Gossip

සුමිත්‍රා, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත හැර යයි – Photos

සිංහල සිනමාවේ පියා යන විරුදාවලිය ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් වූ මහා සිනමාකරුවා දශක ගණනාවක් තිස්සේ ජීවත් වූයේ අංක 24, ඩික්මන් පාර, කොළඹ 5 දරන ලිපිනයේ පිහිටි කුලී නිවසකයි.
මෙම කෘතහස්ත සිනමාවේදියාට ගෞරවයක් ලෙස මෙම නිවස පිහිටි මාවත පසුකාලීනව ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මාවත ලෙස නම් කෙරුණා.
මෙම කුලී නිවස සම්බන්ධයෙන් වරින් වර විවිධ කතාබහ කරළියට ආවත්, පසුගිය වසරේ අප්‍රේල් 28 වැනිදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් හුස්ම‍පොද වාතලයට මුසුවනතුරුම ඔහුටත්, ඔහුගේ දයාබර බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මියටත් එම නිවසේ ජීවත්වීමට බාධාවක් මතුවූයේ නැහැ.
මහා සිනමාකරුවකුගේ මතකයන් රැඳුණු මෙම නිවස රජයේ භාරයට ගෙන එය කෞතුකාගාරයක් බවට පත්කිරීමට පියවර ගත යුතු බවයි බොහෝදෙනාගේ අදහස වී තිබුණේ.
නමුත් එවැන්නක් සිදුවූයේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස සුමිත්‍රා පීරිස් නමැති ප්‍රවීණ සිනමාවේදිනියට සිය සැමියා මෙලොව හැරගොස් වසරක් ගතවීමටත් පෙර එම නිවස හැරයාමට සිදුවී තිබෙනවා.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙලොව හැරගිහින් වසරක් ගතවෙන්නත් කලින් ඔබට, දශක ගණනාවක් තිස්සේ ඔබ දෙපළ ජීවත් වූ නිවස හැරයාමට සිදුවෙනවා කියන පුවත බොහෝ දෙනා විශ්වාස කරන එකක් නැහැ.
මොකද මේක අපේ රටේ සිනමාවට ළැදි කිසිවකු අසන්නට බලා‍පොරොත්තුවෙන් හිටපු ආරංචියක් නෙවෙයි.

අපි ඔබෙන්ම දැනගන්න කැමැතියි මෙහි ඇත්ත නැත්ත මොකක්ද කියලා?
ඒ ආරංචිය ඇත්තක්. මේ මාසේ 18 වැනිදාට කලින් ගෙදර නැවත භාරදෙන්න කියලා එහි අයිතිකරුවන් මට දැනුම් දුන්නා.
ඒ නිසා මම දැන් අවසන් තීරණය අරගෙනයි තියෙන්නේ. ඒ තමයි මෙච්චර කාලයක් අපි ජීවත් වුණු මේ ගෙදරින් සදහටම පිටවෙලා වෙනත් තැනකට යනවා කියන එක.
මේ දවස්වල මම ගෙදර තියෙන බඩු මුට්ටු අස්පස් කරනවා.

