000) ක මත්කුඩු භාවිත කර ඇත. මොවුන් ති‍්‍රරෝද රථයක් මිලදී ගැනීමට අත්තිකාරමක් ලෙස දී තිබූ රුපියල් හැත්තෑපන්දහසක මුදල සොයාගෙන ඇත.
විශ්‍රාමික නාවික සෙබළාගේ නිවාස සිහිනය බිඳ දැමූ මෙම සිවුදෙනා ඊයේ (05)දා දින ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
