Gallery

අනේ මේ අංකල් අමීෂට කියන්න ඕන එක මම අමීෂට කියන්නම්, ඇයි අමීෂව සැකද ? – දෙවැනි ඉනිමේ ආනන්ද කියන කතාව

එකිනෙකට වෙනස් චරිත තුළ වූ සියුම් ලක්ෂණ මනාලෙස මතුකරමින් වේදිකාව පුංචි තිරය සේම සිනමාව තුළත් ඔහු කළ රංගනයන් විශිෂ්ටය.
මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබමින් විකාශය වන “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යය නරඹන සෑම දෙනෙකුම ආනන්දගේ චරිතය පිළිබඳව කතා කරන්නේ ඔහු එම චරිතය තුළ ජීවත්වන නිසාමය.
ඔහු නමින් ධර්මප්‍රිය ඩයස්.
මේ ඔහු ගැන සතිඅන්ත පුවත්පතක ලියවුණු ලිපියක්.

මෙගා ටෙලි නාට්‍යවලදී නිසි අයුරින් පිටපතක් නොලැබෙන බව, කතාවේ අවසානයක් නොදැන ඊට දායක වන්නට වන බව වැනි ගැටලු පිළිබඳ ඇතැමුන් චෝදනා නගද්දී ඔබ එවන් නිර්මාණවලටත් දායක වනවා.
මෙගා නම් හැම අතින්ම මෙගා විය යුතුයි. ශිල්පීය ගෙවීම් පවා මෙගා වියයුතුයි. කොටස් ගණන වැඩි වූ පමණින් මෙගා වෙන්නේ නැහැ. ඒත් අද අපේ රටේ බිහිවන මෙගා ටෙලි නාට්‍ය මෙගා වෙන්නේ නාට්‍යය දීර්ඝ වීම තුළින්. ඒ බව මුලින්ම කිව යුතුයි. ඒ කෙසේ වුවත් කොටස් 600 ක විතර ටෙලි නාට්‍යවලදී කලින්ම සමස්ත පිටපත දෙන්න බැහැ. එය වටහාගත යුතුයි. ඒ වගේම යම් ප්‍රායෝගික හේතු මත සමහර අවස්ථාවලදි පමණක් දර්ශන තලයේදි පිටපතේ සමහර දර්ශන ලියැවෙන අවස්ථා තියෙනවා. විශේෂ හේතු මත කතාවේ අවසානය වෙනස් කරන්නටත් සිදුවිය හැකියි. සිනමා නිර්මාණයක චිත්‍රපටයක එහෙම නැත්නම් සීමිත කොටස් ගණනක් ඇති ටෙලි නාට්‍යයක පවතින තත්ත්වයම කොටස් සිය ගණනක් දීර්ඝ ටෙලි නාට්‍යයකදී බලා‍පොරොත්තු වන්නට බැහැ. ඒත් නළු නිළියන්ට තමන්ගේ චරිතය ගැන කලින්ම දැනුවත් කිරීමක් කරල තියෙන හිංදා ඒ වැටහීම තුළින් තමන්ගේ චරිතය ගොඩනගාගන්න පුළුවන් විය යුතුයි. පවතින්නට නම් කළයුත්තේ මේ විදියේ ප්‍රායෝගික තත්ත්වයන්ට මුහුණ දෙන එක. එහෙම බැරිනම් බැන බැන ඉන්න එකේ තේරුමක් නැහැ ඉවත්වීමයි කළයුත්තේ.

හඬකැවූ ටෙලි නාට්‍ය අද වනවිට අපේ රටේ බහුලව විකාශය වනවා. ඒ ගැන විවිධ මති මතාන්තර තියෙනවා. ඔබ මේ ගැන දරන්නේ මොන වගේ අදහසක්ද.. ?
මම විදෙස් ගතවූ මොහොතක හමුවූ කෙනෙක් මට කිව්වා “ඔබට බොහොම හොඳට ඉතාලි කතා කරන්න පුළුවන්නේ ..” කියලා. මම එක ඉතාලි වචනයක්වත් දන්නේ නැහැ.. මේ තැනැත්තා කිවූ කතාව මොකක්ද කියල මම හොයල බැලුවා. “මචං” චිත්‍රපටයේ ඉතාලි බසින් හඬ කැවූ චිත්‍රපටය බලල තමයි එයා ඒ කතාව කියල තියෙන්නේ. ඒ තරමටම ඒ හඬකැවීම් ශිල්පියා මා රඟපෑ චරිතයට සාධාරණය ඉටු කරලා තියෙනවා. බොහෝ විදෙස් රටවල් වෙනත් රටක නිර්මාණයක් තමන්ගේ රටේ පෙන්වන්නේ තමන්ගේ බසින් හඬ කවලා. ඒ රටවල වෘත්තීය හඬකැවීම් ශිල්පීන් ඉතා හොඳ මට්ටමක පවතිනවා. ඒත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස්. මම වසර විස්සක් පුරා හඬ කැවීම් ශිල්පියෙක් විදියට ඉන්න හිංදා මම දන්නවා හඬකැවීම් ශිල්පීන්ට ඇති තත්ත්වය. අනෙක් කාරණය තමයි විදෙස් රටවල් ඒ විදියට තමන්ගේ බසට හරවලා පෙන්වන්නේ තමන්ට වැදගත්වන වටිනා නිර්මාණ. අපේ රටේ හඬ කවලා පෙන්වන්නේ කොයි විදියේ නිර්මාණද කියන එක සිතා බැලිය යුතුයි. ප්‍රශ්නය තියෙන්නේ ඔන්න ඔය කාරණා තුළ.

