Gossip

‘‘දිවුරා සාක්ෂි දෙන්නත් සූදානම්’’ – වසර 29කට පොලීසියේ 600ක් ඝාතනය කළ අය ගැන ‘කරුණා’ මුල්වරට හෙළි කරයි

කටුනායක සිට ඉන්දීය සාගරයේ ස්ථානගතවී සිටින ජෝන් සී ස්ටෙන්නිස් ගුවන් යානා වාහක නෞකාව වෙත භාණ්ඩ ප‍්‍රවාහනයේදී හමුදා උපාංග සහ හමුදා පිරිස් සම්බන්ධ වී සිටි බව එම නෞකාවේ මහජන කටයුතු භාර නිලධාරිනි ලූතිනන් කමාන්ඩර් ජෙසිකා ඇන්ඩර්සන් අනාවරණය කර ඇත.
එහෙත් මෙරට ඇමරිකානු තානාපතිනි ඇලිනා ටෙප්ලිට්ස් ජනතාව මුළාකරමින් කටුනායකට ගොඩබෑවේ ලිපි, මෙවලම් ඇතුළු වෙනත් භාණ්ඩ බව ප‍්‍රකාශ කර තිබේ.
මේ භාණ්ඩ කටුනායකට ගෙන ආවේ ඇමරිකානු නාවික හමුදාවට අයත් සී-40 වර්ගයේ ප‍්‍රවාහන යානාවෙනි. එම භාණ්ඩ කටුනායක සිට ආපසු ජෝන් ස්ටෙන්නිස් නැවට ප‍්‍රවාහනය කළේ සී-2 B ග්‍රේ‍රහවුන්ඞ් වර්ගයේ යානා දෙකකිනි.
බහරේන් නුවර ඇමරිකානු සැපයුම් කඳවුරේ සිට මෙම භාණ්ඩ කටුනායක ගුවන්තොටුපළට ගෙනවුත් එතැන් සිට ස්ටෙන්නිස් නැවට ප‍්‍රවාහනය කිරීම අබිරහසක් නොවේද?
බහරෙන් සිට කටුනායක ගුවන් තොටුපළට ඇති දුර සැතපුම් 2337 කි. එසේනම් සැතපුම් 2400 ක් එක දිගටම පියාසර කළ හැකි සී 2 B වර්ගයේ ඇමරිකානු නාවික හමුදා යානා දෙකට සෘජුව බහරේන් සිට ස්ටෙන්නිස් නැවට ගොස් ගොඩබෑම නොකළේ මන්ද?
එසේ වූවත් ඇමරිකානු තානාපතිනි කියන්නේ ඇමරිකානු නාවික හමුදාවේ සී-2ඊ යානාවලින් ස්ටෙන්නිස් නෞකාව වෙත ලියුම්ද ගෙනගිය බවයි. මේ ලියුම් එම යෝධ නැවේ සේවය කරන නැවියන් හා නිලධාරින්ටද?
ජෝන් ස්ටෙන්නිස් නෞකාවේ අධිතාක්‍ෂණික අන්තර්ජාල පහසුකම් තිබියදී නැවියන්ට තම පවුලේ අය ඇමතිය හැකි සන්නිවේදන ජාලයක් ඇති විටෙක එම නැවියන් බහරේන් සිට ලිපි එවනතුරු බලාසිටින්නේද?
ලොව විශාලතම නාවික හමුදා බළකාය ඇමරිකානු ශාන්තිකර කලාපීය සේනාංකයයි. වර්ග සැතපුම් මිලියන 200 ක් පුරා ක‍්‍රියාත්මක වන මෙම බලගතු නාවුක බළඇණියට යුද නැව් සහ සබ්මැරීන් 200 ක් ගුවන් යානා 1200 ක් සහ නැවියන් 130000 ක් අයත්වේ.
මෙලෙස බහරේන් සිට කටුනායකට භාණ්ඩ ගෙනවුත් එතැන් සිට ස්ටෙන්නිස් යුද නැවට ප‍්‍රවාහනය කිරීමේ මෙහෙයුමින් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 31 ක මුදලක් ලැබී ඇතැයි ඇමරිකානු තානාපතිනිය ප‍්‍රකාශ කර ඇත.
