Gossip

හිනාවෙන්න මට කියාදුන්නෙ නුඹ අප්පච්චී – නොසිතූ මොහොත අවසන් ගමන් ගිය අප්පච්චී වෙනුවෙන් උතුරා ගිය සෙනෙහස – වීඩියෝ

ලේ කිරි නොවුණට, අම්මා තරම් හුරතල් නොකෙරුවාට, දහදිය වගුරවලා, බඩට කෑමක් නැතිව ලේ කිරි කරලා අපව පෝෂණය කරන්න අම්මට ශක්තිය දුන්නේ අපේ තාත්තා.

අපි හැමෝගෙම ජීවිතේ වීරයා වෙන්නේ තාත්තා.
ඒ නිහඬ වීරයා එහෙමත් නැත්නම් නිහඬ ප්‍රේමවන්තයා තාත්තාම පමණයි.
හැම දුකක්ම හිත යට හංගගෙන, අසීමිත කැපකිරීම් කරමින් තම දරුවා වෙනුවෙන් තාත්තා කෙනෙක් මොන තරම්නම් කැපකිරීම් කරනවද..?
අනන්ත සාගරයට ඇසෙන එකම හඬ තාත්තා බව අමුතුවෙන් කිවයුතු නැහැ.
මොන තරම් ආදරයක් තිබුණත් ඒ ආදරේ සඟවගෙන තමන්ගේ දරුවා වෙනුවෙන් සතුට කැපකරන තාත්තා කෙනෙකු අපේ ජීවිතෙන් ඈත් වුණොත් ඒ අඩුව පුරවන්න කෙනෙක් තවත් මේ ලෝකේ නැහැ.
තාත්තා, එහෙමත් නැත්නම් අප්පච්චී, මේ නම තරම් හිතට සමවදින වචනයක් තවත් නැහැ.
මේ විදිහට පිය සෙනෙහස ගැන අපි කතාකරන්න හිතුවේ අපූරු කතාවක් නිසයි.
නමින් ඔහු සුමුදු මහීල් ජයවීර.
ජීවිත ගමනට අත්වැලක් වුණු, ජීවිතේ හරි පාර පෙන්වපු ඔහුගේ අප්පච්චී අදට හරියටම වසරකට කළින් ජීවිත ගමනට සමුදීලා.
ඒ වෙන්වීම, ඒ දුක, ඒ හිදැස ගැන ඇතිවුණු හැඟීම සුමුදු වචනවලට පරිවර්ථනය කරනවා.
ඒ වචන අද ගීතයක් විදිහට මුදාහරින්නේ පිය සෙනෙහසේ වටිනාකම සෑම හදවතකටම දනවන හැඟීමක් එක්කරමින්.
ඒ වගේම අද ඔහු ඉන්න තැනට එන්න අප්පච්චීගෙන් ලැබුණු ආශිර්වාදයත්, කැපකිරීමත් ගැන අපූරු සටහනක් ඔහුගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.
සුමුදු ලියූ අප්පච්චී ගීතයට මියුරු තනුවක් එක්කරලා මියුරු හඬින් ගායනා කළේ ජනප්‍රිය ගායන ශිල්පී දුලාජ් ධනුෂ්කයි.

එම සටහන සහ අප්පච්චී ගීතය පහතින්…

අප්පච්චි……

අද 2018/04/28.
මට මගේ අප්පච්චි නැති වෙන්නෙ හරියටම මීට අවුරැද්දකට කළින් අද වගේ දවසක.ඒ හදිසි හෘදයාභාධයක් නිසා.ඕනෑවටත් වඩා දුක් කම්කටොලු උහුලලා හුරැ පුරැදු,ඕනෑවටත් වඩා දරාගෙන හුරැපුරැදු එහෙම හදවතක් කොහොම ලෙඩ උනාද කියන්න මම අදටත් දන්නෙ නෑ.එකක් පැහැදිලියි…ඔහු හරිම අධිෂ්ඨානශීලී මනුස්සයෙක්.

අපිට මතක කාලෙ ඔහු ජීවිතයේ අසීමාන්තික හැල හැප්පීම් වලට මුහුණ දුන්නා.අපි නොදන්න කාලෙත් එහෙම වෙනසක් තිබිලා නෑ.සමහර වෙලාවට අප්පච්චිගෙ ජීවිතේ අපි නොදැක්ක ඉතිහාසයට ඔහු අපි එක්කගෙන යනවා.ඒ ඉතිහාසය පුරාවට ඔහු මුහුණ දීපු වේදනාත්මක අත්දැකීම් අපිට කියනවා.ඔව්…ඒ ඉතිහාසය හරිම රිදුම්දෙන එකක්.

අක්කලා දෙන්නෙක්,නංගිලා දෙන්නෙක් සහ එක මල්ලි කෙනෙක් ඉන්න පවුලක තාත්තා ලෙඩ ඇඳට වැටෙනවා.

