Gossip

“සව්කැඳ ඉම්රාන් ඇතුලට” – මාකඳුරේ මධූෂ්, අමල් පෙරේරා, නදීමාල් කරළියට එන අමුතුම කතාවක් මෙන්න

මාකඳුරේ මධුෂ් නමැති පාතාල මිනීමරුවා සංවිධානය කළ සුපිරි උපන්දින සාදයට සහභාගි වීමෙන් පසු විශාල කීර්තියක් හිමිකර ගත් ශ‍්‍රී ලාංකීය දූත පිරිස අතර සිටි එකා දෙන්නා මේ දිනවල නැවත මව්රට බලා එමින් සිටිති.
මේ දූත පිරිස රතු පලස් දමා පිළිගැනීමට මේ දිනවල කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ පොලිසියේ නිලධාරීන් සැදී පැහැදී සිටිති.
මාකඳුරේ මධුෂ් නමැති මිනීමරුවාගේ සුපිරි සාදයට නොදැනුවත්ම සහභාගි වී අත්වැරදීමකින් කොකේන් පානය කළ බවට චෝදනා ලැබ මාස දෙකකට ආසන්න කාලයක් එරට පොලිස් අත්අඩංගුවේ පසුවූ සුපිරි ගායන ශිල්පී නදීමාල් පෙරේරා නැවත මවුරටට ආවේ පසුගිය 27 වැනිදා උදෑසනය.
මේ සාදයට සහභාගිවී සිටියදී අත්අඩංගුවට පත් වූ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර ද නදීමාල් සමඟ පැමිණ සිටියේය.
මේ අතර මාකඳුරේ මධුෂ් නමැති මැරයාගේ සමීපතම සගයා වන කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සහචරයන් සිව්දෙනකු ද 28 වැනිදා පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට එන්නේ මුළු ලෝකයම ජයගත් වීරයන් ලෙසය.
මාස දෙකක් තිස්සේ ඩුබායි පොලිසියේ සුර සැප විඳිමින් ගත කළ ඒකාකාරී ජීවිතයෙන් මඳකට මිදීම සඳහා කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සගයන් කටුනායක ගුවන් තොටුපළට පැමිණි විගස නැවත මාලදිවයින බලා යෑමට උත්සාහ කළහ.
ෆ්ලයි ඩුබායි ගුවන් යානයෙන් පැමිණි කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සගයන් 20 වැනිදා උදෑසන මාලදිවයින බලා යන ගුවන් යානය වෙත යෑමට උත්සාහ ගත්තේ දින කීපයක් එහි සංචාරක හෝටලයක ගත කර කිසියම් වෙනසක් ලබා ගැනීම සඳහාය.
එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ පාතාල සාමාජිකයන්ට මාලදිවයින බලා යෑමට ඉඩ ලබා දුන්නේ නැත.
ශ‍්‍රී ලංකාව ලෝකය කරා ගෙන යෑමට සුවිශේෂී මෙහෙයක් කරමින් ඩුබායි පොලිසියේ සිටි කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සගයන් පිළිගැනීමේ උත්සව මාලාවක් මෙරට සූදානම් කර තිබුණේය.
ඒ උත්සව සූදානම් කර තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය නාශක අංශය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ය. මේ සියලූ ඒකක කංජිපාන ඉම්රාන් ඇතුළු සගයන් පිළිගැනීමට සූදානමින් සිටියේ වසර ගණනක් තිස්සේ සිදුකළ අපරාධ පිළිබඳ තොරතුරු විමසීමටය.
තම දියණියගේ උපන් දින උත්සවය මහ ඉහළින් ගැනීමට මාකඳුරේ මධුෂ් සැලසුම් කළේය. උපන් දින උත්සවය යෙදී තිබුණේ පෙබරවාරි 05 වැනිදාය.