ඔබ රංගනය තුළ වැඩි තෘප්තියක් ලබන්නේ වේදිකාවෙන්ද ටෙලි නාට්‍ය තුළින්ද එහෙම නැත්නම් සිනමාවෙන්ද.. ?
යන එන හැම තැනකදීම මගේ රංගනයන්ට ප්‍රතිචාර ලැබෙනවා. තවමත් මචං චිත්‍රපටයට ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල දෙවැනි ඉනිමට ලැබෙන ප්‍රතිචාර ඉහලයි. ඒත් ටෙලි නාට්‍යවලට චිත්‍රපටවලට මොන තරම් ප්‍රතිචාර ලැබුණත් තවමත් මට වැඩිම ගෞරවයක් ලැබෙන්නේ වේදිකාවෙන්. මම වැඩිම තෘප්තියක් අදටත් ලබන්නේ වේදිකාව තුළින්.

ඔබේ රංගන දිවියේ ආරම්භය සිදුවුණෙත් වේදකාවෙන් ..
ඔව් .. ඒ පාසල් වේදිකාවෙන්. පිළියන්දල මධ්‍ය මහා විදුහ‍ලේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ.උසස්පෙළ පන්තියේ නාට්‍ය හා රංග කලාව ගුරුවරයා වුණේ ප්‍රේමකුමාර් කරුණාරත්න මහතා. එතුමා තමයි මගේ රංගන ජීවිතයට අත්‍පොත් තැබූ මගේ ගුරුවරයා.

ධර්මප්‍රිය ඩයස්ගේ පුද්ගලික තොරතුරු ටිකක් කතා කළොත්.
මගේ ගම කැස්බෑව. මම කටුවාන ශාස්ත්‍රානන්ද විදුහ‍ලේ ගුරුවරයෙක් විදියට කටයුතු කරනවා. මගේ බිරිඳ අනෝජා මිලන්ති අබේරත්න. මගේ ලොකු පුතා ස්වර්ණ ඩයස්ට අවුරුදු 9යි. ‍පොඩි පුතා පවර භාෂන ඩයස්ට අවුරුදු 5යි.

පාසල තුළදී ඔබේ රංගනයට ප්‍රතිචාර ලැබෙනවා ඇති..
ප්‍රතිචාර ලැබෙනවා. ඒත් ඒ ප්‍රතිචාරවලට වැඩිදුර යන්න මම ඉඩ දෙන්නේ නැහැ. එහෙම උනොත් මට මගේ වෘත්තිය පවත්වගෙන යන්න බැරිවෙනවා. පාස‍ලේදී මම නළුවෙක් ‍නෙවෙයි.ගුරුවරයෙක්.

වසර ගණනක් පුරා කලාවේ රැඳී සිටි කලාකරුවකු විදියට ඔබට මොනවද හිතෙන්නේ ..
කිසිම වෘත්තියක නියැලුණු අයෙකුට වයසට ගියාම අනිත් අයගේ පිහිට පතන්නට වෙන්නේ නැහැ. ඒත් අද වියපත් කලාකරුවන්ට ආධාර උපකාර කරන සමිති සමාගම් පවා පවතිනවා. ඉහළින්ම වැජඹුන අයත් අවසාන කාලයේදී අනුන්ගෙන් අතපාන මට්ටමට පැමිණි අවස්ථා අප දකිනවා. එසේ නොවන්නේ ජනප්‍රියත්වයේ ඉහළම තැන ඉන්නකොට මියගිය අයට පමණයි. ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ අවසන් කාලයේදී රජය විසින්ම ඔහුගේ මහල් නිවාසය අසල ගිලන් රථයක් තබා තිබුණා. ඒත් කලාවට ඉහළම මෙහෙයක් කළ අපේ කලාකරුවන්ට ඉන්න ගෙයක්වත් නැති තත්ත්වයට පත්වන අවස්ථා තිබෙනවා. මේ කනගාටුදායක තත්ත්වයට නිසි විසඳුමක් ලබිය යුතුයි. වැඩ කරන කාලයේදී කලාකරුවන්ට නිසි වටිනාකමක් ලැබෙනවා නම් ඒ අය තමන්ගේ ස්ථාවරය හදාගනියි. එවිට වයසට ගියාම ආධාර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!