සාමාන්‍ය පෙළ සමත් වෙලා හිටියත් එතනින් එහාට අධ්‍යාපනය හදාරන්න තරම් වත්කමක් ඔහුට නැහැ.එතන ඉඳලා පවුල වෙනුවෙන් වගකීම් ඉෂ්ඨ කරන්න ඔහු විවිධ දේ කරනවා.බයිසිකලේක පිටිපස්සෙ පෙට්ටියක් බැඳගෙන කෑ ගගහා මාලු විකුණපු විදිහ,තමන්ගෙ, යමක් කමක් තියන නෑදෑයන්ගෙ ගෙවල් ලගින් යද්දි කෑ ගැහිල්ලා නවත්තලා කැප් එකෙන් මූණ හංගගෙන යන විදිහ වගේම ගේ ළග පොඩි ඇලේ වැලි ගොඩදාලා විකුණපු විදිහ අප්පච්චි අපිට කියනවා.ඒවා අහද්දි අපිට ඇඬුනත් අප්පච්චිගෙ මූණෙ කදුලක් අපි දැකලා නෑ.එයා ඒ අතීතය,ඒ වේදනාවල් මතක් කළේ හිනාවෙවී.

අපිට මතක ඇති කාලෙ අප්පච්චි වැඩ කළේ හමුදාවෙ.පස්සෙ කාලෙක හමුදාවෙන් අයින් වෙලා මහවැලි අධිකාරියට එනවා.සංඥා යන්ත්‍ර ක්‍රියාකරුවන්ගෙ උපදේශකයෙක් විදිහට.ඒක ස්ථිර රස්සාවක්.ඒත් 1988 හෝ 1989 වසරෙදි දේශපාලන පළිගැනීමක් විදිහට අප්පච්චිට රස්සාව අහිමි වෙනවා.හිනා වුනා මිසක් අප්පච්චි ඇඩුවෙ නෑ.

අපිව ජීවත් කරන්න ඕන නිසා යාලුවෙකුගෙන් ඉල්ල ගත්ත රබර් පාපිසි අරගෙන පොළේ ගිහිල්ලා විකුණනවා අපිට මතකයි.ඉස්කෝලෙ නිවාඩු දවස් වලට අප්පච්චි පොලේ යද්දි අපිවත් එක්කගෙන යනවා.පාපිසි කියන්නෙ මිනිස්සුන්ට අත්‍යවශ්‍යය දෙයක් නෙවෙයිනෙ.සමහර දවසට පාපිස්සක් දෙකක්,සමහර දවසට තුන හතරක් විකිණෙනවා.අප්පච්චි සතුටින්-හිනා වෙලා ඉන්නවා.ඒත් සමහර දවසට එකක්වත් විකිණෙන්නෙ නෑ.සල්ලි නෑ කියලා තේරුනාම අපිට දුකයි.ඒත් අප්පච්ච්….ඒ මුණෙ පුරුදු හිනාව එදාටත් එහෙමමයි.

අප්පච්චි ඒ විදිහට කියලා දුන්නෙ දුක දරාගෙන හිනාවෙලා ජීවිතේට මුහුණ දෙන පාඩම.

ගල් හිතකට උනත් දුක දැනෙන තැනක් තියනවා.එහෙම තැනකදි විතරක් නෙවෙයි, හිනාවෙලා සතුටින් ඉන්න වෙලාවක පවා අපිට තාමත් අප්පච්චිවම මතක් වෙන්නෙ ඒනිසා වෙන්න ඇති.

උපරිම උනොත් පපුවට තුරුලු කරගෙන ඔලුව අතගෑවට “මං උඹට ආදරෙයි පුතේ ” කියලා අප්පච්ච් කියන්නෙ නෑ.ඒ තමයි අප්පච්චිගෙ හැටි.ඒත්… යමෙක් අපිට නිහඬව නමුත් අසීමාන්තිකව ආදරේ කරනවනම් ඒ අප්පච්චි විතරයි.

අප්පච්චි ගැන කල්පනා කරද්දි අදටත් මට දැනෙන ඔය කාරණාටික කවියක් කරන්න මට ඕන වුනා.

“වදනින් නොකියූ ආදරයක්
හිත අද්දර තියලා
හදකින් හදකට දිවි සුසුමන් දී
නුඹ ඈතක ඇදිලා
තවමත් හිතළග නුඹෙ සිල් සුවඳයි
අප්පච්චී
ලෝකය දකිනෙමි නුඹෙ දෑසින් මම අප්පච්චී

දරා ජීවිතේ මහ බර
ගෙවා ඇදෙන ගවු සිය දුර
දෙපා හිරිවැටී සියොලඟ ගිනි දැල්වෙද්දී
රිදී ඉකිබිඳිනා හදවත දුක උහුලද්දී
හිනාවෙන්න මට කියාදුන්නෙ නුඹ අප්පච්චී…..

ගිලී කරවටක් පාවෙන
ලසෝ දුක් කඳුලු ගං මැද
තැවී සෙල්මුවා හදවත දුක දලුලද්දී
සිනා මල් උයන්තෙර හිඳ යළි හිනැහෙද්දී
සිතේ නොමැකෙනා ඒ සිතුවම නුඹ අප්පච්චී….”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!