මෙවැනි තීරණයක් ගන්න ඔබට කිසිසේත්ම පහසු වෙන්න නැතුව ඇති නේද?
ඩොක්ටර් පීරිස් සහ මම මේ ගෙදරට ආවේ 1969 අවුරුද්දේ. අපි මෙහි ඇවිත් මේ වසරට අවුරුදු 50ක් සම්පූර්ණ වෙනවා.
ඉතින් අවුරුදු 50ක් හිටපු තැන මේ විදිහට දාලා යන්න වෙන එක ගැන විශාල කනගාටුවක් මගේ හිතේ තියෙනවා.
මම කිසිම සතුටකින් ‍නෙවෙයි මේ තීරණය ගත්තේ. ඒත් මට දැන් වෙන කරන්න දෙයක් නැහැ. ඩොක්ටර් පීරිස් අපෙන් වෙන්වෙලා ගියාට පස්සේ මම තනියම මගේ ජීවිතයේ ඉදිරි කාලයට මුහුණ දෙන්න ඕනේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සහ ඔබේ ජීවිතයේ සොඳුරු මතකයන්ගෙන් පිරුණු තැනක් විදිහට මේ නිවස හැඳින්වූවොත් වැරදි නැහැ.
ඔබ දෙදෙනාගේ චිත්‍රපට වැඩි ප්‍රමාණයක් බිහිවුණෙත් මේ නිවසේදීමයි නේද?
අනේ ඔව්. අපේ චිත්‍රපට 30කට ආසන්න ගණනක් නිර්මාණය වුණේ මේ ගෙදරදී තමයි. මගේ චිත්‍රපට 10ම හැදුණේ මෙතනදී.
ඒ වගේම ඩොක්ටර් පීරිස්ගේ චිත්‍රපට 18ක් විතර මේ ගෙදරදී තිරයට ගේන්න අපට පුළුවන් වුණා. ඒ හැම මතකයක්ම හිතේ තියාගෙන තමයි මට අද මෙතනින් පිටවෙලා යන්න සිද්ධවෙලා තියෙන්නේ. මටත් දැන් වයස අවුරුදු 85ක්. මේ දේවල් දරාගන්න පුළුවන් වයසක නමෛයි මම දැන් ඉන්නේ. අලුත් තැනකට ගියාම මොන මොන විදිහේ ප්‍රශ්න ඇතිවෙයිද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මගේ ජීවිතේ ඉතුරු කාලය කරදරයක් නැතුව ඉන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව හිතේ තියාගෙනයි මම මේ ගේ අතහැරලා යන්නේ.

නිවස සම්බන්ධයෙන් මොනයම් හෝ පියවරක් ගන්න කියලා ඔබ රජයෙන්වත් ඉල්ලීමක් කළේ නැද්ද?
මම කාගෙන්වත් එවැනි ඉල්ලීමක් කළේ නැහැ. මෙච්චර කාලයක් හිටපු ගෙදරින් පිටවෙන්න කිව්වා කියලා මම එහි අයිතිකරුවන් එක්කවත් කිසිම ගැටලුවක් ඇති කර ගත්තේ නැහැ.
බොහෝම සුහදව කතාබහ කරලා තමයි මේ තීරණය ගත්තේ. මේක පර්චස් 50ක විතර ලොකු ඉඩමක තියෙන ගෙයක්.
ඒ වගේ ගෙදරක මෙච්චර කාලයක් ඉන්න ලැබිමත් අපේ පිනක් කියලයි මම දැන් හිතන්නේ. මම හිතන්නේ එහි අයිතිකරුවන්ටත් මුදල් අවශ්‍යතාවක් මතු වෙන්න ඇති. ඒ නිසා තමයි ඔවුන් ඒක කොම්පැනියකට විකුණා දමන්න ඇත්තේ.

මහ සිනමාකරුවකුට සෙවණ දුන් මේ නිවස මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කළ යුතුයි කියන එකයි බොහෝ දෙනාගේ අදහස වෙලා තිබුණේ. ඇයි එවැනි දෙයක් සිදුනොවුණේ?
මේ ගේ මියුසියම් එකක් බවට පත්කරනවා කියලා කතාවක් තිබුණා. ඒත් ඒක සිදුවුණේ නැහැ.
මේ ගැන මොනයම් හෝ පියවරක් ගන්න දැන් නම් ප්‍රමාද වැඩියි. මම හිතන්නේ නිවසේ හිමිකරුවන් වුණත් බයවෙන්න ඇති එවැනි මැදිහත්වීමක් වුණොත් ඔවුන්ගේ අයිතිය නැතිව යාවි කියලා.
ඒ නිසා වෙන්න ඇති ඔවුන් ඉක්මනින්ම මට වෙනත් තැනකට යන්න කියලා කිව්වේ.

දශක පහක් තිස්සේ ජීවත් වුණ නිවස අතහැරලා යන්නේ කොහේටද කියලා ඔබ දැන් තීරණය කරලාද තියෙන්නේ?
ඔව්. ලබන 17 වැනිදා මම මිරිහාන ප්‍රදේශයේ නිවසක පදිංචියට යනවා. ඒක මම අලුතෙන් මිලදී ගත්තා.
මොකද ජීවිතේ අන්තිම ටිකේ මගේම කියලා තැනක පදිංචියට ගියොත් කරදරයක් නැතුව ඉන්න පුළුවන් වේවි කියලා මට හිතුණා.
පරණ පුරුදු පැත්තෙන්ම ගෙයක් හොයාගන්න තිබුණා නම් මට හුඟක් පහසුයි. නමුත් ඒ තරම් ලොකු වියදමක් දරන්න පුළුවන්කමක් මට තිබුණේ නැහැ.

