Gossip

ඒ ආදරයට නොදෙවෙනි ආදරයක් මටයි පුතාටයි උපේඛාගෙන් ලැබෙනවා.. අද අපේ ජීවිත සම්පූර්ණයි..

උපේඛා.. මතකද මුලින්ම තිළිණව මුණගැහුණු කාලය..?
ඔව්.. තිළිණව මුණගැහුණෙ මගේ යාළුවෙක්ගෙ මාර්ගයෙන්. මගේ යාළුවෙක් තිළිණගෙ යාළුවෙක් වෙලා හිටියා. ඉතින් මගේ යාළුවගේ ප්‍රශ්නයක් වෙනුවෙන් කතා කරන්න ගිහින් තමයි මට තිළිණව මුණගැහුණෙ. අපි මුලින්ම මුණගැහුණෙ 2017 අවුරුද්දෙ.

තිළිණ.. ඔයාට උපේඛාව මුලින්ම මුණගැහෙද්දී උපේඛා ගායිකාවක්නෙ.. ඒ නිසා ඔයා උපේඛාව දැනගෙන හිටියද..?
ඔව්.. අපි මුලින්ම මුණගැහෙන්න කලින් ෆෝන් එකෙන් කතා කරලා තියෙනවා. මුලින්ම මුණගැහිච්ච දවසෙත් උපේඛා මාත් එක්ක හොඳට කතාබහ කළා. කිසිම ආඩම්බරයක් පෙන්නුවෙ නැහැ.

ඔය වෙද්දිත් තිළිණ ගැන පොඩි අදහසක් උපේඛාට තිබුණා කියලයි ආරංචිය..?
මෙහෙමනෙ.. මම තිළිණව මුලින්ම මුණගැහෙන්න කලින් මගේ යාළුවෝ තිළිණ ගැන පුදුම විදිහට වර්ණනා කළා. මගේ යාළුවෝ හැමෝගෙම යාළුවෙක් වුණාට මෙයා මගේ යාළුවෙක් වුණේ නැහැ. ඒ හැමෝම තිළිණ හරිම හොඳ කොල්ලෙක්. මාරම ගතිගුණ එයාට තියෙන්නෙ. ඒ වගේ කොල්ලෙක් යාළුකර ගන්න තියෙනවානම් කොච්චර හොඳද..? කියලා එක එක හොඳ දේවල් තිළිණ ගැන නිතරම කතා වුණා. ඒ කාලේ තිළිණටත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙ නැහැ. මටත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙ නැහැ. ඉතින් ඒ නිසාම මේ හොඳ ගතිගුණ තියෙන පිරිමි ළමයා ගැන පොඩි මොකක්දෝ අදහසක් මගේ හිතේ තිබුණා.

ඒ කියන්නෙ.. ආදර යෝජනාව මුලින්ම ගෙනාවෙ උපේඛා.. එහෙමද..?
නැහැ නැහැ… මම මුලින්ම එහෙම ආදර යෝජනාවක් ගෙනාවෙ නැහැ. හැබැයි මගේ යාළුවගේ ප්‍රශ්නය පිටදාලා අපි නිතර නිතර මුණගැහෙන්න උත්සාහ කළා. (ඔන්න ඔහොම කියද්දී තිළිණත් ඒ කතාවට අඩුවැඩිය එකතු කළා)
ඔව්.. උපේඛා නිතර නිතර මොකක් හරි හේතුවක් හදාගෙන කොළඹ ආවා. ඒ ආපු හැම වෙලේම මට කෝල් කරලා අපි තුන්දෙනා මුණගැහුණා. යාළුවගේ ප්‍රශ්නය ගැන කතා කළා. අපි මාසයක් විතර එකදිගට මුණගැහුණා.

තිළිණ.. ඔයා ආදර යෝජනාව ගෙනාවම උපේඛා එක දවසින්ම සුබදායී පිළිතුරක් දුන්නද..?
නැහැ.. උපේඛා ඒක ටිකක් ඇද්දා. ඒක ඉතින් ගැහැනු ළමයින්ගෙ පුරුද්දනෙ. කැමති වුණත් එකපාරටම ඒක කියන්නෙ නැහැනෙ. හැබැයි අපි දෙන්නම ඒ වෙද්දී අපි අපිට ආදරෙයි කියලා දැනගෙන හිටියා. මට තාම මතකයි අපි එක දවසක් අපේ යාළුවත් එක්ක එයාගේ ප්‍රශ්නය කතා කරගන්න කියලා dinner out එකකට ගියා. ඒ ගිහින් අපි බීච් එකටත් ගියා. ඔය වෙද්දී අපේ යාළුවටත් මේ දේ තේරිලයි තිබුණෙ. ඒ නිසා අපි දෙන්නට ටිකක් නිදහසේ කතා කරන්න ඉඩ දීලා එයා ෂේප් එකේ පොඩ්ඩක් එහාට වුණා. ඔය අතරේදී තමයි කල් යල් බලලා මම මගේ හිතේ තිබුණු ආදරය උපේඛාට කිව්වෙ.

