නොවැම්බර් මස දහඅට වැනිදාය. ඇල්පිටිය පොලිසියට ලැබුණු තොරතුරකින් කියැවුණේ අටකෝට්ටේ ජම්බුගහහේන පාරේ යතුරුපැදියක් පෙරලී ඇති බවකි.
ලැබුණු තොරතුරු අනුව එතැනට ගිය නිලධාරීන්ට දැකගන්නට ලැබුණේ පෙරළුණු යතුරුපැදියයි. ඒ අසල තවත් සෝදිසි කිරීමකදී එතැන තිබූ රබර් සෙරෙප්පුවකට ඔවුන්ගේ නෙත රැඳිණි. යතුරුපැදියේ නොම්මර තහඩු දෙක පත්තර කොළවලින් ආවරණය කොට ලණු වලින් ගැට ගසා තිබිණි.යතුරුපැදිය අසල වෙල්යායේ කුඹුරක පුද්ගලයකු මුනින් අතට වැටී සිටියේය.
මුනින් අතට වැටී සිටි නිසා ඔහු කවුරුදැයි හඳුනාගත නොහැකිවුවත් අවසානයේ මියගිය ඔහු ප්‍රභාත් ජයරත්න නමැති අයෙකු බවට අනාවරණය කරගන්නා ලදී.
ප්‍රභාත් මරාදමා තිබුණේ ඔහු සිය බිරිඳට එරෙහිව පැවැරූ දික්කසාද නඩුදිනයට පෙරදින බව පරීක්ෂණවලදී හෙළිවිය. ප්‍රභාත්ගේ ඝාතනය පොලිසියට සැකයක් ගෙන දුන්නේය. ඔහු අංක තහඩු වසාගෙන මහ රෑ ගිය ගමන ද මහත් ප්‍රශ්නයක් වූයේය.
“අපරාධයක් කරලා කාටවත් පොලිසියෙන් බේරෙන්න පුළුවන් වුණේ නැහැනේ අපි බලමු ඉස්සරහට”
පොලිසිය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
ඇල්පටිය අටකෝට්ටේ පදිංචිව සිටි ප්‍රභාත් ජයරත්නගේ හොඳම මිතුරා වූයේ සමන්ය. ඔහු ප්‍රභාත්ගේ නිවෙස අසලම පදිංචිකරුවෙක්ය.
ප්‍රභාත් හා සමන් අතරට එක් වූ අනෙක් මිතුරා වූයේ ජයපාලය. ඔහුද ප්‍රභාත්ගේ අසල්වැසියකු වූ අතර ප්‍රභාත්ගේ බිරිය සන්ධ්‍යාගේ ඥාතියෙකු ද වූයේය.
ප්රභාත්ගේත් සන්ධ්යාගේත් ඇති වූ ආරවුල් උත්සන්න වීම නිසා ප්‍රභාත් විසින් සන්ධ්‍යාව සිය නිවෙසින් පන්නා දැමීය.
බිරිඳ නිවසින් පන්නා දැමූ දා සිට ප්‍රභාත් වැඩිපුර සමන් හා මිත්‍රකම් පැවැත්විය. ඒත් ජයපාල සිතෙහි ප්‍රභාත් ගැන හොඳ මිතුරුදමක් නොවීය. ඒ තම සහෝදරයාගේ දියණිය පිටමං කිරීම නිසාය. ජයපාලට ප්‍රභාත් කෙරෙහි වෛරයක් ඇතිවී තිබුණේය.
ප්‍රභාත් සන්ධ්‍යාගෙන් වෙන්වීමට දික්කසාද නඩුව පැවරීමෙන් පසුව ජයපාලගේ වෛරය වඩ වඩාත් වැඩිවූයේ සිය දියණියට නඩු තීන්දුව අනුව වෙන්වීමට සිදුවුවහොත් ඇය පත්වන අසරණභාවය ගැනය. ඇය ඉන් මුදවාගැනීමට ඔහු දස අතේ කල්පනා කළේය. උපාය මාර්ගයක් සිතුවේය.
ජයපාල මේ සියල්ල ප්‍රභාත්ගේ මිතුරා වූ සමන්ට කීවේය. මීට කළයුතු දෑද තම සිතෙහි වූ සැලැස්ම ද සමන්ට හෙළිකළේය. ඒ අනුව ඒ බව කිසිවෙකුටත් නොකියන ලෙසටත් රහසක්ව තබා ගන්නා ලෙසටත් ජයපාල තමන්ගෙන් පොරොන්දුවක් ද ලබාගත්තේය.