උපන් දින සාදය ඩුබායිහි තරුපහේ හෝටලයක පැවැත්වීමට සියලූ කටයුතු සම්පාදනය කර තිබුණේය.
තම දුකේදී සැපේදී එකට සිටින මිතුරන් රැසකට මේ උපන්දින සාදයට සහභාගි කරවා ගැනීමට මධුෂ් අමතක කළේ නැත.
ශ‍්‍රී ලංකාවේ සිට සාදයට පැමිණෙන සියලූ දෙනාට ගුවන් ටිකට්පත් හෝටල් පහසුකම් කෑම්බීම් ගමන් පහසුකම් සියල්ල නොමිලයේ ලබා දීමට මාකඳුරේ මධුෂ් අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රියතම ගායකයා වූයේ අමල් පෙරේරා ය. අමල් පෙරේරා ඩුබායි යන හැම විටම මධුෂ් හමුවුණේය. ඒ තරමට ඔවුන් අතර සම්බන්ධතාවක් ගොඩනැඟී තිබුණේය.
සාදයට අමල් පෙරේරාට ආරාධනයක් ලැබුණේය. අමල් උපන් දින සාදයට යන්නේ තම පුත‍්‍ර රත්නය වූ නදීමාල්වද කැන්දාගෙනය.
රංගන ශිල්පී රයන් වැන්රෝවන් ද මාකඳුරේ මධුෂ්ගේ කිට්ටු මිතුරෙකි. රයන්ට ද මේ උපන් දින සාදයට විශේෂ ආරාධනයක් ලැබී තිබුණේය.
මාකඳුරේ මධුෂ්ගේ හෙරොයින් ජාවාරමේ ප‍්‍රධානම ප‍්‍රතිවාදියා වූ අන්නාසි මොරිල් සැඟවී සිටියේ ද ඩුබායි දේශයේ ය.
මාකඳුරේ මධුෂ් ඩුබායි පොලිසියට කොටුකර දීමට මොරිල් අවස්ථා කීපයකදීම උත්සාහ ගත්තේය. එහෙත් ඒ සියලූ අවස්ථා ව්‍යර්ථ වී ගොස් තිබුණේය. මධුෂ්ගේ සුපිරි උපන්දින සාදය පිළිබඳව මොරිල්ට තොරතුරු ලැබෙන්නේ මේ අතරතුරදී ය. මොරිල් මේ සාදය පිළිබඳ සියලූ තොරතුරු ඩුබායි පොලිසිය වෙත ලබා දුන්නේය.
මාකඳුරේ මධුෂ්ගේ දියණියගේ උපන් දින සාදයට ඩුබායි පොලිසිය කඩා වදින්නේ අන්නාසි මොරිල් ලබා දුන් තොරතුරු මතය. උපන් දින සාදයේදී කොකේන් මත්ද්‍රව්‍ය පානය කර පුද්ගලයන් 28 දෙනෙකු ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත්හ.
ඒ අතර මාකඳුරේ මධුෂ් නමැති මැරයා මෙන්ම කංජිපාන ඉම්රාන්, අමල් පෙරේරා, නදීමාල් පෙරේරා. රයන් වැන්රෝවන් ද වූහ.
මේ සිදුවීම ශී‍්‍ර ලංකාව උණුසුම් කළ සිදුවීමක් බවට පත් වුණේය. එක දිගට සති දෙකකට වැඩි කාලයක් පුවත්පත්වල මෙන්ම විද්‍යුත් නාළිකාවල ප‍්‍රධාන පුවත බවට පත් ව තිබුණේ මාකඳුරේ මධුෂ්ගේ උපන් දින සාදය මාධ්‍යවල පුවත් මවන සිදුවීමක් බවට පත් වුණේය.
ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ උඳුල් පේ‍්‍රමරත්න ඇතුළු නීතිඥයන් කණ්ඩායමක් එහි ගියහ. එහෙත් ශ‍්‍රී ලංකාවේ නීතිඥයන් ඩුබායි පොලිසිය තඹ ශතයකට මායිම් කළේ නැත.