එහෙත් මේ භාණ්ඩ ප‍්‍රවාහන මෙහෙයුමට ඉන්දියාව ඉඩ නුදුන්නේ මන්ද?
බහරේන් සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගෙන ආ භාණ්ඩ අතර මෙවලම්ද තිබූ බව තානාපතිවරිය පවසා ඇති අතර එම මෙවලම් ස්ටෙන්නිස් නෞකාවේ ඇණ මුරිච්චි තද කිරීමට ගෙන ආ උපාංගදැයි විමසිය යුතුව ඇත.
මෙම භාණ්ඩ ප‍්‍රවාහන මෙහෙයුමට විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව අනුමැතිය දී තිබේ. එසේම ඇමරිකානු සත්වැනි නාවුක බළඇණියේ ප‍්‍රකාශක ලූතිනන් ජෝන් කෙලී පවසා ඇත්තේ ඇමරිකානු නාවික හමුදාව භාණ්ඩ මාරුකිරීමේ කි‍්‍රයාදාමයක් දියත් කළ බවයි.
එසේම ඔහු පවසන්නේ මේ මෙහෙයුමෙන් ඩොලර් මිලියන 25 ක් ශ‍්‍රී ලංකාවට ලැබෙන බවයි. එහෙත් තානාපතිනි ඇලිනා පවසා ඇත්තේ ඩොලර් මිලියන 31 ක් ලැබෙන බවත්ය.
මෙවන් පසුබිමක් මැද ඇමරිකානු සත්වැනි නාවුක බළඇණිය කි‍්‍රයාත්මක වන්නේ ජපානයේ යොකෝසුකා වරායේයි. එහි යුද නැව් 70 ක්ද ප‍්‍රහාරක යානා සහ ප‍්‍රවාහන නැව් 300 ක්ද 40000 ක නාවික බළඇණියක්ද ස්ථානගත වී ඇත. මෙයට අමතරව ඇමරිකානු මැරයින් බළකායක්ද ක්‍රියාත්මක වේ.
මෙලෙස ඇමරිකානුවන් ශ‍්‍රී ලංකාව තුළ නාවික කඳවුරක් ස්ථාපිත කිරීමට කි‍්‍රයාකරන බව දේශපාලකයන් අතර ප‍්‍රචාරය වීමත් සමඟම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ප‍්‍රකාශිකා නැන්සි වැන් හෝන් පවසන්නේ ඇමරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමේ පුවත සාවද්‍ය බවයි. එම පුවත සාවද්‍ය නම් රහසිගතයි යනුවෙන් සටහන්කර ශ‍්‍රී ලංකා විදේශ කටයුතු බලධාරීන් සහ ඇමරිකානු තානාපති නිලධාරීන් අතර අගෝස්තු 28 දා සාකච්ඡාවක් පවත්වා ඇත්තේ කුමකටද?
මෙයට පෙර 2018 අගෝස්තු මස සහ දෙසැම්බර් මස ති‍්‍රකුණාමලය සහ කටුනායක ගුවන් තොටුපළේ සිට ජෝන් සී ස්ටෙන්නිස් නෞකාව වෙතද භාණ්ඩ ප‍්‍රවාහනය සිදුවී තිබේ.
මේ ගැන ගුවන් හමුදා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසුවේ සී 40 යානාවෙන් ගෙන ආ භාණ්ඩ කිසිවක් ගුවන් හමුදාවේ නිරීක්‍ෂණයට ලක්නොවූ බවයි.
එසේම ඇමරිකානු නාවික හමුදාව තවදුරටත් ප‍්‍රකාශ කළේ මෙම භාණ්ඩ ප‍්‍රවාහනය ඉන්දු ශාන්තිකර කලාපයේ යහපත උදෙසා සිදුවූවක් බවයි. එහෙත් ඇමරිකානු උප ජනාධිපති මයික් සෙන්ස් හම්බන්තොට වරාය චීන නාවික කඳවුරක් ලෙස භාවිත කරනු ඇතැයි අනතුරු අඟවද්දී ඉන්දු ශාන්තිකර කලාපයන් කෙරෙහි ඇමරිකානු නාවික හමුදාව දක්වන උනන්දුව තහවුරු වේ.
