ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන ‘රාෂ්ට්‍රපති බවන්’ හි පිරිසුදු කිරීමේ සේවකයකුගේ ඥාතියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති තහවුරු වීමත් සමඟ පවුල් 100 වැඩි ගණනක් නිරෝධායනයට යොමු කර ඇත.
එම පවුල් ජීවත් වන නිවාස පිහිටා ඇත්තේ ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන ‘රාෂ්ට්‍රපති බවන්’ පිහිටි වතුයායේ ය.
ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත් වන කොටසට මෙම තත්ත්වයෙන් කිසිදු බලපෑමක් වී නැතැයි ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ කාර්යමණ්ඩලයේ කිසිවකුට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බවත් රජයේ ආරක්ෂිත උපදෙස් අනුව ඉහත පියවර ගත් බවත් ජනාධිපති මන්දිරය නිකුත් කළ නිල නිවේදනයක දැක්විණි.
කෙසේ නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයකුගේ පවුලේ සාමාජිකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර එම රෝගියා අප්‍රේල් 13 වැනිදා මියගිය බව නිල නිවේදනයේ දැක්විණි.
ආරක්ෂිත වෛද්‍ය උපදෙස් අනුව අදාළ සේවකයාගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇත.
කොරෝනා වයිරසයෙන් මියගිය රෝගියා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයා සබඳතා පවත්වා ඇතැයි ද අනාවරණය වී ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයා මෙන්ම අනෙකුත් පවුල්වල සාමාජිකයන්ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කර බලා ඇති අතර ඔවුන් කිසිවකුටත් වයිරසය ආසාදනය වී නැතැයි වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
කෙසේ නමුත් රජයේ සහ වෛද්‍ය උපදෙස් අනුව ජනාධිපති වතුයායේ පවුල් 115ක ගමනාගමන කටයුතු සියල්ල සීමා කර ඔවුන් නිරෝධායනයට ලක් කර ඇතැයි වාර්තා විය.
ලංකාදීප
