Gossip

ගලට පණ පොවා ගල්කටුවෙන් කවි ලියන බැදිවැවේ දියසේන හිමියෝ – Photos

සොබාදහම සමඟ බැඳුණු මිනිස්සු සොබාදහමට පේ වී සිටිති. ඔවුහු සොබාදහමේ ඕම්කාරයෙන් මන්මත් වෙති. ඒ වනාහි අසිරිමත් ස්වරයකි. අතීත කලාකරුවා සොබාදහමට ජීවය ලබා දුන්නේය. කළු පැහැ ගලක් කවිකාර රටාවක් කරන්නට එවක කලාකරුවෝ බුහුටිකම් පෑහ. ලයිකන බැඳී, කොළ පැහැයට හුරු වූ කැටයම් අතරෙහි ඇත්තේද අතීත ශ්‍රී විභූතියක ශේෂයන්ය.
මහින්දාගමනයෙන් පසුව ලංකාවට ලැබුණු අනගිතම දායාදයක් ලෙස කැටයම් කලාව හැඳින්විය හැකිය. ලාංකේය කැටයම් කලාව පිළිබඳ හැදෑරීමේදී වාහල්කඩ, කොරවක්ගල, මුරගල, පියගැටපෙළ මෙන්ම සඳකඩපහනටද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
මුල් යුගයේ නිර්මාණය වූ සඳකඩපහන කැටයමින් තොර වූ අතර පසුකාලීනව ලාංකේය කලාකරුවාගේ විස්මිත හැකියාවන් මෙම ශෛලමය නිර්මාණය හැඩකරන්නට ඇත.
කෙසේ වෙතත් සඳකඩපහන ආශ්‍රිතව සිදුකළ පුරාවිද්‍යාත්මක පර්යේෂණවලට අනුව එය බෞද්ධ පදනමක් සහිතවූත්, දාර්ශනික අගයකින් යුක්තවූත්, විශිෂ්ට නිර්මාණයක් හා ලෝක උරුමයක් ලෙසද නම්කර ඇත.
අදද බොහෝ විට එවන් නිර්මාණ බිහිවන්නේ බෞද්ධ පදනමක් සහිත ස්ථානවලින් බවට මෙම කතාව සාක්ෂි දරනු ඇත.
කුවේණිගේ සමයේ පටන් කල්පිටිය ප්‍රසිද්ධ මූර්ති කලාවටය. යටත් විජිත සමයේ කල්පිටිය ප්‍රදේශයේ බටහිර සංස්කෘතියට සමාන පැරණි කතෝලික දේවස්ථාන සහ තවත් නිර්මාණ රැසක් බිහිවිය. අදටද කල්පිටියේ මිනිසුන්ගේ දෑත්වල හුරුව මූර්ති කලාවට බරය.
එහෙත් එදිනෙදා ජීවන වියදම සරිකරගනු වස් ඔවුහු තම හැකියාවන් සඟවා වෙනත් රැකියාවල නිරත වෙති. මේ කතාව එවන් අතීත උරුමයක වර්තමාන කතානායකයකු වටාය.
ඔබ කෙදිනක හෝ කල්පිටිය නගරයට ගොස් ඇත්නම් ඔබගේ සිත් සනහන විශාල බුද්ධ ප්‍රතිමාවක් එහි දැක ඇතිවා නිසැකය.
බුද්ධ ප්‍රතිමාව පිළිබඳ පැවසීමට සිදුවූයේ අපගේ කතාවෙහි කතා නායකයාට එම ප්‍රතිමාව සමඟ සෘජු සම්බන්ධතාවයක් ඇති නිසාවෙන්ය.
