Gossip

“හැමදේම සිද්ධ වෙන්න ගියේ තත්පර ගාණයි. එතනින් එහාට මට කිසිම දෙයක් මතක නැහැ. අම්මා නැති අඩුව මම කොහොම පුරවන්නද දෙයියනේ.”

කටුවාපිටිය ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල සිදුවුණු තවත් දියණියක් තමයි බිඟුනි ජහීජා.
අප්‍රේල් 21 වැනිදා බිඟුනි අම්මා ආච්චියි ලොකු අක්කයි එක්ක පල්ලියට ගියේ වෙනදට වඩා ලොකු සතුටකින්. ඒත් සිද්ධ වුණේ මේ පැටව් හීනෙකින් නොසිතපු දෙයක්.
චුටි දූ පල්ලියේ උත්සවවලට යන්න හරිම ආසයි. මොකද එයා ලස්සනට අඳින්න ආසයි.
ලොකු දූ පල්ලියේ තූර්යවාදක කණ්ඩායමේ ඉන්නවා. එයත් එදා පූජාවට යන්න ලෑස්ති වුණේ හරිම සතුටෙන්.
හැමදේම සිද්ධ වෙන්න ගියේ තත්පර ගාණයි. එතනින් එහාට මට කිසිම දෙයක් මතක නැහැ.
ලොකු දූ පල්ලියේ තූර්යවාදක කණ්ඩායමේ හිටපු නිසා එයා හිටියේ පල්ලියෙන් එළියේ. එයාට සීරීමක්වත් වුණේ නැහැ. පූජාව වෙලාවේ අම්මයි මමයි චූටි දුවයි හිටියේ පල්ලිය ඇතුළේ.
චූටි දු හිටියේ මගේ ඔඩොක්කුවේ. බෝම්බේ පිපරුවට පස්සේ මුළු පල්ලියම දුමකින් වහ ගත්තා.
මම චූටි දූ කියලා කෑගැහුවා. එතනම මගේ අම්මා වැටිලා හිටියා. කතා කළාට සිහිය තිබුණේ නැහැ.
මට දැනුණා. එයා එතනම නැති වෙලා කියලා. ඒ වෙලාවෙ සිද්ධ වුණු අනිත් දේවල් ගැන මට ලොකු මතකයක් නැහැ. මට හොඳට සිහිය එනකොට මම හිටියේ මීගමුව ඉස්පිරිතාලේ. ඇඟේ තිබුණු යකඩ බෝල කිහිපයක් ඉවත් කළා. තව එකක් තියෙනවා ඉවත් කරන්න.
දවස් පහක් මම බට දාලා ඇඳෙන් නැගිටින්න බැරුව හිටියේ. පපුවට තැල්මේ ලේ බැහැලා. ඒ ලේ ඇද්දුවා. දැන් නම් ටිකක් සුවයි. මම ඉවසගෙන හිටියත් මේ නො​තේරෙන දරු පැටියා මේ වේදනාවන් කොහොම ඉසවුසවද කියලා මට හිතාගන්න බැහැ. තවම චූටි දුව අවුරුදු 6යි. එක වසරේ ඉගෙන ගන්නේ.

දැන් දියණියගේ අසනීප තත්ත්වය කොහොමද?
“චූටි දූ හිටියේ කොළඹ රිජ්වේ ඒකේ. මම හිටියේ මීගමුවේ ඉස්පිරිතාලේ නිසා දූ ළඟ හිටියේ දූගේ තාත්තා.
චූටි දුව දවස් 4 ක් දැඩි සත්කාර ඒකකයේ හිටියේ. කට ළඟින් ගිහින් තිබුණු යකඩ බෝලයක් දරුවාගේ නිකට පලාගෙන ඇතුළට ගිහින් තිබුණා.
සති දෙකක් කිසිම ආහාරයක් ගන්න බැරි වුණා. දැන් නම් ටික ටික හෙමිහිට කෑම කනවා.
තවම හරියට දරුවගේ කටහඬ පිට වෙන්නේ නැහැ. දැනට බෙල්ලට කොළරයක් දාලා තියෙන්නේ. බෙල්ල හරියට උස්සන්න අමාරුයි.
සති දෙකෙන් දෙකට රිජ්වේ එකේ සායනවලට යන්න ඕන. කොළඹ යන්න ත්‍රීවිල් එකකට 3000ක් යනවා.