කොටින්ම මෙවැනි අපරාධකාරයන් පිරිසක් අත්අඩංගුවට ගෙන සිටින බවට ඩුබායි පොලිසිය ශ‍්‍රී ලංකාවට දැනුම් දුන්නේ අත්අඩංගුවට ගැනීම සිදුකර සති දෙකකට පසුවය.
මධුෂ් ඇතුළු පිරිස මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඩුබායි අල් රබා පොලිසියේ රඳවා ගෙන සිටියහ.
හතරපස්දෙනා බැගින් වූ කුඩා කණ්ඩායම්වලට වෙන් කර ඔවුන් සිරමැදිරි තුළ රඳවා සිටියහ. මාකඳුරේ මධුෂ් සහ නදීමාල් පෙරේරා සිටියේ එකම සිර සිරමැදිරියකය. ඔවුන් දවසේ වැඩි කාලයක් ගෙවා දැමුවේ කාඞ් සෙල්ලම් කරමින්ය.
උපන් දින සාදය පැවැති දින කොකේන් මත්ද්‍රව්‍ය පානය කළේය යන්න සෙවීම සඳහා මේ සියලූදෙනා පරීක්‍ෂණයන්ට භාජන කර සිටියහ. සැකකරුවන්ගේ ලේ සහ මුත‍්‍රා සාම්පල් ලබාගෙන ඒවා පරීක්‍ෂණයන්ට යොමු කර තිබූ අතර, එම පරීක්‍ෂණවල ප‍්‍රතිඵල ලැබෙන තුරු මධුෂ් ඇතුළු පිරිසට සිර මැදිරිවල කූරු ගනිමින් කාලය ගෙවා දැමීමට සිදුවූහ.
ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත‍්‍රයා වන නදීමාල් පෙරේරාගේ සහ බන්ධනාගාර නියාමක ලලිත් කුමාරගේ රුධිරයේ කොකේන් මත්ද්‍රව්‍ය නොමැති බවට වාර්තාව ලැබෙන්නේ පසුගිය 24 වැනිදාය. ඒ අනුව ඔවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවෙන් මුදා හැර රටින් පිටුවහල් කිරීමට පොලිසිය තීරණය කළහ.
සැකකරුවන් රටින් පිටුවහල් කළ ද ශ‍්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පත් ලබා ගත යුත්තේ ඔවුන් විසින් මය. නදීමාල් සහ ලලිත් කුමාරට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට මුදල් තිබුණේ නැත.
නදීමාල්ට සහ ලලිත් කුමාරට ගුවන් ටිකට්පත් මිලදී ගෙන ඔවුන් ශ‍්‍රී ලංකාවට එවීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ මධුෂ්ගේ අනියම් බිරිඳ විසින් ය.
ඩුබායි පොලිසියේ නිලධාරීන් 26 වැනිදා රාත‍්‍රියේ නදීමාල් සහ ලලිත් කුමාර ෆ්ලයි ඩුබායි ගුවන් යානය වෙත භාර දුන්හ. රටින් පිටුවහල් කළ බවට අදාළ ලිපි ලේඛන සහිත විශේෂ වාර්තාවක් ද ඔවුන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත‍්‍ර දෙකද ගුවන් යානයේ නියමුවන් වෙත භාර දී තිබිණි. නදීමාල් සහ ලලිත් කුමාර 27 වැනිදා උදෑසන 6.15 ට කටුනායක ගුවන් තොටුපෙළ වෙත ආහ.
ගුවන් තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා සිය භාරයට ගත් අතර, පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දුන්හ.
27 වැනිදා සවස් වන තුරුම නදීමාල් සහ ලලිත් කුමාර රඳවාගෙන ප‍්‍රශ්න කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නදීමාල් නිදහස් කර යැවුවේ ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් නොතිබූ නිසා ය.
