Gossip

බණ කියන තැන ඉන්න මේ භූතයා හඳුනනවාද?

මේ ඡායාරූයෙන් ස්වාමීන් වහන්සේ නමක් නිවසක ධර්ම දේශනාවක යෙදෙන බවත් ඒ ආසන්නයේ මිනිස් සිරුරක හැඩරුව ඇති අද්භුත ‍රූපයක් දර්ශනය වන බවත් ඔබට පෙනෙනු ඇති. මෙය මීට වසර කිහිපයක සිට ෆේස්බුක් ඇතුළු අන්තර් ජාල වෙබ් අඩවි මගින් ලක්ෂ ගණනක ගේ නෙත ගැටී ඇති සේයාරුවකි.

මේ අනුව අපගේ පියවි ඇසට නොපෙනෙන භූතයන්, දෙවියන් බණ දේශනා කරන, පිරිත් සජ්ඡායනා කරන තැන්වල සිටින බවක් යමෙකුට හැඟීයනු ඇත. එමෙන්ම පියවි ඇසට නොපෙනෙන එවැන්නකු ඉතා අහඹු ලෙස මෙම ඡායාරූපයට ද හසුවී ඇති බවද හැගෙනු ඇත. මෙබඳු භූත ඡායාරූප දහස් ගණනක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.

දැනට දිනකට ලොව පුරා ගනු ලබන සකල විධ සේයාරූ ගණනය කළ හැක්කේ මිලියන ගණනින් නොව බිලියන, ත්‍රිලියන ගණනිනි. එහෙත් මේ ආකාරයයේ මළගිය පරාණ කාරයන්, භූතයන්, පිසාචයන්, කුම්භාණ්ඩයන්, මළපෙරේතයන් සහ අවතාරත්, දෙවියනුත් සටහන් ව ඇති ඡායාරූප ඇත්තේ ඉතා සුළුවෙනි. මේ තරම් ඡායාරූප ප්‍රමාණයක් සටහන් කරගන්නා ලෝකයක අද්භූත දේ සටහන් වූ ඡායාරූප දුලබ වීමට හේතුව කුමක්ද?ඉන් හැගෙන්නේ ඒවා ස්වභාවික සජීවී හැඩ තල අනුව කවුරුන් හෝ ප්‍රතිනිර්මාණය කර අන්තර් ජාලයට මුදා හරින ඒවා බව ය. නැතහොත් ස්වභාවික ලෙස සටහන් වූ වැරදි සෙවනැලි ආදී වැරදි රූ ගැන්වීම් බවය.

අප ඇසින් දකින දේ සත්‍ය ප්‍රතිබිම්බයක් ලෙසින් සටහන් කර ගන්නා තාක්ෂණික ක්‍රමවේදය හෙවත් ඡායාරූප ශිල්පය බිහි ව අද වන විට ගෙවී ඇත්තේ වසර 179ක් පමණි. මුල් ම කාලයේ කැමරාවල සේයා පට නොතිබූ අතර, ඒවායේ තිබුණේ ආලෝක සංවේදී අඳුන් ගැල් වූ වීදුරු ය. මේ වීදුරු කදා ඡායාරූප ශිල්පියාගේ දැඩි අවධානයෙන් ස්ථාන ගත කළ අතර , ඒ මත දෙවන වරට අනාවරණ සිදුවන්නට ඉඩක් තිබුණේම නැත. එමෙන් ම අද මෙන් අනාවරණ අඳුන සංවේදීතාවයෙන් වේගවත් නොවූ අතර, අනාවරණ කාලය ද වැඩි විය. එහෙත් එනිසා ම ඒ ඡායාරූපවල කිසි දාක මෙවැනි භූත සහ අවතාර ප්‍රතිබිම්බ සටහන් වූයේ නැත.

නමුත් දෙවන පරම්පරාවේ කැමරා සඳහා සේයාපට භාවිතා වන්නට පටන් ගැණුනි. ඒවායින් එක් ඡායාරූපයක් ගත්විට ඊළඟ රාමුව නියමිත තැනට ගෙන ඒම සඳහා අතින් කරකැවීම කළයුතු විය. එහෙත් යම් අමතකවීමකින් හෝ අතපසුවීමකින් හෝ නියමිත කරකැවීම සිදුනොකළ හොත් එකම රාමුව මත තවත් ප්‍රතිබිම්බයක් සටහන් වීම (double exposure) අතිශය සුලබ කාරණයක් විය. ඡායාරූප වල මෙවැනි භූත රූප සටහන් වීමේ මූලික පදනම ආරම්භ වනුයේ මෙයින් පසුවය.

ඡායාරූප ශිල්පය පිළිබඳ තුන්වන පරම්පරාවේ කැමරාවල මෙම අතින් කරකැවීම ම යාන්ත්‍රික කරණය වූ අතර, ෂටරය (ද්වාරය) මුල් අවස්ථාවට ගෙන ඒම (Reset) සහ රාමුව නියමිත පරිදි ස්ථාන ගත කිරීම යන ක්‍රියාවන් දෙක ම එක විට සිදු වන නිසා එක මත එක ප්‍රතිබිම්බ සටහන් වීම අතිශය විරල විය. නමුත් වඩා විචක්ෂණශීලී සහ නිර්මාණාත්මක ශිල්පීහු ඒ වාරණයන්ගෙන් මිදී එක මත එක රූප සටහන් කර ගන්නා ක්‍රම සොයා ඉන් විපුල ප්‍රයෝජන ලැබූහ. නමුත් හතරවන පරම්පරාවේ කැමරා ඉලෙක්ට්‍රෝනික ව පාලනය වූ අතර, ඉන් බහු අනාවරණ ක්‍රම (MULTIPLE EXPOSURE) සළසා ගැනීමට වෙනම ස්විචයක් පවා තිබුණි. අප අතට පත් පස්වන පරම්පරාවේ කැමරා වල සේයා පට භාවිතා නොවූ අතර ඒවා මුළු මනින්ම ඩිජිටල් විය.