“නඩුව හෙට නේද?”
ප්‍රභාත් හා සන්ධ්‍යාගේ දික්කසාද නඩුව යෙදී තිබුණේ දහනව වනදාටය. එදින නඩුවේ තීන්දුව ලැබෙන බවට සියල්ලන් තුළ විශ්වාසයක් ගොඩ නැගී තිබුණි.
ඊට පෙරදින රාත්‍රියේ සමන් සැලසුමේ මුල් කොටස ක්‍රියාවට නැංවීය. ඔහු ප්‍රභාත් හමුවීමට ගියේය.
“මචං, අධිවේගයෙන් පන්නපු මෝටරයක් තියෙනවා…. ඒක ගේන්න යමන්… හොඳට වටිනවා.” සමන් කීවේය.
“හරි යමු….” ප්‍රභාත් එකඟ විය.
ප්‍රභාත්ගේ සී.ඩී. 90 යතුරු පැදියේ නොම්මර තහඩු දෙක පත්තර කොළ දෙකකින් වසා ගත් දෙදෙනා රාත්‍රී 10ට පමණ නිවසින් පිටත් වූහ.
ටික දුරක් පැමිණෙන විට සමන් පාර අයිනේ සිටින අයකු පෙන්වා එතැන යතුරු පැදිය නවතන ලෙසට ප්‍රභාත්ට කීවේය. ප්‍රභාත් යතුරු පැදිය ඔහු අසලට පැමිණ නැවැත්වීය. සමන් යතුරු පැදියෙන් බැස්සේය.
ප්‍රභාත් සිහිනෙකින්වත් ඒ දේ නොසිතන්නට ඇත. තමාගේ හොඳම මිතුරා සමන් සමඟ එතැන සිටි අනෙකා ප්‍රභාත්ට පහර දෙන්නට වූහ. අනෙකා කවුරුත් නොව ජයපාලය..
ප්‍රභාත් යතුරුපැදිය අතහැර ඔවුන්ගේ ප්‍රහාරයෙන් බේරීමට දිවගොස් අසල තිබූ කුඹුරට පැන්නේය. අවාසනාවක මහත , හැල් කුඹුරක් වූ එම කුඹුරු ලියැද්දේ ප්‍රභාත් එරුණේය. ප්‍රභාත් හා ජයපාල සටන අත්හැරියේ නැත.
අසරණ වූ දරු දෙදෙනා සහ බිරිය
නැවැත පැමිණි සමන් හා ජයපාල ඔහුට ප්‍රහාර එල්ල කළහ. සියල්ල එසේ සිදුවිය. ප්‍රභාත් කුඹුරු ලියද්දේම අවසන් හුස්ම හෙළුවේය. සමන් ගෙදර ගියේය. ජයපාල ගියේ ඔහුගේ මහගෙදරටය.
අවේලාවේ ජයපාල පැමිණි හේතු නිවැසියන් ඔහුගෙන් විමසූහ. එවිට ඔහු පැවැසුවේ ප්‍රභාත් සමඟ රණ්ඩුවක් වූ බවය.
බියට පත් නිවැසියෝ මේ ආරංචිය ජයපාලගේ සොහොයුරියකට දැන්වූහ. සිද්ධිය පොලිසියට දැන ගන්නට ලැබෙන්නේ ඉන් පසුවය.
ඇල්පිටිය පොලීසියට ලැබුණ තොරතුරු මත නිලධාරී කණ්ඩායමක් සමඟ එහි ගිය අපරාධ විමර්ශන ස්ථානාධිපති චන්ද්‍ර ජයවික්‍රම මහතා ඇතුළු පිරිසට බිම පෙරළී ඇති යතුරුපැදිය දැකගත හැකි වූයේ ඒ අතරය. මුනින්තලාවී වැටී සිටි සිරුර පරීක්ෂා කිරීමේදී ඔහු මිය ගොස් ඇති බව පොලිස් නිලධාරීන්ට අවබෝධ විය.
සොයාගත් යතුරුපැදිය හා සිරුර ආරක්ෂා කිරීම නිලධාරීන්ට පැවැරූ පොලිස් පරීක්ෂකවරයා එම මාර්ගයේම ඉදිරියට යන්නට වූ අතර ඈත සිට ඉදිරියෙන් එන මෝටර් සයිකලයක් දුටු ඔහු එය නැවැත්තුවේය.