එහෙත් බන්ධනාගාර නියාමක ලලිත් කුමාරට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබුණේය. ටි. 56 ගිනි අවියක් රැගෙන මිනීමැරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් ලලිත් කුමාරට එරෙහිව චෝදනාවක් එල්ල වී තිබුණේය. ලලිත් කුමාර මාකඳුරේ මධුෂ් වැලිකෙළියේ පටන් ඇසුරු කරන මිතුරෙකි. ලලිත් කුමාරගේ මවත්, මධුෂ්ගේ මවත් සමීප මිතුරියෝ ය. ලලිත් කුමාරගේ මව කඹුරුපිටිය ගමේ වින්නඹු අම්මාය.
මධුෂ් උපත ලබද්දී ඔහුගේ මවට වින්නඹුකම කළේ ලලිත් කුමාරගේ මෑණියන් ය. මේ නිසාම මධුෂ් ලලිත්ගේ මවට දැඩි ලෙස ගෞරව කළේය. ඇය ගැන හැමවිටම සොයා බැලූවේය.
මාකඳුරේ මධුෂ්ගේ නියෝග මත කළුතර බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කරද්දී ලලිත් කුමාර රාජකාරි කළේ කළුතර බන්ධනාගාරයේය. පුද්ගලයන් හත්දෙනෙකු ඝාතනයට ලක් කළ මෙම ප‍්‍රහාරය සඳහා බන්ධනාගාරයේ නිලධාරියකුගේ සහාය ලැබී තිබූ බව පොලිසිය සොයාගෙන තිබුණේය. එහෙත් ඊට සහාය වූ නිලධාරියා කවුදැයි සොයා ගැනීමට එදා විමර්ශන නිලධාරීන්ට හැකි ව තිබුණේ නැත. මධුෂ් සමග සම්බන්ධතා පැවැත්වූ කළුතර බන්ධනාගාරයේ රාජකාරි කළ නිලධාරියා කවුදැයි දැන් අනාවරණය වී හමාරය.
මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ලලිත් කුමාර කොළඹට අපරාධ කොට්ඨාසයට භාර කෙරිණි.
28 වැනිදා උදෑසන කටුනායක ගුවන් තොටුපළ උණුසුම් වුණේය. ඒ මෙරට ප‍්‍රධාන පෙළේ පාතාල නායකයකු බව කියන කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල අපරාධකාරයන් සිව්දෙනකු ඩුබායි දේශයේ සිට මෙරටට පැමිණි බව සැලවීමත් සමඟය. ෆ්ලයි ඩුබායි ගුවන් යානයෙන් පැමිණි මේ අපරාධකරුවන් පිරිස හොර රහසේම මාලදිවයිනට පලා යෑමට සැලසුම් කර ගෙන සිටියහ. ඔවුන් සිව්දෙනා ෆ්ලයි ඩුබායි ගුවන් යානයෙන් බැස හොර රහසේම මාලදිවයින බලා යන ගුවන් යානයේ ටිකට් පරීක්‍ෂා කරන කවුන්ටරය වෙත ගොස් සිටියහ.
ඒ වන විට කංජිපාන ඉම්රාන් ඇතුළු සගයන් පිරිස මාලදිවයිනට යෑමට ගුවන් ටිකට්පත් ද ලබා ගෙන සිටියේය. ඔවුන් එම ටිකට්පත් ලබාගෙන තිබුණේ ඩුබායි රාජ්‍යයේ ගුවන් ටිකට්පත් ලබාදෙන ඒජන්සියකින්ය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හා ආගමන විගමන නිලධාරීන් ඇතුළු ගුවන් තොටුපළ පොලිසිය දැඩි විමසිල්ලෙන් සිටීම නිසා මාලදිවයිනට බලා යෑමට සූදානමින් සිටි කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සගයන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
කංජිපාන ඉම්රාන් යනු මෑතකදී කොළඹ පාතාලය ආක‍්‍රමණය කළ දරුණු ගණයේ අපරාධකාරයෙකි. මීට වසර හත අටකට උඩදී මාලිගාවත්තේ ජුම්මා පල්ලිය ඉදිරිපිට සව් කැඳ කරත්තයක් තබාගෙන කැඳ විකිණු ඉම්රාන් නමැති රස්තියාදුකාරයා පසු කලෙක කංජිපාන ඉම්රාන් ලෙස කොළඹ පාතාලයේ ප‍්‍රසිද්ධ වුණේය.