උන්වහන්සේගේ දෑතින් නිමවෙන්නේ විශ්වකර්ම නිර්මාණයන්ය. කල්පිටිය කන්දකුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ විහාරාධිපති බැදිවැවේ දියසේන හිමියන් ශෛලමය කැටයම් කලාවට උපන් හපන්කම් ඇති ස්වාමීන්වහන්සේ නමකි. මහා විශාල ගල් පර්වත උන්වහන්සේගේ දෑතින් හුස්ම ගන්නා ජීවී වස්තු බවට පත් වී තිබේ. කිසිවකුගෙන් ලබා ගත් දැනුමකින් තොරව නිරායාසයෙන් කෙරෙන මෙම නිර්මාණ පිළිබඳ අටුවාටීකා අවශ්‍ය නොවන්නේ ඒවා එතරම්ම අනර්ඝ නිසාය. උන්වහන්සේ මෙයට යොමු වූයේ කෙසේදැයි අප සමඟ පැවසුවේය.
“මට පොඩි කාලේ හීන ගොඩක් තිබුණා. එකක් තමයි පැවිදි වෙන්න තියෙන ආසාව.
අනෙත් කාරණාව තමයි ශෛලමය නිර්මාණ පිළිබඳ හැදෑරීමට සහ ඒවා නිර්මාණය කිරීමට ඇති ආශාව.
ඒ ආශාව පස්සේ කාලෙක උනන්දුවක් වුණා. මම මුලින්ම පැවදි වුණා. ඒත් පැවිදි වුණාට පස්සේ මුල් කාලෙදි නිර්මාණ කරන එක අමතක වුණා.
පස්සේ එකපාරටම ඔළුවට ආවා මට නිර්මාණ කරන්න ආසාවක් වගේම හැකියාවකුත් තිබුණා නේද කියන දේ. මම නිර්මාණ කරන්න පෙළඹුණේ එහෙම.
මගේ මුල්ම නිර්මාණය වුණේ ‘සක්වල ගල’. ඒක මාස ගණනාවක ප්‍රයත්නයක ප්‍රතිඵලයක්.”
අඩි 10ට ආසන්න උසකින් සමන්විත වූ මෙම ගල් පර්වතය කල්පිටිය වෙරළ තීරයේ තිබී රැගෙන ඒමෙන් අනතුරුව එහි විශ්ව ශක්තිය ලෝකය අතර බෙදී යන අයුරු හා ධර්මය පිළිබඳ අර්ථකථනය කෙරෙන සිද්ධාන්ත ඇතුළත්ය. දකින්නකුහට එකවරම සිතෙන්නේ එය විශ්මකර්ම ක්‍රියාවක් බවයි.
මෙම ශෛලමය නිර්මාණ සඳහා උපකරණ ලෙස උන්වහන්සේ වැඩිපුර යොදාගනු ලබන්නේ කම්බි ඇණ, පැරණි නියන් වැනි අබිලි ආයුධ වර්ගවල එකතුවෙන් සකස් කර ගන්නා ලද සරල උපකරණයන්ය.
මූර්ති හෝ ශෛලමය කලාවේ අගක් මුලක් නොදන්නා උන්වහන්සේ මෙම කලාව සඳහා යොමුවීමට බලපෑ ප්‍රධාන සාධකය ලෙස උන්වහන්සේ පෙන්වා දෙන්නේ බුද්ධානුස්සති භාවනාව තුළින් මෙම ශිල්පීය ක්‍රමයට යොමු වූ බවයි. ඒ භාවනාව වඩ වඩාත් දියුණු කිරීමෙන් පසු තමන්ට ඕනෑම අපහසු කාර්යක් වූවත් සිදු කිරීමට අවශ්‍ය ප්‍රඥාව ඉන් පහළ වන බවයි.
“මේ නිර්මාණකරණයේදී නිර්මාණකරුවා තුළ තිබිය යුතු විශාලම ගුණය තමයි ඉවසීමේ ගුණය කියන එක.
ඒ ඉවසීම මම භාවනා කරලා, මෛත්‍රී වඩලා මටම කියලා අවේණික කර ගත්තා. බොහෝ වෙලාවට මේ නිර්මාණ කරද්දි සියුම් තැන් කැඩිලා විනාශ වෙනවා.
ඒත් එහෙම වෙලාවට අපි කිසිම වෙලාවක කලබල නොවිය යුතුයි. ඒ අවස්ථාවේ කරන්න ඕනෙ මඳ වෙලාවකට නිර්මාණකරණයෙන් ඈත්වෙලා ඉන්න එක.