මේ අතර ලන්ඩන් නුවර කොටි මැර කල්ලියකට මරණීය තර්ජන කරන ලද බවට දක්වමින් වෙස්ට්මිනිස්ටර් අධිකරණය පසුගිය 21 වැනිදා බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙසට දුන් තීන්දුව පසුගිය සඳුදා අහෝසි කළ විනිසුරුවරිය නඩු විභාගය පෙබරවාරි 1 දාට නියම කරනු ලැබීය.
ඊට හේතුවූයේ බ්‍රිගේඩියර්වරයාට තානාපති මුක්තිය ඇති බවට බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය අධිකරණය වෙත කරුණු යොමුකිරීමයි. මේ නිසා කොටි ඩයස්පෝරාව වෙනුවෙන් පෙනී සිටි පබ්ලික් ඉන්ටර්රෙස්ට් ලෝ සෙන්ටර් නමැති ආයතනය දැඩි නොසන්සුන්තාවකට පත්වී බ්‍රිගේඩියර්වරයාව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කිරීමට පෙර පැමිණිලිකරුවන්ගෙන් කරුණු විමසා නැති බවත් තානාපති නිලධාරියකු තම ධුරයෙන් ඉවත්වීමෙන් පසු තානාපති මුක්තිය බලපවත්වන්නේ දින 31 කට පමණක් බවත් කියා සිටියේය.
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ඉවත් කිරීම නිසා බ්‍රිතාන්‍ය අධිකරණය ලැජ්ජාවට පත්විය යුතු බව කියමින් කොටි ඩයස්පෝරාව වෙස්ට්මිනිස්ටර් අධිකරණයට අවමන් කිරීම ද කි‍්‍රයා කළේය.
එසේම කොටි ඩයස්පෝරාව ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකාව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක සහ ජනාධිපති නීතිඥ ජයතිස්ස කොස්තාද ජනතාව සහ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය නොමඟ යවා ඇති බවට චෝදනා කළහ.
මෙහිදී ශ‍්‍රී ලංකා බලධාරීන් පැවසුවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව සිතාසි නිකුත් කර නැති බවත් නඩු විභාගය පවත්වන ලද්දේ ඔහුගේ සහභාගිත්වයෙන් තොර බවයි.
මේ නිසා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය ශ‍්‍රී ලංකාවේ කරුණු දැක්වීම වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ විනිසුරු සෝනියා හෙන්ස්ලේ වෙත ඉදිරිපත් කර ඇත.
මින් කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් සහ ඔවුන්ගේ නීතිවේදීන් කෝපයට පත්වී තිබේ.
එහි ප‍්‍රතිඵලයක් වූයේ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය මෙම ගැටමුට මැදිහත්වූයේ කෙසේදැයි අනාවරණය කරන ලෙස කොටි ඩයස්පෝරාව එම කාර්යාලයෙන් ඉල්ලා සිටී.
මේ හැර බ්‍රිගේඩියර් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ඉවත් කිරීමට එරෙහිව ප‍්‍රතිවිරෝධතා දක්වන බවද පැමිණිලිකරුවන් මෙහෙයවූ රටින් පිටත ඊළම් ආණ්ඩුව නමැති හොර සංවිධානය ප‍්‍රකාශ කර ඇත.
බ්‍රිගේඩියර් ප‍්‍රනාන්දු මරණීය තර්ජන එල්ල කරන ලද බව කියමින් රටින් පිටත ඊළම් ආණ්ඩුව සංවිධානයේ නීති උපදේශක ගීත් කුලසේකරම් වෙනුවෙන් පබ්ලික් ඉන්ටර්රෙස්ට් ලෝ සෙන්ටර් ආයතනයේ පෝල් හෙරන් සහ හෙලන් මෝවට් නීතිවේදීන් ඉදිරිපත් විය.
එහෙත් මේ නඩුව පසුබිමේ ක්‍රියාත්මක වූයේ ඊළම්වාදියකුවූ මහාචාර්ය මුතුකුමාරස්වාමි සොර්නරාජායි. ශ‍්‍රී ලංකා රජය මොහුට මෙරටට පැමිණ යාපනයට ගොස් සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමටද ඉඩදී තිබුණි.