තිළිණ.. ඔයාට මතකද උපේඛාට දීපු මුල්ම තෑග්ග..?
මෙහෙමයි.. මම උපේඛාට දෙන්න කලින් උපේඛා මට ගෝල්ඩ් චේන් එකක් තෑගි කළා. ඒ නිසා අපි දෙන්නගෙන් එයයි මට මුලින්ම තෑගි දුන්නෙ.අපි යාළුවෙලා ටික කාලයකින්ම උපේඛාගේ බර්ත් ඩේ එක තිබුණා. කොහොමටත් මම තෑගි දෙද්දී විසිතුරු තෑගි දෙන්න එච්චර කැමති නෑ. හැමවෙලේම මොකක් හරි ප්‍රයෝජනවත් තෑග්ගක් දෙන්න තමයි බලන්නෙ. ඒ නිසා මම ඕඩර් කරලා ගෙන්වපු Home studio set එකක් එයාට තෑගි කළා. ඒක එයාගේ මියුසික් වැඩවලටත් ප්‍රයෝජනයිනෙ. මගේ මුල්ම තෑග්ගට උපේඛා ගොඩක් සතුටු වුණා.

උපේඛා.. ඇත්ත කියන්න.. තිළිණ කියන්නෙ මොනවගේ චරිතයක්ද..?
තිළිණ කියන්නෙ කාගෙවත් හිත රිදවන්න කැමති නැති කෙනෙක්. මෙහෙම හිතන්නකො.. මම මට එපාම වෙලා කෙනෙක්ට බණිනවා කියලා. තිළිණ ඒ කෙනාගේ පුංචි හොඳ දේ තමයි මට කියන්නෙ. කාගෙවත් හිත රිදවන්නෙ නැහැ. එයා ඇත්තටම මට හරිම ආදරෙයි. ඒ ආදරය මට වචනවලට පෙරළන්න තේරෙන්නෙ නැහැ.

තිළිණ.. දැන් ඔයා කියන්නකො උපේඛා කියන්නෙ මොනවගේ කෙනෙක්ද..?
(ඔන්න ඔහොම අපි තිළිණගෙන් අහද්දීනම් උපේඛා තිළිණ ළඟ ඉන්නෙ නැතිව ලැජ්ජාවෙන් තිළිණ ළඟින් ඈත් වුණා.) එයා ගොඩක් ආදරණීය චරිතයක්. එයා හරියට ආදරය බලාපොරොත්තු වෙනවා. එයාගේ ආදරය වුණත් එයා දෙන්නෙ, කියන්නෙ ඇත්තටමයි. එයා හරිම සංවේදී කෙනෙක්. ඇත්තටම එයාගේ ඒ ආදරය මට හොඳටම දැනෙනවා.

ඇත්ත කියන්න.. දෙන්නගෙන් වැඩියෙන්ම කේන්ති යන්නෙ කාටද..?

ඇත්තම කිව්වොත් උපේඛාට චුට්ටක් මට වඩා කේන්ති යනවා.
හැබැයි ඒ කේන්තිය සෝඩා බෝතලේ වගෙයි. විනාඩි පහෙන් දහයෙන් ඒ කේන්තිය ඉවරයි. මට පොඩ්ඩක් තරහ ගියොත් මම චුට්ටක් වෙලා කතා නොකර ඉන්නවා. හැබැයි එයාට එහෙම ඉන්න බැහැ. එයා ඉක්මනට ඇවිත් ෂේප් වෙන්න බලනවා.

විවාහ උත්සවය ගත්තෙ කොයි කාලෙද..?
අපේ විවාහ උත්සවය ගත්තෙ 2018 අවුරුද්දෙ. අපි යාළුවෙලා මාස අටකින් තමයි වෙඩින් එක ගත්තෙ. එච්චර ඉක්මනට වෙඩින් එක ගන්න එක හේතුවක් තිබුණා. ඒ වෙද්දී එයාගේ පොඩි අක්කගේ වෙඩින් එක ප්ලෑන් කරමිනුයි හිටියෙ. මෙයාගෙයි පොඩි අක්කගෙයි වයස් පරතරය අවුරුද්දක් විතර ඇති. ඉතින් ඒ කාලෙ ඉඳන්ම උපේඛාගේ තාත්තගේ ආසාවක් වෙලා තියෙන්නෙ මේ දෙන්නගේ වෙඩින් එක එකම දවසෙ ගන්නයි. කොහොම හරි අපි දෙන්නගේ සම්බන්ධයට ගෙවල් දෙකෙන්ම ආශිර්වාදය ලැබුණට පස්සෙ තාත්තා දෙන්නගෙම වෙඩින් එක එකට ගමුද? කියලා අපෙන් ඇහුවා. අපි දෙන්නත් ඒකට කැමති වුණා. ඉතින් ඉක්මනින්ම වෙඩින් එකට ලෑස්තිවෙලා 2018 ජනවාරි මාසෙ අපේ වෙඩින් එකයි උපේඛාගෙ පොඩි අක්කගෙ වෙඩින් එකයි දෙකම එකම දවසෙ ගත්තා. එදා උපේඛගේ තාත්තා ගොඩක් සතුටු වුණා.

