Gossip

කලා ලොවේ කා අතරත් ජනප්‍රිය සන්ධ්‍යා ජයසූරියට වැළදුනු පියයුරු පිළිකාව පරාජය කළ හැටි

පිළිකාව ඔබට ප්‍රශ්නයක්ද? ඒ නිසා ඔබ සිටින්නේ මුලු ගැන්වීද? එහෙනම් ඔබ මේ කතාව ඇසිය යුතුම ය. සන්ධ්‍යාගේ මේ කතාව ඔබට යම් අස්වැසිල්ලක් ගෙනෙනු නියතය. පියයුරු පිළිකාවට ගොදුරුව සිටින සන්ධ්‍යා ජයසූරිය සමඟ කළ කතාබහකින් සැකසුණු මේ ලිපිය ඔබගේ හෙට ජීවිතයට මුහුණ දීමට මනා ආත්ම ශක්තියක යැයි අපි සිතමු.

සන්ධ්‍යා ජයසූරිය එක්දරු මවකි. ඈ සිය රැකියාව ලෙස තෝරා ගත්තේ චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණය හා රූපලාවණ්‍ය සහ තමන්ගේ පෞරුෂත්වය වර්ධනය කර ගන්නේ කෙසේද යන්නට උපදේශන සැපයීම, සාරි පින්තාරු කිරීම ආදී කටයුතුයි. මේ නිසා පැවරෙන කටයුතුවලින් කාර්යබහුල ජීවිතයක් ගත කළ ඈ සිය කාලය උපරිම ලෙස යෙදුවේ වෘත්තිය ශක්තිමත් කිරීම සඳහායි. සිය ව්‍යාපාරය ඉහළ තලයකට ඔසවා තැබීම සඳහායි. සිය මහන්සියේ ප්‍රතිඵල ලබමින් සන්ධ්‍යා වෘත්තියෙන් කා අතරත් බැබළුන ද, එන්න එන්න ම කාර්යබහුල වූවා මිස ඈට විවේකයක් පෙනෙන මානයක වත් නොවීය. ඒ ඇගේ සේවය ලබා ගැනීමට අනෙක් අයගේ තිබුණු කැමැත්ත නිසාම ය.

ඒ අතර එක්තරා දිනෙක හදිසියේ ම සන්ධ්‍යා දුටුවේ සිය කිහිලි පෙදෙසෙහි වසා ගැටිත්තක් මතුව ඇති බවයි. ඒ නිසා ඇතිවුණු වේදනාව නිසා ම වෛද්‍යවරයා හමුවුණු ඕ සිය රෝගය පිළිබඳ දන්වා සිටියා ය. එය පරීක්ෂණයට භාජනය කළ වෛද්‍යවරුන් පවසා සිටියේ සන්ධ්‍යා කිසිම දිනෙක අපේක්ෂා කළ දෙයක් නොවේ.

“ඔයාගේ වසා ගැටිතිවල කැන්සර් ලක්ෂණ පෙන්නුම් කරනවා. බලමු ඒ කොහෙද කියලා?”

එක්වරම සන්ධ්‍යාගේ සිතේ ඇති වූයේ තැතිගැන්මකි. ඒ තැතිගැන්ම පිළිබඳ නොසලකා සිටි ඇය වෛද්‍ය වාර්තාව එනතුරු පෙරමඟ බලා සිටියේ නොඉවසිල්ලෙනි.

“ඔයාට තියෙන්නේ බ්‍රෙස්ට් කැන්සර් (පියයුරු පිළිකාවක්) එකක්.”

සියලු පරීක්ෂණ අවසානයේ වෛද්‍යවරයා පවසා සිටියේ ඇගේ නොඉවසිල්ලට පිළිතුරකි. විවිධ පරීක්ෂණ කිහිපයකින් පසුව ඒ පිළිකාව තිබෙන්නේ මුල් මට්ටමේ බවත්, ඒ සඳහා ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කළ යුතු බවත් දැන්විණි. සන්ධ්‍යාගේ සිතේ කොණක පුංචි දුකක් ඉපදිණි. එහෙත් ඈ සිය ජීවිතය දෙස බැලුවේ මැදහත් සිතෙනි.