යතුරු පැදියේ වූයේ පිරිමියකු සහ කාන්තාවකි. ජයවික්‍රම මහතා ඔවුන්ගේ ගමන ගැන විමසීය.
“සර් අපේ මස්සිනා ජයපාල ගෙවල් ගාව ඉන්න ප්‍රභාත් එක්ක රණ්ඩුවෙලා. ඒ ගැන බලන්නයි යන්නෙ.”
“එහෙම පැමිණිල්ලක් අපිට නම් ලැබිලා නැහැනේ……හරි හරි…ඔයාලා යන්නකො….” කියමින් පොලිස් පරීක්ෂකවරයා ඔවුහු පිටත්කර යැවූහ.
මේවනවිට මරණකරු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. නමුත් ආරංචිය ප්‍රදේශය පුරා පැතිරගොස් තිබූ අතර සිද්ධිය දැක ගැනීමට යන්තම් වටින් ගොඩින් එළිය වැටෙන විටම මහ පිරිස් පැමිණෙන්නට වූහ.
මේ අතර ජයවික්‍රම මහතා අසලට පැමිණි අයෙකු කීවේ ‘සර් මේ මැරිල ඉන්නෙ ප්‍රභාත්.බයිසිකලෙත් මිනිහගේ ‘ කියමින්ය.
ප්‍රභාත්…….ප්‍රභාත්…..ජයවික්‍රම මහතාගේ මතකයේ ඒ නම රැදී ඇත. ඔහු කල්පනා කළේය. ඊයේ රාත්‍රී යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා ඔහුට සිහිපත් වූයේ ඉන් අනතුරුවය.
ප්‍රභාත්ගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය මෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව සිරුර ඥාතීන්ට බාර දෙනු ලැබීය.
අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා කරුණු කාරණා සියල්ල ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවේ තැබීය. හෙතෙම ඒ බව පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු හා සහකාර පොලිස් අධිකාරී ලසිරාන් හසන් යන මහත්වරුන්ට පැවැසුවේය. ඒ අනුව ලබාගත් උපදෙස් මත යළි ජයවික්‍රම මහතා දැනුවත් කළේය.
ජයවික්‍රම මහතාට පෙරදා රාත්‍රියේ අහම්බෙන් මුණගැසුණු මෝටර් සයිකලයේ ගිය යුවළ කී කතාව අනුව ජයපාල සැකපිට අත්අඩංගුවට පත්විය. ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සමන් ද කොටුකර ගැණිනි. අවසානයේ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සියල්ල හෙළිකර ගත් පොලිසිය ප්‍රභාත් මරාදැමුවේ කවුදැයි යන්නට පිළිතුරු සොයා ගත්තේය.
සැකකරුවන්ගෙන් ලත් තොරතුරු මත තේ වත්තක කානුවක සඟවා තිබී පිහියක් හා ලේ තැවැරුණු ඇඳුම් ද සොයාගත් පොලීසිය ඒවා නඩු භාණ්ඩ බවට පත්කරවීය. සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පත්කළහ.
මිතුරු වෙසින් සිටි හතුරන් ප්‍රභාත්ගේ මාරයා වූයේ එලෙසය. ප්‍රභාත්ගේ වියෝවෙන් තැවෙන්නන් අතර දරු දෙදෙනාත් බිරියත් මාපියනුත් වූහ.
ප්‍රභාත්ගේ මරණයට වගකිවයුතු අය තවත් සිටිත්දැයි සෙවීම සඳහා ප්‍රභාත් පාවිච්චියට ගත් දුරකථන ‘සිම්’ කාඩ්පත බෙහෙවින් වැදගත් වන බව නොඅනුමානය.
ඇල්පිටිය අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පී.කේ. චන්ද්රජයවික්රම මහතා ප්රමුඛ සැරයන් විමලසිරි (56760) ප්‍රේමජයන්ත (16683) හා කොස්තාපල් හෙට්ටිආරච්චි (88142) යන මහත්වරු මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ. පොලිසිය කරන ලද පරීක්ෂණ අනුව ලිපිය සකස් විය. අපරාධයක් කොට සැඟව සිටිය නොහැක.