තරබාරු බවත් සමඟ වත්මන් සමාජයේ බොහෝදෙනා අත්විඳින රෝගී තත්ත්වයක් ලෙස fatty liver නැතහොත් අක්මාවේ තෙල් තැන්පත් වීම හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් නිරෝගී අක්මාවක ඉතාම ස්වල්ප ප්‍රමාණයක් තෙල් තිබීම හෝ කිසිසේත්ම තෙල් නොමැතිව පැවතිය හැකිය. මෙම තත්ත්වය මත්පැන් පානය කරන්නන් අතර බහුල වන මුත් මත්පැන් පානය නොකරන අය අතරද ඇතිවී Non alcohol fatty liver ලෙස හඳුන්වයි.
අක්මාවේ තෙල් තැන්පත් වීමේ රෝගය අවධීන් 4ක් ලෙස හඳුනා ගත හැකි අතර එහි stage 1 නැතිනම් මුල් අවධිය එතරම් හානිදායක නොවන නමුත් එය ඊට වඩා වැඩිවත්ම අවදානම ඉහළ යයි. බොහෝ දෙනකු මෙම පළමු අදියරේ රැඳී සිටින අතරම එම තත්ත්වය හඳුනා ගැනීමක්ද සිදුවන්නේ නැත.
මෙම තත්ත්වයේ පළමු අවධියේදී අක්මාවේ තෙල් තැන්පත් වීම සුළුවෙන් දක්නට ලැබෙන නමුත් එය බොහෝ විට හඳුනා ගැනෙන්නේ වෙනත් පරීක්ෂාවකදී වීමද විශේෂත්වයකි.
NASH-Non alcohol steato hepatitis නැතිනම් දෙවැනි අවධියේදී තත්ත්වය තරමක් සුබදායී නොවන මට්ටමක් වන අතර එහිදී අක්මාව ඉදිමීමකටද ලක්වේ. Fibrosis නැතහොත් තුන්වැනි අවධියේදී අක්මාවේ පටක විනාශ වීම සිදුවන නමුත් අක්මාව ක්‍රියාත්මක වීම තරමක් සාමාන්‍ය මට්ටමින් සිදුවේ. Cirrhosis නැතිනම් සිව්වන අවධියේදී අවස්ථාවට පත්වූ විට එනම් වසර ගණනාවක් ගොස් මෙම තත්ත්වයට පත්වූ පසු එය ස්ථිර හානියක් වන අතරම අක්මාව අකර්මණ්‍ය වීම ක්‍රමයෙන් සිදුවේ. මෙම අවධියේදී අක්මාව නිසියාකාරව ක්‍රියාකරනු ලබන්නේද නැත. සමහර විට මෙය පිළිකා තත්ත්වයක් දක්වාද වර්ධනය විය හැකිය. එය Hepatio Cellular carcinoma ලෙසද හඳුන්වයි.
එබැවින් මෙම රෝග තත්ත්වයකට ඔබත් ලක්වීමේ අවධානමක් තිබේද යන්න දැනගැනීම ඉතා වැදගත් වේ.
ජානමය පසුබිමක් ඇති අය, Metabolic syndrome තත්ත්වය සහිත අය, අධික තරබාරු බව හෝ අධි බරැති අය, දියවැඩියාව, අධිරුධිර පීඩනය මෙන්ම අධික කොලෙස්ටරෝල් ඇති පුද්ගලයන්, අවුරුදු 50ට වැඩි පුද්ගලයන් සහ දුම්පානය කරන්නන් ඒ අතර ප්‍රධාන වේ.
එමෙන්ම ඉහත සඳහන් කිසිවක් නැති පුද්ගලයන් තුළද fatty liver දැකිය හැකිය. මෙය ඇල්කොහොල් නිසා ඇතිවන සිරෝසිස් තත්ත්වයට සමාන වුවද එයට ඇල්කොහොල්වල සම්බන්ධයක් නැත.
එමෙන්ම රෝග ලක්ෂණ ලෙස මුල් අවධියේදී බොහෝ විට කිසිවක් දක්නට නොලැබෙන අතර NASH හෝ cirrhosis අවිධිවලදී යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ.
බඩේ දකුණු පස ඉහළ කොටසේ වේදනාව, අධික තෙහෙට්ටුව, පැහැදිලි කළ නොහැකි ලෙස බර අඩු වීම, ඇස් කහපාට වීම, සම කහ පාට වීම, සම කැසීමට ගැනීම, කකුල්, වලලුකර, බඩ, පතුල ඉදිමීම ආදිය එලෙස දක්නට ලැබෙන රෝග ලක්ෂණයි. මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීමට අක්මාව හා සම්බන්ධ රුධිර පරීක්ෂණ (Liver profile) මෙන්ම බඩේ සිදුකරන Ultra sound scan පරීක්ෂණයද උපකාරී වේ.
මෙම රෝගී තත්ත්වයේ මුල් අවස්ථාවලදී එය නැවත යථා තත්ත්වයට ගෙන ඒමට ප්‍රතිකාර සහ ජීවන රටාව වෙනස් කරගැනීම තුළින් හැකියාව තිබෙන බව දැනගැනීම ඔබට සුබ පුවතක් වනු ඇත. ඒ සඳහා විශේෂිත ඖෂධ නොමැති වුවත් ඒ හා සම්බන්ධ අනෙකුත් රෝග දියවැඩියාව, අධිරුධිර පීඩනය හා අධි කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කිරීමට ඖෂධ ලබාගන්නා අතරම ජීවන රටාවේ වෙනස්කම් තුළින් අක්මාවේ තෙල් අඩුකර ගත හැකිය.
ඒ සඳහා බර අඩුකර ගැනීමේදී සියයට 10ක් පමණ බර අඩු කර ගැනීමෙන් අක්මාවේ තෙල් බොහෝ සේ ඉවත් කර ගත හැකිය. එමෙන්ම පෝෂ්‍යදායී ආහාර පමණක් ගැනීම, තෙල්, සීනි සහ ලුණු අධික ආහාර නොගෙන පලතුරු, එළවළු සහ ප්‍රෝටීන බහුල ආහාර ගැනීම සුදුසුය. එමෙන්ම වරකට ගත යුත්තේ කුඩා ප්‍රමාණයේ ආහාර වේල්ය. ව්‍යායාමවල යෙදීමද අවශ්‍ය වන අතර සතියකට මිනිත්තු 150ක තරම්වත් කය වෙහෙසෙන ව්‍යායාම්වල යෙදීමද අවශ්‍යම වේ. ඇවිදීම, බයිසිකල් පැදීම සුදුසු ව්‍යායාම වේ.
ඊට අමතරව දුම්පානය කරන අයකු නම් දුම්බීම නැවැත්වීම අවශ්‍ය වේ. එයින් හෘද රෝග ඇතිවීමද වළක්වා ගත හැකිය.
වෛද්‍ය [කේ. කේ. ජී. ලහිරු ප්‍රබෝධ]
දිස්ත්‍රික් මූලික රෝහල – දික්ඔය