මේ අතර නැගෙනහිර කොටි හමුදා නායකයන්ව සිටි විනයගමුර්ති කරුණා වසර 29 කට පසු වසන් වී තිබූ රහසක් විශේෂ කාර්ය බළකායේ හිටපු නිලධාරියකුවූ ජනෙත් විමල සහ ජාත්‍යන්තර අපරාධ නීතිය ගැන දන්නා නීතිවේදී ටෙනී ප‍්‍රනාන්දු හමුවේ හෙළිකළේය. ඒ කොටි සංවිධානය විසින් ම්ලේච්ඡු ලෙස ඝාතනය කළ පොලිස් භටයන් 600 කගේ සිද්ධියයි.
‘‘ආර් පේ‍්‍රමදාස සමයේ සාම සාකච්ඡා බිඳවැටීමත් සමගම ප‍්‍රභාකරන් සියලූම කොටි හමුදා නායකයන් වන්නියට කැඳවූවා. ඔහු පැවසුවේ කොටි ක්‍රියාකාරීන් රැසක් රජය අත්අඩංගුවට ගෙන ඇති නිසා නැගෙනහිර පොලිස් භටයන් ප‍්‍රාණඇපකරුවන් ලෙස අල්ලාගෙන අපේ අය නිදහස් කරන තුරු පොලිස් භටයන් නිදහස් නොකළ යුතු බවයි.
පොලිස් භටයන් අල්ලා ගැනීමේ මෙහෙයුම ඔහු කොටි බුද්ධි නායක පොට්ටු අම්මාන් සහ විශේෂ හමුදා නායක නිව්ටන්ට පැවැරුවා. මේ මෙහෙයුමට තවත් කොටි හමුදා නායකයන්වූ නගුලන්, රාම්, ඬේවිඞ් රිගන් ඇතුළු පිරිසක් සම්බන්ධ වුණා. අත්අඩංගුවට ගත් පොලිස් භටයන් වන්නියට ගෙනඑන ලෙස ප‍්‍රභාකරන් විසින් පොට්ටු අම්මාන්ට නියෝග කළා. මේ පොලිස් භටයන්ව වන්නියට ගෙන ඒමට උත්සාහ කරන අවස්ථාවේ හමුදාවෙන් ප‍්‍රහාර එල්ල වුණා. එහිදී ප‍්‍රතිප‍්‍රහාරවලින් හමුදාවේ අටක් සහ කොටි 10 ක් මියගියා.
මේ බව ප‍්‍රභාකරන්ට වාර්තා වුණා. ඔහු පොට්ටුඅම්මාන්ට නියෝග කරමින් පොලිස් භටයන් සියලූදෙනා ඝාතනය කරන ලෙස කියා සිටියා යැයි විනයගමුර්ති කරුණා කියා සිටියේය.
පසුගිය ඉරිදා දහවල් මඩකලපුවේදී කරුණා හමුවී පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීමේ සිද්ධිය ගැන ජනෙත් විමල සහ නීතිවේදී ටෙනී ප‍්‍රනාන්දු කළ සාකච්ඡාවේදී මේ තොරතුරු හෙළිවිය.
‘‘මේ මහා සමූල ඝාතනය ගැන මං දිවුරා සාක්කිදීමට සූදානම්. අවශ්‍යනම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ සාක්‍ෂි දෙන්න මා ලෑස්තියි. මෙය යුද අපරාධයක් යැයි කරුණා සඳහන් කළේය.’’
මෙම සමූල ඝාතනය සිදුවූයේ 1990 ජුනි 11 දායි. කරුණා මේ අබිරහස් හෙළිකළේ කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරියකුව පෝල් නිට්මන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැති සමාන්තර රැස්වීමකදී පොලිස් භටයන් 600 ඝාතනය කළේ කරුණා බවට චෝදනා නැඟීමයි. පොලිස් භටයන් 600 සමූල ඝාතනයට සම්බන්ධ නැගෙනහිර කොටි හමුදා නායකයකුවූ ඬේවිඞ් පොතුවිල් පොලිසියේ රථවාහන ස්ථානාධිපතිගේ යතුරු පැදිය පැහැරගෙන එන අවස්ථාවේ විශේෂ කාර්ය බළකායේ ප‍්‍රහාරයකින් මරුමුවට පත්විය.