ghostc

එම ඩිජිටල් කැමරාවල බහු අනාවරණ කිසිසේත් සිදු නොවූ අතර කැමරා වර්ග එක දෙකක පමණක් බහු අනාවරණ සඳහා පහසුකම් සපයා තිබුණි. නමුත් නවීන තාක්ෂණය පවා තමන්ට රිසි අයුරින් හසුරුවා ගන්නට සමත් දක්ෂයෝ එම කැමරා වලින් ද බහු අනාරණ ක්‍රම සලසාගැනීමට සමත් වූහ. එමෙන්ම ඔවුහු ඉන් අවරගණයේ නිර්මාණ නොව පර්යේෂණාත්මක නිර්මාණාත්ම ඡායාරූප බිහිකර ගත්හ.

නමුත් ලෝකය ඩිජිටල්කරණය වීමත් සමග ම පරිගණක සහ මෘදුකාංග බිහි වීම අතිශය සුලබවිය. ප්‍රතිබිම්බ සංස්කරණ මෘදුකාංග අතරින් ෆොටෝෂොප් අතිශය ප්‍රචලිත එක වූ අතර, යාන්තමින් හෝ එය හසුරුවන්නට හැකි අයෙකුට ඉන් විස්මිත නිර්මාණ බිහි කළ හැකි විය.

නිදසුනක් ලෙස කිසිවෙකුටත් නොහැගෙන සේ ශ්‍රී ලංකා ජනාධිපති ගේ ඡායාරූපයක ඇති ඔහුගේ නාසය ඇමරිකානු ජනාධිපති ගේ නාසය ඇති තැනට යොදා ඇමරිකානු ජනාධිපති ගේ නාසය ශ්‍රී ලංකා ජනාධිපතිට “බද්ධ කළ” හැකිවිය.

නූතන කැමරා ද ප්‍රධාන ආකාර තුනකට වෙන් වෙයි. එනම් සරල සංයුක්ත (Compact Digital) කැමරා, සාමාන්‍ය වෘත්තික (Semi Professional)කැමරා සහ ඉහළාන්ත (High End)කැමරා ලෙසිනි.

සංස්කරණ මෘදුකාංග සුලබ වීමත්, ඒවා භාවිතා කරන්නාට පහසුවෙන් හැසිරවිය හැකි තරමට සුමට වීමත් නිසාවෙන් ඉතා ම ඉහළ ගණයේ නිර්මාණ සේම අවර ගණයේ බාල නිර්මාණත් එක සේ ලොව පුරා ප්‍රචලිත වන්නට පටන් ගත්තේ ය. කොටින් ම හොඳ ඡායාරූපයකින් ඊටත් වඩා හොඳ නව නිර්මාණයක් බිහි කර ගත හැකි සේම හොඳ ඡායාරූපයකින් “බලු සතේකට”වැඩක් නැති අවර නිර්මාණයක් බිහිකර ගැනීමටත් ඒ මෘදුකංග හසුරුවන්නන්ට හැකි විය.

මේ ඇති ඡායාරූපය සම්පූර්ණයෙන් ම රූප දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් බද්ධ කිරීමෙන් සාදන ලද්දකි. මෙම ඡායාරූපය ඉතා කුඩා ප්‍රමාණයේ එකක් බැවින් විශ්ලේෂණය කිරීම අපහසුය. මෙහි ස්වාමීන් වහන්සේට පිටුපසින් ඇති තිරය ද, ඉදිරිපස ස්ටූලයේ සෙවණැල්ල ද පිටතින්ගෙන බද්ධ කළ බව පෙනේ. භූත ඡායාරූපය වෙනත් රූපයකින් මේ ඡායාරූපය මතට ගෙන වුත් තැබූ එකකි. අන්තර්ජාලය පීරද්දී මෙවන් භූත රූප අනන්තවත් සොයා ගත හැකිය. ඒවා බොහොමයක් ද සත්‍ය ඡායාරූප නොව මෘදුකාංග මගින් ප්‍රතිනිර්මාණය කළ ඒවා බව පැහැදිළිය.

සැ.යු – මෙය එක්තරා ඡායාරූපයක් ඇසුරින් කිසිවෙකු විසින් ප්‍රතිනිර්මාණය කරන ලද්දක් විය හැකි බැවින් මෙම ස්වාමින් වහන්සේ හෝ ධර්ම දේශනාව පවත්වන ස්ථානය අතර එම ප්‍රතිනිර්මාණයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අපගේ පිළිගැනීමය.

ghostb

ද්වි අනාවරණය  (DOUBLE EXPOSURE)

22

බහු විධ අනාවරණය (MULTIPLE EXPOSURE)
ඉන්ද්‍රනාථ තේනුවර (ඡායාරූප ශිල්පය පිළිබඳ කථිකාචාර්ය සහ ප්‍රවීණ ඡායාරූප ශිල්පී)

 

ලක්බිම ඇසුරෙනි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!