Gossip

උසස් පෙළත් කළාට පස්සෙ මම දවසක් ඔහුගෙ ගීත වල කොටස් එකතු කරල කවියක් ලියල ගෙදර දුරකථන අංකෙත් එහි ලියල ඔහුගෙ අතට දුන්නා – වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි

බොහෝ වෙලාවට අපි කැමතිම දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනව අඩුයි. ඒත් හෂිනිගෙ ප්‍රියතම සිංදුව කාලෙකදි වෙනස් වුණා.
ඇත්තටම එහෙම දෙයක් වුණා. ඒත් ඒ ඇයි කියල කියන්න මට තේරෙන්නෙ නෑ. තේරෙන වයසෙ ඉඳල මගේ ප්‍රියතම ගීතය වුණේ වික්ටර් රත්නායකයන්ගෙ මෝහෙන් මුලාවෙලා කියන ගීතය. මේ ගීතය නිතර ඇහුණට ”වැහි අඳුරේ – හිරුනිවී” කියන ගීතයට මම ආස වුණේ අහම්බෙන්.

ඒ දවස මතකද?
ඔව්. මගේ මතකෙ හැටියට ඒ වෙද්දි මම ඉස්කෝලෙ හයේ පන්තියේ නැත්නම් හතේ. වයස ඇති අවුරුදු එකොළහක් දොළහක්. හවසක මම ගෙදර තනියම ඉන්න වෙලාවක තමයි මේ ගීතය අහන්න ලැබෙන්නෙත්. ඔය කියන වයසෙදි තරුණ තරුණියො විශේෂ හේතු නිසා තමයි ගීතවලට පෙම් බඳින්නෙ. මට නම් එහෙම විශේෂ හේතුවක් තිබුණෙ නෑ ඔය ගීතයට පෙම් බඳින්න. අපේ ගෙදර නිතරම වගේ අහන්න ලැබුුණෙ වික්ටර් රත්නායකගෙ ගීත. ඔය ගීතය එදා වාදනය වෙද්දි කාලගුණය නම් ගීතයට අනුව වැහි අඳුර සමග ගොම්මන් වෙලාව. ඒ අතරෙ මම තනියම හිටිය කියල නම් මතකයි.

හෂිනිගෙ ගෙදර නිතරම වික්ටර්ගෙ සිංදු අහන්න තිබුණු විශේෂය මොකද්ද?
මගේ අම්ම තාත්ත දෙන්නම සංගීතයට බොහොම ප්‍රියයි.ඒ කාලෙ බොහෝ ගායක ගායිකාවන්ගෙ කැසට් පට අපේ ගෙදර තිබුණ. ඒ අතරෙ වැඩියෙන් තිබුණෙ වික්ටර් රත්නායකයන්ගෙ කැසට් පට. ඒ අතරෙ තිබුණ ”කාගේ සිනාදෝ” කියන කැසට් පටයේ තමයි ඔය ගීතය ඇතුළත් වෙලා තිබුණෙ.

ප්‍රියතම ගීතය ගයන ගායකයා හැබැහින් දුටු දවස ගැන ඔබේ මතකය?
මගේ ගම ගාල්ලෙ. ඒ කාලෙ ‘ස’ ප්‍රසංගය ගාල්ලෙ තිබුණොත් අනිවාර්යයෙන්ම තාත්ත ඒක බලන්න යනව. ඒ යද්දි අපි හැමෝවම එක්කගෙන තමයි යන්නෙ. එහෙම ප්‍රසංග නරඹන්න ගිහින් තමයි මම ඔහුව හැබැහින් දැක්කෙ. ඔය විදියට ඔහු පවුලේ හිතවතෙක් වෙනව. ඔව්. ප්‍රසංගය ඉවර වුණ ගමන් බොහෝ වෙලාවට අම්මයි තාත්තයි ගිහින් ඔහු සමග කතාබහ කරනව මට මතකයි. එහෙම වෙලාවකදි ඔහුට ආරාධනා කරල තියෙනව දවසක අපේ ගෙදර එන්න කියල. ඒ හිතවත්කම් දුරදිග ගිහින් ගාල්ල හරහා ඔහු කොහේ ගියත් අපේ තාත්තට කතා කරල ගෙදරට ඇවිත් යන එක පුරුද්දක් වුණා.

ගෙදරට ආවම හෂිනි කැමතිම ගීතය ඔහු ලවා ගායනා කරවගන්න හිතුනෙ නැද්ද?
ළඟට ඇවිත් සිංදු ඉල්ලන්න තියා ඒ කාලෙ මම ඔහු ගෙදරට ආ වෙලාවට සාලෙටවත් ඇවිත් නෑ. ඒත් කතා කරන්න ලොකු වුවමනාවක් වගේම ආශාවක් තිබුණා. උසස් පෙළත් කළාට පස්සෙ මම දවසක් ඔහුගෙ ගීත වල කොටස් එකතු කරල කවියක් ලියල ගෙදර දුරකථන අංකෙත් එහි ලියල ඔහුගෙ අතට දුන්න.

දැන හැඳුනුම්කම් කොතරම් දුරදිග ගියාද කිව්වොත් ඔබ අද ඔහුගේ බිරිඳ.ඔහු හා යුග ගීතයක් ගයන්න ඔබට ආරාධනා කළොත්? කවදාවත් එකඟ වෙන්නෙ නෑ. ඒ මම වික්ටර් රත්නායකට ආදරේ නිසා.

සංගීත ජීවිතේට ඔබව එකතු කරගන්න ඔහු උත්සාහ කරලම නැද්ද?
මම පියානෝ වාදනය තමයි වැඩිදුරට ඉගෙනගෙන තියෙන්නෙ. එයින් ප්‍රයෝජනයක් අරන් යමක් කරන්න කියල නිතර කියනව.

එදා මෙදා තුර හෂිනි වැඩියෙන්ම මුමුණපු ගීතය ”වැහි අඳුරේ හිරු නිවී” කියන ගීතයද?
කවදාවත් නෑ. මම මේ ගීතය ඇතුළුව ඔහුගෙ හැම ගීතයකටම ගොඩක් ආසයි. පුදුමෙකට තියෙන්නෙ කවදාවත් ඒ සිංදු ඇහුවට මගේ කටින් ඒ එක ගීතයක පේළියක්වත් පිටවෙන්නෙ නැති එක.

ඔබ ගීත මුමුණන්නෙ නෑ කියලද ඔය කියන්නෙ?
මෙහෙමයි ඇත්තටම කියනව නම් මට ගායන හැකියාවක් නෑ කියල මමම අවබෝධ කරගෙන ඉන්නවා. ඒත් මම නන්දා මාලිනියගේ ගීත මුමුණන වෙලාවල් තියෙනව.

මේ ගීතයේ හෂිනි කැමතිම කොටස සහ ඒ කැමැත්තට හේතුව?
”කුඩා බිංදු වැහි වැටිලා කළු පාටයි මුළු ආකාසේ ඔබේ සිතැඟි මට පිටුපෑ දවසක්දා වගේ…” මේ ගීතය පටන්ගත්තු තැන ඉඳල වැගිරෙන්නෙ විරහව. එහෙම වෙලාවක ඔහු ඔහුගෙන්ම අහනව මෙවැනිම ගොම්මන් අඩ අඳුරු හැන්දෑවක තමයි පෙර දිනයේ මගේ පෙම්වතිය සමුඅරන් ගියේ. එවැනි පසුබිමක අදත් මේ හැන්දෑව නැවත මා පෙළෙන්නේ ඇයි කියල.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!