බොහොමයක් භික්ෂූන් වහන්සේලා ශාසනයට ආදරය කරනවා, බණ දහම් ටික බැතිමතුන්ට කියලා දෙනවා.
ඒත් අතීතයේ පැවති ශාසනයේ පැවැත්ම ආරක්ෂා කරන්න වත්මන් භික්ෂුවට අපහසුවෙලා තියෙනවා. අතීත සංස්කෘතියට නැවත පණපොවමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා භික්ෂුවක් වශයෙන් දායක වීම සිදු කළ යුත්තේ කෙසේද; අන්න ඒ දේ ඒ ආකාරයෙන්ම සිදු කිරීමට මම ඒකාන්තයෙන්ම කටයුතු සිද්ධ කරනවා.”
උන්වහන්සේ කළු ගලේ නෙලන කැටයම් බැලූ බැල්මට නෙත් සිත් වසඟ කරවනසුලුය.
සඳකඩ පහනේ නිරූපණය වන සත්ත්ව පේළිය ඒ අයුරින්ම නෙළා තිබෙන්නේ එහි කිසිදු සංකේතයක් හෝ අඩු නොවන පරිද්දෙන්ය. උන්වහන්සේටම ආවේණික වූ මෙම කැටයම් කලාව කුමන සම්ප්‍රදායකට අයත්දැයි උන්වහන්සේ නොදනී. අනුරාධපුර යුගය හෝ පොළොන්නරු යුගවල සමානකම් දැරුවද මෙකී කැටයම් එකින් එකට වෙනස් ස්වරූපයක් ගන්නා බව දක්නට ලැබේ.
මේ වන විට ප්‍රචලිත නිර්මාණ රැසක් උන්වහන්සේ ප්‍රතිනිර්මාණය කර තිබේ. ඒ අනුව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, දළදා පෙරහැරේ ගමන් ගන්නා මංගල හස්තිරාජයා, ශිව දේව රූප වැනි නිර්මාණයන් මේ අතරට එක් කළ හැකිය. ඒ නිර්මාණ සඳහා අවශ්‍ය පාෂාණ වර්ග මෙහිදී සොයා ගැනීමට අසීරු බැවින් උන්වහන්සේ ගලේවෙල, දේවහූව ප්‍රදේශයට ගොස් මේ නිර්මාණ සඳහා අවශ්‍ය පාෂාණ වර්ග සොයා ගන්නා බව පැවසූහ.
“තාක්ෂණික උපකරණ ලබා දෙන්න කිසිවෙක්ට හැකිනම් මම එය කෘතඥපූර්වකව භාර ගන්නවා.
ඒත් නූතන තාක්ෂණය නැහැ කියලා මම සැලෙන්නේ නැහැ. මං ළඟ තියෙන්නෙ මොන උපකරණයද, අන්න ඒ උපකරණය මම ප්‍රයෝජනයට ගන්නවා. මට නිර්මාණ කරන්න අවශ්‍ය දේවල් නැහැ කියලා පසුගාමී වෙන්නේ නැහැ. මොකද ඒ කාලේ ශිල්පීන් මේ තරම් දැවැන්ත නිර්මාණ කළේ කිසිම පහසුකමක් නැතිව. ඇඟේ නිර්මාණ ශක්තිය තියේ නම් ඒ හොඳටම ඇති.”
අද කාලයේ ගල් වඩුවෝ සෙවීම පහසු නැත. මිනිසුන් හුරු වී ඇත්තේ එදිනෙදා කාර්යයන්ගෙන් තෘප්තිමත් වී දින ගෙවා ගැනීමටය.
අනෙත් අතට ඉවසීම හුරු මිනිසුන් සොයා ගත නොහැකිය. අපි උන්වහන්සේගෙන් සමුගත්තේ තවත් මෙවැනි නිර්මාණ කිරීමට අවශ්‍ය ශක්තිය තව තවත් ලැබේවායි ප්‍රාර්ථනා කරමින්ය.

උපුටා ගැනීම – රැස පුවත්පත

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!