මේ අතර මාලි රාජ්‍යයේදී ශ‍්‍රී ලංකා සාම සාධක බළකායේ යුද හමුදා සන්නද්ධ රථයක් මොස්ට් ප‍්‍රාන්තයේදී බිම් බෝම්බයකට ගොදුරුවීමෙන් ශ‍්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ.
මෙරට හමුදා භටයන් මාලි රාජ්‍යයට යැවීමට පෙර එම රටේ පවතින බිහිසුණු තත්ත්වය හමුදා බලධාරීන් නිරීක්‍ෂණය කළ යුතුව තිබුණි. 2017 වසරේදී මාලි සාම සාධක බළකායන්ට එරෙහිව ත‍්‍රස්ත ප‍්‍රහාර 124 ක් එල්ල විය. 2018 දී එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාර සංඛ්‍යාව 192 කි.
එහෙත් දිවි පරදුවට තබමින් ශ‍්‍රී ලංකා යුද හමුදා භටයන් එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායට එක්වූහ.
මෙම ශ‍්‍රී ලංකා භටයන් මාලි රාජ්‍යයට යෑමට පෙර ඔවුන්ට එම රටට යැවීමෙන් වළකින ලෙස එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ඉල්ලා සිටියාය.
කොටි ඩයස්පෝරාවද ඇගේ ඉල්ලීමට සහාය දක්වමින් මාලි වෙත යන හමුදා භට පිරිස් යුද අපරාධකරුවන් බවට චෝදනා කළහ.
මෙවන් අසත්‍ය තත්ත්වයක් මැද වැඩි වැටුපක් උදෙසා මෙරට හමුදා භට පිරිස අරාජික තත්ත්වයක පවතින මාලි වෙත ගියහ.
මාලි රාජ්‍යයේ ටිම්බක්වූ සහ ගාඞ් නගර වලින් අල්කයිදා ත‍්‍රස්තයන් පලවා හැරියත් රටේ වැඩි කොටසක් රජයේ පාලනයෙන් තොරව පවතී.
මේ වසරේ ජනවාරි 20 දා මාලි රාජ්‍යයේ පිහිටි එක්සත් ජාතින්ගේ සාම සාධක බළකා කඳවුරකට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් චැඞ් රාජ්‍යයේ සාම සාධක භටයන් 10 ක් මියගොස් 25 ක් තුවාල ලැබූහ.
මේවන විට ලත් තොරතුරු වලින් හෙළිවී ඇත්තේ ශ‍්‍රී ලංකා භටයන් ගමන් කළ සන්නද්ධ රියට බිම් බෝම්බයක් අටවා ඇත්තේ අල්කයිදා ත‍්‍රස්තයන් බවයි.
මෙහිදී නැෙඟන බරපතළ ප‍්‍රශ්නය නම් ශ‍්‍රී ලංකා හමුදාව මාලි රාජ්‍යයට බිම්බෝම්බ නාශක බපල් රථ ගෙනයෑමට කි‍්‍රයානොකළේ මන්ද යන්නයි.
එසේම එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායන් සේවය කරන රටවල් අතුරින් බරපතළ අනතුරුදායක රට මාලි රාජ්‍යය බව එක්සත් ජාතීන්ගේ ප‍්‍රවෘත්ති සේවය හෙළිකර තිබුණි.
2013 වසරේ සිට මේ දක්වා මාලි රාජ්‍යයේ සාම සාධක භටයන් 100 කට අධික පිරිසක් මරුමුවට පත්වී ඇත.
එවන් තත්ත්වයක් මත අපේ හමුදාව එවන් අනතුරුදායක රටක සාම සාධක බළකා මෙහෙයුමකට මෙරට හමුදා භටයන් යැව්වේ මන්ද?
මාලි රාජ්‍යයේ බොන්ඞ් ප‍්‍රාන්තයේ සාහසික කි‍්‍රයා විශාල ලෙස සිදුවී ඇති අතර සිවිල් වැසියන් පවා ඝාතනයට ලක්වී තිබේ. වරක් සිවිල් වැසියන් 37 ක් ඝාතනය වී තිබේ. මේ නිසා මෙම අනතුරුදායක තත්ත්වය ගැන මෙරට බලධාරීන් වෙතින් විමර්ශනයක් සිදුවී තිබේ.