කංජිපාන ඉම්රාන්ට මාකඳුරේ මධුෂ් මුණ ගැසෙන්නේ වැලිකඩ හිරගෙදරදීය. ඒ දැන හඳුනාගැනීම කංජිපාන ඉම්රාන් කොළඹ පාතාලයේ කෙරුම්කාරයකු වීමට මෙන්ම ප‍්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කාරයකු වන්නට ඉවහල් වුණේය.
මධුෂ් ඩුබායි සිට එවූ මත්කුඩු තොග පිටින් කොළඹ නගරය පුරා බෙදා හැරීයේ කංජිපාන ඉම්රාන් ය.
හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී වැඩි කාලයක් ගත වන්නට පෙර මේ පාපතරයා කෝටිපතියකු වුණේය.
පසු කලෙක කංජිපාන ඉම්රාන් ඩුබායි දේශයට පලා ගියේය. මොහු ඩුබායි දේශයට ගෙන්වා ගත්තේ මාකඳුරේ මධුෂ් විසින් ය. මොහු ඩුබායි දේශයට ගෙන්වා ගත්තේ හෙරොයින් ජාවාරම තවදුරටත් දියුණුකර ගැනීමටය.
ඩුබායි දේශයේ සුපිරි ජීවිතයක් ගත කරමින් කොළඹ පාතාලය මෙහෙය වූ කංජිපාන ඉම්රාන් තම විරුද්ධවාදීන් හත්අට දෙනෙකුම පරලොව යැව්වේය.
තම විවාහක බිරිඳ පවා වෙඩි තබා ඝාතනය කිරීමට මේ පාපතරයා නියෝග කර තිබුණේය.
මීට සති කීපයකට උඩදී ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ මහල් නිවාසයක සිටි කුඩු චූටි නමැති කාන්තාවට වෙඩි තබා බරපතළ තුවාල සිදු කළේ ද කංජිපාන ඉම්රාන් ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මතය. ඩුබායිහි සුර සැප විඳිමින් හෙරොයින් ජාවාරම හරහා විශාල ධනස්කන්ධයක් ඉපයූ මේ පාතාල නරුමයා මාලිගාවත්තේ තට්ටු ගොඩනැඟිලි ඉදිකළේය.
තම අණසකට විරුද්ධ වන ඕනෑම පුද්ගලයකු පරලොව යැවීමට හැකි පාතාල බලයක් මේ කැඳ විකිණූ රස්තියාදුකාරයා විසින් ගොඩනඟාගෙන තිබුණේය.
මේ පාපතරයා කිසි දිනක ශ‍්‍රී ලංකාවට එන්නට බලාපොරොත්තුවෙන් සිටියේ නැත. මොහු සිතා සිටියේ කිසි දිනක පොලිසියකට තමන් හෝ මාකඳුරේ මධුෂ් හෝ කොටු නොවන බවය. ඩුබායි හි සුරසැප විඳිමින් මෙරට පාතාලය පාලනය කිරීමට සිහින මැවූ මේ පාතාල නරුමයා අවසානයේ දේව හාස්කමකින් මෙන් පොලිසියට කොටු වුණේය. අවසානයේ මේ පාතාල නරුමයාට සිදුවුණේ ශ්‍රී ලංකා පොලිසියේ අත්අඩංගුවට පත්වීමටය.