උපේඛා.. වෙඩින් එකෙන් පස්සෙ ඔය දෙන්නා වෙනම පදිංචි වුණාද..?
නැහැ. අපි දෙන්නම වෙඩින් එක ගන්න කලින් අපේ ගේ හදන්න පටන් ගත්තා. විවාහවෙලා ටික කාලයකින් මම ප්‍රෙග්නට් වුණා. ඒ නිසා ගෙදරට පදිංචියට යන එක නැවතුණා. අපි අම්මලා ගාවම ටික කාලයක් හිටියා.පුතා ලැබුණට පස්සෙත් තාමත් ඉන්නෙ අම්මලා එක්කමයි. දැන් අම්මලා බබාව අරගෙන අපි වෙනම පදිංචියට යනවට කැමති නැහැ.

ඇත්ත කියන්න… ආසාවෙන් හිටියෙ දුවෙක්ටද.. පුතෙක්ටද..?
එහෙම නැහැ. අපේ පළවෙනි බබානෙ. ඒ නිසා දුවෙක් ලැබුණත්, පුතෙක් ලැබුණත් අපි හරිම ආසාවෙන් බාරගන්න සූදානම් වෙලයි හිටියෙ. දැන් පුතාට අවුරුද්දයි..

පුතයි තාත්තයි අතර තියෙන බැඳීම කොහොමද..?
අම්මෝ.. ඒ ගැනනම් කියන්න වචන නැහැ. පුතා තිළිණට හරිම එකතුයි. ඒ දෙන්නා සෙල්ලම් කරනවා. පුතාගේ වැඩවලට මට තිළිණගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. පුතා ඉපදුණේ සීසර් කරලා. මුල් කාලෙදී මට ඒ කිසිම දෙයක් කරන්න බැහැ. ඉතින් තිළිණ අම්මලා එක්ක එකතුවෙලා පුතාව නෑව්වා. එයාට ඇඳුම් ඇන්ඳුවේ තිළිණ. මහ රෑ පුතා නැගිටිද්දී මටත් කලින් තිළිණ තමයි නැගිටින්නෙ. ඇත්තටම එයා ආදරණීය තාත්තා කෙනෙක්.

තිළිණ.. මවක් විදිහට උපේඛාගේ භූමිකාව ගැන කතා කළොත්..?
ඇත්තටම මමත් මුලදී හිතුවෙ උපේඛා අම්මා කෙනෙක් වුණාට පස්සෙ ඒ දේට කොහොම මුහුණ දෙයිද කියලයි. හැබැයි පුතා ඉපදුණු දවසේ ඉඳන් අද වෙනකම්ම උපේඛා පුතා එක්කමයි ඉන්නෙ. පුතාට කෑම හදනවා. එයාට ඕන කරන හැමදේම හොයලා බලනවා. පුතයි උපේඛායි ඉන්න විදිහ දකිද්දී ඇත්තටම මට ගොඩක් සතුටුයි.

උපේඛා.. අද වෙද්දී පුතා එක්ක.. තිළිණ එක්ක ගත කරන ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ..?
ඇත්තටම මේ ගෙවන ජීවිතේ ගැන කියන්න මට වචන නැහැ. හැම අම්මා කෙනෙක්ටම දැනෙන සතුට, හැම තාත්තා කෙනෙක්ටම දැනෙන සතුට අපිටත් දැනෙනවා. ඇත්තටම තිළිණගෙන් මටයි පුතාටයි ලැබෙන ආදරය හරියට මහමෙරක් තරම් ලොකුයි. ඒ ආදරය මට හොඳට දැනෙනවා. (උපේඛා එහෙම කියද්දී.. තිළිණත් ඒකට අඩුවැඩිය එකතු කළා.) ඒ ආදරයට නොදෙවෙනි ආදරයක් මටයි පුතාටයි උපේඛාගෙන් ලැබෙනවා. අද අපේ ජීවිත සම්පූර්ණයි.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!