අනියම් සම්බන්ධයක් නිසා රාජගිරිය, ඔබේසේකරපුර ප්රදේශයේ නිවසක් තුළදී පුද්ගලයකුට ශරීරයේ සිව්පොළකට පිහියෙන් ඇන මරා දමා ඇති බව වැලිකඩ පොලිසිය ප්රකාශ කරනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රාජගිරිය මාදින්නාගොඩ පදිංචිව සිටි රණසිංහ ආරච්චිගේ චතුර මධුරංග නමැති 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වෙනවා.
පසුගිය 19 වැනිදා අලූයම 3.30 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති අතර ඝාතනයට සම්බන්ධ 46 හැවිරිදි සැකකරු මේ වනවිට ප්රදේශය අතහැර පලාගොස් තිබෙනවා. එසේම සැකකරුගේ බිරිඳ වන 39 හැවිරිදි කාන්තාවගෙන් ද පොලිසිය ප්රකාශ ලබාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සැකකරු හා ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්කුඩු ජාවාරමේ නියැළෙන අය බවත්, සැකකරු ලබාදෙන මත්කුඩු ඔහුගේ ගෝලයා වන ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් තැනින් තැනට රැගෙන ගොස් අලෙවිකර ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා සැකකරුගේ නිවසේම නැවතී සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බව පොලිසිය පවසනවා.
එසේ සිටියදී ගෝලයා සැකකරුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර සිද්ධිය වූ දින අලූයම වැසිකිළියට යෑමට අවදිවී ඇති සැකකරු සිය බිරිඳ ගෝලයා හා සිටිනු දැකීමත් සමග කෝපයට පත්ව පිහියක් රැගෙන විත් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