මේ පසුබිම මැද වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා යුද අපරාධ ගැන කොටි ඩයස්පෝරාවෙන් තොරතුරු ඉල්ලා සිටීම ගැන විමර්ශනයක් කරන්නැයි ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ සම්බන්ධිකාරක රංජිත් සොයිසා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත හදිසි සංදේශයක් යවමින් ඉල්ලා ඇත.
2007 සිට 2009 දක්වාවූ කාලය තුළ පැවැති වන්නි මෙහෙයුමට කිසිසේත් දායක නොවූ වත්මන් ආරක්‍ෂක ලේකම් පදක්කම් හිමි අය පමණක් රණවිරුවන් කර ඇති ප‍්‍රකාශය ගැන ආබාධිත සෙබළු දැඩිලෙස විරෝධය පා ඇත.
අපේ සෙබළු රැසක් දිවි පිදුවා. ඔවුන්ට පදක්කම් හිමිවූයේ නැහැ. එසේ නම් මියගිය සෙබළු රණවිරුවන් නොවේද යැයි හිටපු හමුදා නිලධාරියෙක් පැවැසීය.
වත්මන් ආරක්‍ෂක ලේකම් යුද අපරාධ සිදුකළ හමුදා නිලධාරීන් ගැන සාක්කි දෙන ලෙස ඩයස්පෝරාවෙන් කළ ඉල්ලීමද දේශපේ‍්‍රමී විදෙස්ගත ජනතාවගෙන් දැඩි විරෝධයට ලක්විය. මොහුගේ මේ ප‍්‍රකාශය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාටද වාර්තා විය.
මේ පසුබිම මැද වැල්වැටිතුරේ ප‍්‍රදේශයේදී කොටි යුද ටැංකිය සහ මුහුදු කොටි බෝට්ටුවල අනුරූ දක්වන සරුංගල් ප‍්‍රදර්ශනයක්ද පවත්වා ඇත. උතුරේ 12000 ක් කොටි සිටින බවත් ඔවුන් යම් දිනෙක අවි අතට ගනු ඇතැයි අපි ගතවූ කාලය මුල්ලේම පෙන්නුම් කළෙමු. අද ක‍්‍රම ක‍්‍රමයෙන් කොටි පුල්ලි උතුරෙන් මතුවී ඇත.
මේ අතර වසර 29 කට පෙර පොලිස් භටයන් 600 ක් ඝාතනය වීම ගැන ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුවූ ජනෙත් විමල ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. මේ පසුබිම මැද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව කොටි ඩයස්පෝරාවට සම්බන්ධ යස්මින් සුකා පිටු 139 ක වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්කර ඇත. මේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනිය මේජර් ජෙනරාල්වරයා සමග මුල සිටම ක්‍රෝධයෙන් පසුවේ. මේ සාවද්‍ය වාර්තාවට ඡායාරූප සපයා ඇත්තේ රජයේ මාධ්‍ය ආයතනයක ඡායාරූප ශිල්පියකු බව හෙළිවී ඇත.
මේජර් ජෙනරල්වරයාට එරෙහිව ඉදිරිපත් වූ මේ වාර්තාවෙන් යස්මින් සූකා ඉල්ලා ඇත්තේ ශ‍්‍රී ලංකා රජය ඔහුගේ වැඩ තහනම්කර නීතිපති එලවා පරීක්‍ෂණයක් කරන ලෙසත් ජාත්‍යන්තර ප‍්‍රජාව ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසත්ය. එසේම එක්සත්ජාතීන්ගේ සාම සාධක බලකා කටයුතු වලින් ශ‍්‍රී ලංකාවේ හමුදාව වහාම ඉවත්කළ යුතු බවද ඇය තවදුරටත් දක්වා තිබිණි.
යස්මින් සූකා මේජර් ජෙනරල්වරයාට එරෙහිව කි‍්‍රයාත්මක කර ඇත්තේ කොටි ඩයස්පෝරාවේ මෙහෙයුමකි. ඒ සඳහා ඇයට අතිවිශාල මුදලක් ලැබී තිබේ.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!