Gossip

කොරෝනා වෛරසය ආසාදිත බවට සැක මතුකර සතියක් ඇතුළත IDH රෝහලට රෝගීන් 71ක් ඇතුලත් කරයි – Photos

ජාතික බෝවන රෝග විද්‍යායතනයට සතියක් ඇතුලත රෝගීන් 71 ක් ඇතුළත් කර තිබෙනවා.
ඒ කොරෝනා වෛරසය ආසාදිත බවට සැක මතුකරමින්.
එලෙස ඇතුලත් වුණු මේ පිරිසට ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍ය ඖෂධ ඇතුලු සියලු අවශ්‍යතා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
නව කොරෝනා වෛසරය ආසාදිත සහ ආසාදිත බවට සැකකරන රෝගීන් වැඩිම ප්‍රමාණයක් දැනට ප්‍රතිකාර ගනු ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.
රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා කරුණු දක්වමින් මෙලෙස අදහස් පලකර තිබුණා.
එම කරුණු දැක්වීම පහත පරිදි වේ.

“නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කර මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයට මේ සතිය ඇතුලත රෝගීන් 71 ක් පමණ ඇතුලත් කර තිබෙනවා. එම පිරිසෙන් වෛරසය සැබැවින්ම ආසාදනය වී ඇති බවට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය විසින් එක් අයෙකු පමණයි සහතික කර තිබෙන්නේ. එම කාන්තාවගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පවසනවා. දෙපාර්තමේන්තුවක් විදිහට එය අප ලබපු ජයග්‍රහණයක්. මෙම සැකකටයුතු රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කරන “A” කළණ ඒකකයේ රෝගීන් 09 ක් ප්‍රතිකාර ලබනවා. වෛරසය වැළැදී ඇති බවට තහවුරු කළ චීන ජාතික කාන්තාවත් සමග ශ්‍රි ලාංකිකයින් 05 ක් සහ අනෙක් අය විදෙස් ජාතිකයින් වනවා.”

“රෝහලේ බාහිර රෝගී අංශය ඇතුලු අනෙක් සියලු අංශ සායන, නේවාසික වාට්ටු ඇතුලුව සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක වනවා. විවිධ තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා බාහිර රෝගී අංශයේ රෝගීන්ගේ සහ නේවාසික රෝගීන්ගේ ඇතුලත්වීමේ යම් අඩුවක් දක්නට ලැබෙනවා. එසේ වුවත්, වාට්ටු නේවාසික රෝගීන්ට, බාහිර රෝගීන්ට, සායන සදහා විවෘතව තිබෙනවා. අද දවසෙත් බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සේවාවන් සදහා රෝගීන් සහභාගි වෙලා තිබෙනවා. විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුලු වෛද්‍ය, හෙද, පරිපුරක හා අතුරු වෛද්‍ය, කණිෂ්ඨ කාර්ය මණ්ඩල, ගිවිසුම්ගත සේවා සපයන ආරක්ෂක සේවය ඇතුළත්ව සියළු කාර්ය මණ්ඩල වෙනදාටත් වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් යුතුව මේ අවස්ථාවේ රට වෙනුවෙන් සේවය කරනවා. කණිෂ්ඨ කාර්ය මණ්ඩල විසින් සිදු කරනු ලබන සේවාව ද අප ඇගයීමට ලක් කළ යුතුයි. කිසිදු දීමනාවක් බලාපොරොත්තු නොවී ඔවුන් වෙනදාටත් වඩා කැපවීමෙන් හා උනන්දුවෙන් සිය රාජකාරී කටයුතු සිදු කරනු ලබනවා.”

“මාධ්‍ය ඇතුලු සියළු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා පසුගිය දිනවල නොයෙක් අසත්‍ය ප්‍රචාර පතුරුවා තිබුනා. මෙවැනි රොගීන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැකබලා ගත්තේ අද ඊයේ සිට නොවෙයි. මෙම රෝහල වසර 200 ක පමණ ඉතිහාසයක් තිබෙන රෝහලක්. ඉතිහාසය පුරාම මෙවැනි උවදුරු රටට පැමිණියාම මෙවැනි සෞඛ්‍ය පහසුකම් නොතිබුන කාලයකත් ඉතාම කැපවීමෙන් රොගීන් රැකබලා ගත්තා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට රෝගීන් ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍ය සියලු දේ ඖෂධ, ආරක්ෂිත ඇදුම්, උපකරණ, අපට ලබාදී තිබෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. කාර්ය මණ්ඩලයේ කැපවීමේ කිසිම අඩුපාඩුවක් නැහැ. ජනතාව නොමග යවන සුළු අසත්‍ය ප්‍රචාර සිදු නොකරන ලෙස අප ඉල්ලා සිටිනවා. රජයේ තොරතුරු ලබාගත හැකි ප්‍රභවයන් වලින් පමණක් තොරතුරු ලබාගන්න. මෙම කාර්ය මණ්ඩල මේ වෙලාවේ ධෛර්යමත් කළේ නැත්නම් මේ සේවාවල් පවත්වාගෙන යෑමට අසීරු වෙන්න පුළුවන්. කාර්ය මණ්ඩලවල විවිධ ගැටළු මධ්‍යයේ මෙම සේවාවන් කරනවා. ඔවුන්ගේ දරුවන්ට පාසල්වලට යනකොට විවිධාකාරයේ ප්‍රතිචාරයන් සමාජය දක්වනවා. මේ සියලු උපේක්ෂා සහගතව දරා ගනිමින් මෙම සේවා අප විසින් සිදු කරනු ලබනවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!