ඩුබායි පොලිසිය නදීමාල් සහ ලලිත් කුමාර රටින් පිටුවහල් කිරීමේදී නියම ක‍්‍රමවේදයන් අනුගමනය කර තිබුණේය. පිටුවහල් කළ පුද්ගලයන් දෙදෙනාගේ වාර්තා සහ විදේශ ගමන් බලපත‍්‍ර ගුවන් නියමුවන් වෙත ලබා දී ඔවුන් මෙරට ආගමන විගමන නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කර තිබුණේය.
එහෙත් ඩුබායි පොලිසිය කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සහචරයන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීමේදී ඒ නීති රීති අනුගමනය කර තිබුණේ නැත. මෙය විශාල ගැටලූ සහගත තත්ත්වයකි.
කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සගයන් විදේශ ගමන් බලපත‍්‍ර ද රැගෙන ශ‍්‍රී ලංකාව හරහා මාලදිවයිනට පැන යෑමට ගුවන් ටිකට්පත් ද රැගෙන පැමිණ සිටියේ ඩුබායි පොලිසිය ඔවුන් වෙත දක්වා තිබූ ලිහිල් ප‍්‍රතිපත්තිය නිසාය.
මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා ද ඉදිරි දිනයකදී මේ ආකාරයට ඩුබායි පොලිසිය නිදහස් කරනු ඇත්තේය. මධුෂ් රටින් පිටුවහල් කිරීමේ දී මේ ආකාරයේ ලිහිල් ප‍්‍රතිපත්ති අනුගමනය කරනු ලැබුවොත් මේ පාතාල මැරයා ශ‍්‍රී ලංකාව හතර මායිමට එන්නේ නැත.
ශ‍්‍රී ලංකාවේ අංක එකේ කුඩු ජාවාරම්කරු බව කියන මාකඳුරේ මධුෂ් මේ වන විට බිලියනපතියෙකි. මේ මැරයාට අත දිගහැර ඕනෑ තරම් මුදල් වියදම් කළ හැකිය. මුදලට යට වී තම රාජකාරිය පාවාදෙන පොලිස් නිලධාරීන් ඩුබායි පොලිසියේ ද ඕනෑ තරම් සිටිති.
මාකඳුරේ මධුෂ් නමැති මිනීමරුවා අත්අඩංගුවට ගැනීමට පොලිසියට ලැබෙන එකම අවස්ථාව මෙය වන්නේය. එය මඟහැර මේ මැරයාට රටින් පලා යෑමට ඉඩකඩ ලබා දුන්නොත් රටේ ජනතාවට නැවතත් සිදුවන්නේ බියෙන් සැකයෙන් ජීවත්වීමටය.
මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාතාල අපරාධ 90% කින් පහළ ගොස් ඇති බව සමීක්‍ෂණයකින් හෙළිව තිබෙයි.
මෙරට පාතාලය මෙහෙයවූයේ මධුෂ් නමැති පාතාල මැරයා බව එයින් පැහැදිලි වන්නේය.
රටට සමාජයට කිසිම ආකාරයක සෙතක් නැති මෙවැනි නරුමයන් බන්ධනාගාරගවල රඳවාගෙන උන් ආරක්‍ෂා කිරීම ඵල රහිත ක‍්‍රියාවකි. මෙවැනි පාපතරයන් බන්ධනාගාරය වෙත ගිය පසු උන් තවත් ශක්තිමත් වන්නේය.
උන් වෙනදාට වඩා අපරාධ කරති. මිනී මරති. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙති. එසේ නම් මෙවැනි පාපතරයන් කන්නට බොන්නට දී රැකවරණය ලබා දෙමින් බන්ධනාගාරවල රඳවා තබනවාද යන්න දෙවරක් සිතා බැලිය යුතුය.
මේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාවට විරාමයක් ලැබෙන්නේ මේ පාපතරයන් රටෙන් චුත වී ගිය පසුවය.

උපුටා ගැනීම දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!