“ජීවිතය හරියට අපට ණයට දුන්න දෙයක් වගේ. තාවකාලික නවාතැනකයි අප මේ නැවතිලා ඉන්නේ. ඒ නිසා අප ජීවත්ව සිටින කාලයේ ජීවිතය දෙස නිතර ම බැලිය යුත්තේ මධ්‍යස්ථවයි. මොකද සදාකාලිකව අප මෙහි නැවතීමට පැමිණ නැහැ. ඒ වගේ ම පිළිකාවක් මට තිබෙනවා කියලා වෛද්‍යවරු කිව්වට පස්සේ එහෙම වුණේ ඇයි කියලා මා සිතන්න ගත්තා.”
සිය කාර්යබහුල ජීවිතයේ මෙවැනි තත්ත්වයක් මතුවීමත් සමඟ සන්ධ්‍යාගේ සිතේ විවිධ සිතුවිලි මැවිනි. ඒ අනුව ඈ සිතුවේ මෙවැනි රෝගයක් සිය ජීවිතයට පැමිණීමෙන් ජීවිතය ම වෙනස් මඟකට අවතීර්ණ කරන බවකි. කාර්යබහුල බවත් සමඟ සන්ධ්‍යාට ඈව මඟ හැරී ගොස් තිබිණි. ඇගෙන් තමන්ට විය යුතු බොහෝ දේ හා අනෙක් අයට විය යුතු බොහෝ දේ අතපසු වී ඇති බවක් සන්ධ්‍යාට හැඟිණි. කාර්යබහුල බවත් සමඟ ඇතිවන මානසික පීඩනය පිළිකාවක් ඇතිවීමට බලාපාන්නට ඇති බව ඇයට හැඟී ගියා ය.
“ඒත් මා මට පිළිකාවක් කියලා වෛද්‍යවරයා පැවසුවාට පස්සේ ඒ කාරණයෙන් මා සැලුණේ නැහැ. නිතරම මා ජීවිතය දෙස බැලුවේ ධනාත්මකවයි. මට අසනීපයක් තිබේයැයි සිතමින් මා මුලු ගැන් වී සිටියේ නැහැ. ඒ රෝගයට ප්‍රතිකාර ගත් පසුව මා සාමාන්‍ය කෙනෙකු විදියට ප්‍රසිද්ධ උත්සව අවස්ථාවලට සහභාගි වුණා. ඒ අයත් සමඟ සතුටින් සිටියා. අනෙක් කාරණය නම් මා අසනීපය හැංඟුවේත් නැහැ. එහෙම වුණා නම් අප කර ගන්නේ අපට ම මානසික පීඩනයක් ඇතිකර ගැනීමයි. අපගේ යටි සිත දන්නා දෙය හැංඟීම නිසා ඇති වන මානසික පීඩනය බලවත් විය හැකියි. එය සිතට වදයක්. ඒ නිසා මා මගේ අසනීපය කිසිම දිනෙක හැංඟුවේ නැහැ.”
සන්ධ්‍යාට තිබුණේ දණහිස් දක්වා දික්වුණු දිගු වරලසකි. පිළිකාවට ප්‍රතිකාර කිරීමත් සමඟ සන්ධ්‍යාගේ වරලස සම්පූර්ණයෙන් ම අහිමි විය. ශරීරයේ පැහැය වෙනස් විය. එහෙත් ඒ කිසිවකින් ඇය නොසැලුණා ය.
“සමහර අයට තට්ටයක් තිබෙන හිස ප්‍රශ්නයක් වුණත් මා එහෙම ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඒ සඳහා මා විග් එකක් භාවිත කළත් එය නිතරම භාවිත කිරීම මට වදයක් වුණා. ඒ නිසා මා අඳීන ඇඳුමට ගැළපෙන අයුරින් තට්ට හිසට විවිධ ස්කාෆ් පැළැඳ ගත්තා. ඒ වගේ ම මගේ නිවැසියන් නිතර ම මා සමඟ ම සිටියා. ඔවුන් මට දැන්වූයේ මා ඔවුන්ට නැතිවම බැරි කෙනෙකු විදියටයි.”
එවැනි රෝගයකින් පෙළෙන අයකුට ඔහුව නැතිවම බැරි කෙනෙකු ලෙස ඇඟවීම ඔහුට හෝ ඇයට කරන එක් ප්‍රතිකාරයකි.
එසේම තමා ගන්නා ක්ෂණික ආහාර රටාවෙන් ඈත් වී, ජලය වැඩියෙන් පානය කිරීම ආදී දේ කිරීම මඟින් සුවදායී සෞඛ්‍යයකට උරුමකම් කිරීමට සියල්ලන්ට ම හැකි බව සන්ධ්‍යා පවසන්නේ අත්දැකීමෙනි. ඒ සියලු පිළිවෙත් අනුගමනය කිරීම නිසා ඇතිවුණු ශක්තියෙන් හා සිතේ ඇති කරගත් මානසික සුවය මැද සන්ධ්‍යාගේ ජීවිතය ඇය සාමාන්‍ය විදියට රැගෙන යමින් සිටින්නී ය. සුපුරුදු ලෙස අනෙක් අයට උදවු වෙමින්, නිතර ම මානසිකව ශක්තිමත් වෙමින් ගත කරන ජීවිතය ඈට සුවයකි. ඇයට ප්‍රතිකාර කරන වෛද්‍ය සරත් අබේකෝන්, හා සැත්කම කළ වෛද්‍ය නියෝමාල් පෙරේරාත් ඈ සිහිපත් කරන්නේ සිය රෝගයෙන් ශක්තිමත් වීමට මඟ කියාදෙන ඍෂිවරයන් දෙදෙනකු ලෙසිනි.
මේ වනවිට සිවු වසරකට වඩා ගෙවුණු පිළිකාවට ශක්තිමත්ව මුහුණ දෙන කාන්තාවක වන සන්ධ්‍යා සිය ජීවිතය දෙස බලන්නේ සැහැල්ලුවෙනි. ඕ ඒ රෝගය සිතට වදයක් කර නොගත්තා ය. ඒ නිසා ම අද ඈට පිළිකාව පරාජය කිරීමට හැකියාව ලැබී තිබේ. ඒ නිසා අද දවසේ පිළිකාව නිසා මුලු ගැන්වී සිටින කාන්තාවන්ට සන්ධ්‍යා අපූරු පූර්වාදර්ශයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!