ඔබ දෙපළ වැනි විශිෂ්ට සිනමාවේදීන් යුවළකට මතෛක් රාජ්‍ය මට්ටමින් ලැබුණු අනුග්‍රහය ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද?
අපේ ජීවිත කාලය තුළදී සිනමාව පැත්තෙන් අපට පුළුවන් දේවල් රට වෙනුවෙන් අපි කළා. පත්වෙච්ච හැම රජයක්ම යම් යම් මට්ටමින් අපි ගැන බැලුවා. මම කවදාවත් ඒ දේවල් නැහැ කියලා කියන්නේ නැහැ. ලද දෙයින් සතුටු වෙන්න ඕන කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ. මොකද ඒ ගැන කාටවත් දැන් ඇඟිල්ල දිගුකරලා වැඩක් නැහැ.
අපි හැමදාම ජීවත් වුණේ අපේම ශක්තියෙන්. අපේ ජීවිතවල ලොකු පීඩනයක් තිබුණේ නැහැ.
හැබැයි අපේ දෙමවුපියන් ඉතුරු කරලා ගියපු දෙයක් හරි, අපි උපයාගත් දෙයක් හරි අඩුවෙලා යනවා මිසක් වැඩිවීමක් දැන් සිද්ධ වෙන්නේ නැහැ.
ආණ්ඩුව මැදිහත් වෙලා ඩොක්ටර් පීරිස්ගේ අවසාන කටයුතු ගෞරවනීය විදිහට සිදුකළා. ඒ ගැන මම උදව් උපකාර කළ හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ඒත් අපි මැරෙනකල් ඉන්නේ නැතුව ජීවත්ව ඉන්න කාලයේදීම යම් දෙයක් කරනවා නම් හොඳයි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙන් යම්කිසි මුදලක් මාසිකව ප්‍රදානය කිරීමට රජය තීන්දුවක් ගෙන තිබුණා. ඒ දීමනාව ඔබටත් ඒ විදිහටම ලැබෙනවාද?
ඒ මුදල ලැබුණේ එකම එක මාසයයි. මොකද ඒක ලැබෙන්න අරන් මාසයකින් විතර ඩොක්ටර් පීරිස් මෙලොව හැරගියා.
ඒ මුදලින් අරික්කාලක් විතර දැන් මට ලැබෙනවා. ඒකත් ක්‍රමාණුකූලව ලැබේවිද කියන්න මම දන්නේ නැහැ. නමුත් මම ස්තූතිවන්ත වෙනවා එවැනි මුදලක් හරි මට ලබාදෙන එක ගැන. මොකද හැමදේකම නරක පැත්ත විතරක් දකින්නත් හොඳ නැහැනේ.

නිවස හැරයන අවස්ථාවේ ඔබට කරන්න යම්කිසි විශේෂ ඉල්ලීමක් තියෙනවාද?
අපිට දරුවන් නැහැ. ඉතින් අපි එකතු කරගෙන තියෙන ‍පොත්පත් සහ සම්මාන ආදිය කවදාහරි තැනින් තැන විසිරිලා යන්න නොදී ඒවා අනාගත පරපුරට රැකදෙන්න කවුරුහරි මැදිහත් වෙන්න කියලා මේ වෙලාවේ මම ඉල්ලීමක් කරනවා.
සිනමාව වෙනුවෙන් මුළු ජීවිතයම කැපකළ ඔබ මෙවැනි බාධක ආවා කියලා ඉදිරි කාලයේදීත් සිනමාව අමතක කරන එකක් නැහැ කියන බලා‍පොරොත්තුව හැමෝගේම හිත්වල තියෙනවා.
අනේ ඔව්. මගේ ජීවිතයේ තව වැඩි කාලයක් ඉතුරුවෙලා නැහැ. ඒ ඉන්න ටික කාලෙදී තවත් චිත්‍රපටයක් හෝ දෙකක් හදන්න මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා. ඒ සඳහා කාගෙන් හරි අනුග්‍රහයක් ලැබෙනවා නම් ඒක මට ලොකු ශක්තියක්. වෙන කිසිම බලා‍පොරොත්තුවක් දැන් මගේ හිතේ නැහැ.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!