පසුගිය දවසක පල්ලියේ සායනයක් තිබිලා එතනට ගිය වෙලාවේ මීගමුවේ ඉස්පිරිතාලෙන් ඇවිත් හිටිපු දොස්තරලා බලලා කිව්වා කොළඹ යන්න ඕන නැහැ. නොම්මර ගන්න ඕනෙත් නැහැ. දීලා තියෙන කාඩ් එක පෙන්නලා මීගමුව හොස්පිටල් එකේ සායනයට එන්න කියලා.
උගුර ස්කෑන් කරලා බලන්න ඕන කියලත් කිව්වා. ඒ දොස්තර මහත්තයා කියපු නිසා අපි 29 වැනිදා මීගමුව ඉස්පිරිතාලේ සායනයට ගියා.
උදේ 8.30ට ඉස්පිරිතාලෙට ගියහම නොම්මර දහයයි දෙන්නේ කිව්වා. දරුවගේ කාඩ් එක පෙන්නලා මම කිව්වා මේ දරුවා බෝම්බෙට අහුවුණ දරුවෙක් කියලා.
ඊට පස්සේ කිව්වා නම්බර ඔක්කොම බලලා තමයි දොස්තර බලන්නේ කියලා එළියට වෙලා ඉන්න කිව්වා.
පැය දෙකක් විතර හිටගෙන පෝලිමේ හිටියා. බලාගෙන ඉන්න බැරි නිසා නිකං රස්තියාදු වෙලා අපි ගෙදර ආවා. වියදම ගියත් අපි හිතා ගත්තා කොහොම හරි කොළඹ ගිහින් පෙන්නනවා කියලා. සමහර රජයේ තැන්වලින් අපිට සලකන්නේ හරිම අමානුෂික විදිහට.
පල්ලියේ පියතුමන්ලා නොහිටින්න ඇත්තටම අපි අන්ත අසරණ වෙලා.”
ඔවුන්ට තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි ආර්ථික ප්‍රශ්න?

“මගේ මහත්තයා කළේ පොළවල් වල රෙදි බිස්නස් කරපු එක. මමයි, නැති වුණු මගේ අම්මයි ගෙදර රෙදි මැහුවෙ.
ඒ රෙදි තමයි මහත්තයා පොළවල් වලයි, රෙදි කඩ වලටයි දැම්මේ. අපි ජීවත් වුණේ ඒ ලැබෙන ආදායමෙන්. දුවලා දෙන්නයි අපට ඉන්නේ. ​
බෝම්බෙට අහුවුණේ චූටි දූ. අනිත් දූ ඉගෙන ගන්නේ අට වසරේ. බෝම්බෙට අහුවුණාට පස්සේ දොස්තරවරු කිව්වා.
මාස 6ක් යනතෙක් මට රෙදි මහන්න එපා කියලා. මහන්නේ නැතුව අපිට ජීවත් වෙන්න විදිහයක් නැහැ.
මේ ව්‍යසනයෙන් පස්සේ තවම මහත්තයා රස්සාවට ගියේ නැහැ. උදේ හවස කල්පනා කරන්නේ අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා. මේ ගෙවල් විකුණලා දාලා එන්න කියලා මහත්තයාගේ මාතර ගමේ ඥාතීන් කතා කරනවා. ඒත් අම්මා ජීවත් වුණු ගම, මේ ගෙදර දාලා යන්න බැහැ.
දැනට තාවකාලිකව තමයි අපි නිවාස හදාගෙන ඉන්නේ. නිවාස අධිකාරියෙන් ඇවිත් ගේ හදලා දෙන්නම් කියලා ලියාගෙන ගියා.
ඒත් රජය කියන කතා එකක්වත් විශ්වාස කරන්න බැහැනේ. අපි කාටවත් අත නොපා ජීවත් වුණු මිනිස්සු. අපි පත් වෙලා ඉන්න අසරණකම මේ රටේ පාලයකයන්ට පේන්නේ නැහැ.
පල්ලියේ පියතුමන්ලා, සිස්ටර්ලා ඇවිල්ලා නිතරම අපේ අඩුපාඩු දුක සැප සොයලා බලනවා.
ඒක තමයි අපිට තියෙන ලොකුම හයිය. තවම දරුවෝ පාසල් යන්නේ නැහැ. පාසල් යන්න තරම් මානසිකත්වයක් දරුවන්ට තවම නැහැ.
හානිපූර්ණ එකෙන් දෙන මුදල ලැබෙන්නේ වෛද්‍යවරයා දාන සියයට ගාණ අනුව. දැන් ඒවා පස්සෙන් ගිහින් ඇති වෙලා තියෙන්නේ අපට.
දරුවා බේරුණා. එ්ක ගැන හිතලා හිත ශක්තිමත් කර ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.”
කටුවාපිටිය ගමේ සමහර අයට ජීවත් වෙන්න බලාපොරොත්තු නැහැ. සමහර අය ජීවත් වෙන්න බලාපොරොත්තුවක් සොයනවා.
සමහර අයට ජීවත් වෙන්න ඉතිරි වුණත් ඔළුව උස්සගන්න ශක්තිමත් දෑතක් සොයනවා.
​රෙදි මහලා ජීවත් වුණු රේණුකා කුමාරි මහත්මියට ජීවත් වෙන්න වාසනාව තිබුණත් ඇගේ මවට ඒ වාසනාව හිමි වුණේ නැහැ.
එක් දියණියක් ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලැබුළුත් ජීවත් වන්න වාසනාව දෝතින් රැගෙන ආපු බිඟුනි ජනීජා රෝහලෙන් නිවසට පැමිණියත් තවමත් සම්පූර්ණ සුවය ලබා නැහැ. තවමත් ඔවුන්ට තියෙන්නේ බලාපොරොත්තුවක් නැති හෙට දවසක්.
කටුවපිටිය ගමේ එක් සාමාජිකයෙකු හෝ මෙලොව හැර නොගිය නිවසක් සොයා ගැනීම ඇත්තෙන්ම නොමළ නිවසකින් අබ මිටක් සොයනවා වැනිය.
පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තවත් පුංචි දියණියක් සොයාගෙන අපි ගියා ඇගේ නිවසට.
මව අහිමි වූ මේ පුංචි දියණියගේ නිවසට අප යන විට රෝහලේ ප්‍රතිකාර ලැබූ දියණිය නිවසට රැගෙන විත් තිබුණා.
මරණයෙන් දිවි ගලවාගත් තම දියණිය තුරුලු කර ගනිමින් බිරිඳ අහිමි වූ වේදනාවෙන් ලිප්න්ටන් රෙක්සි මහතා පත්ව ඇති ඛේදනීය තත්ත්වය ගැන අපට මෙලෙස පැවසුවා
“මම කරන්නේ මුහුදු රස්සාව. එදා මම සුපුරුදු විදිහට මුහුදු ගියා. පල්ලි ගියේ දුවයි බිරිඳයි විතරයි.
සිද්ධිය ආරංචි වුණ ගමන්ම මම ආවා. ඒත් ඒ වෙනකොට සිද්ධ වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. බිරිඳගේ වියෝවෙන් කම්පනයට පත් වුණත් දරුවව බේර ගන්න ගොඩක් උත්සහා කළා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් දියණිය දැන් සුවය ලබමින් හොඳට ඉන්නවා. දුවගේ බඩට මැහුම් 27ක් දලා තියෙන්නේ.
අපි ගොඩක් දුප්පත් අසරණ මිනිස්සු. අපි ජීවත් වුණේ ලෑලි ගෙදරක. බිරිඳගේ සිරුර තියන්නවත් ගෙදර ඉඩකඩ තිබුණේ නැහැ.
අවසන් කටයුතු තිබුණේ බිරිඳගේ මහ ගෙදර. මට ඉන්නේ දුවයි පුතයි. දරුවෝ දෙන්නව දාලා මට තවම රස්සාවට යන්න හිත දෙන්නේ නැහැ.
මුලදී දූ කා එක්කවත් කතා කළේ නැහැ. දැන් නම් ටික ටික වචන කතා කරනවා. දූ ඉගෙන ගත්තේ හතරේ පන්තියේ. ආච්චිට තුරුලු වෙලා තමයි ඉන්නේ.”

“අම්මා නැති අඩුව මම කොහොම පුරවන්නද?”
“බෝම්බේ පුපුරපු වෙලාවේ අම්මා බිම වැටිලා ඉන්නවා මම දැක්කා. මම කතා කරාට අම්මා කතා කළේ නැහැ.
නිතරම පල්ලිය ඇතුළේ දැකපු දේවල් මට මතක් වෙනව. හවසට මොකක්දෝ අමුතු පාළුවක් දැනෙනවා. ඒ වෙලාවට ආච්චි අම්මා ළඟට ගිහින් ඔළුව අතගා ගන්නවා.”

“මට ආයේ ඉස්කෝලේ නම් යන්න බැහැ.”
​මේ පුංචි මනසේ තැන්පත් වුණු දේවල් ඒ හිත් වලින් අමතක කරවන්න අමාරුයි. ඒත් මේ දරුවෝ නැවත අපි එයාලා හිටි මානසික තත්ත්වයට පත්වන තෙක් රැක ගන්න ඕන.
තනි නොකර රකිමු. අපි සියල්ලගේම පරමාර්ථය එයයි.
“මම දරුවන්ට තනිවෙන්න දෙන්නේ නැහැ. මට දරුවෝ දෙන්නා එක්ක ජීවත් වෙන්න ගෙයක් හදාගන්න උදව් කරනවා නම් ගොඩක් පිං. දරුවන්ගේ සියලුම දේවල් දුවගේ අසනීප තත්ත්වයත් අපේ ආර්ථික ප්‍රශ්නයේ ඉඳලා හැම දේම පල්ලියෙන් සොයලා බලනවා. ඒක තමයි අපට තියෙන එකම ශක්තිය.”
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට පත් දරුවන් වගේම විපතට පත් වූ පවුල්වල ජීවත් වන දරුවන් 176 දෙනකු සිටින අතර,​ මේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව විමසා බැලීමු.
‘‘සෙත් සරණ’’ අගරදගුරු පදවි සේවා ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා මෙසේ පැවසීය.
‘‘අපට දැනට ලැබී තිබෙන තොරතුරු අනුව පාසල් වියේ ඉන්න දරුවන්ගෙන් පාසල් යන්න පටන් අරගෙන නැති දරුවෝ 12ක් පමණ ඉන්නවා. අනිත් දරුවන් මේ වෙනකොට සාමාන්‍ය පරිදි පාසල් යනවා. ඒත් මේ දරුවෝ තවම සියයට 100ක් මානසික සුවය ලබලා නැහැ. ඒ වෙනුවෙන් ඩ්‍රාමා තෙරපි, මියුසික් තෙරපි වගේ දේවල් කරගෙන යනවා.
ඊට අමතරව දැනට මේ දරුවන්ගේ අධ්‍යාපනයට ශිෂ්‍යාධාර දෙන්නත් අපි සැලසුම් කරගෙන යනවා. කිසිම වෙලාවක මේ දරුවන්ව අපි තනි කරන්නේ නැහැ.
ඒ වගේම විපතට පත් අයගේ නිවෙස්වල සියලුම අවශ්‍යතා අපි සොයලා බලනවා. ප්‍රතිකාරවලට අවශ්‍ය මුදල් රෝහලට රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් සෙත්සරණ මගින් අපි සලසා දී තිබෙනවා. ඒ දේවල්වල සියලුම වියදම් දරන්නේ සෙත්සරණ මගින්.
ආණ්ඩුවෙන් කරන දේවල්වලදී මම ඉල්ලන්නේ මේ විපතට පත් වූ අය රස්තියාදු කරවන්න එපා. අවශ්‍ය තොරතුරු ලබාගන්න ග්‍රාමසේවක හරහා පහසු සැලැස්මක් යොදන්න.
මේ අය තවම ඉන්නේ විශාල මානසික පීඩනයකින්. ඒ නිසා ඒ අයව තවත් පීඩනයට ලක් කරවන්න එපා. තව දෙයක් තමයි රජයෙන් දෙන මුදල් ආධාර ඇතුළු සියලුම ආධාරයන් ඔවුනට ලබා දීමේදී එය වීඩියෝ ගත කිරීමක්, උත්සව පැවැත්වීමක් සිදු කරන්න එපා.
මේක ස්වභාවික විපතක් නෙමෙයි. ඒ අයත් මේ සමාජයේ ගෞරවනීය ලෙස ජීවත් වුණු අය.
මිලේච්ඡයන්ගේ තිරිසන් ක්‍රියාවන් නිසා ඒ අයගේ අද හැම දේම නැති වෙලා තියෙන මොහොතක මාධ්‍යය සංදර්ශන පෙන්නලා ඒ අයගේ ගරුත්වයට හානි කරන්න එපා කියලා ඉතාම කාරුණිකව අපි ඉල්ලා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!