Gossip

“කමලිනී මගේ. එයාව කාටවත්ම අයිති කරගන්න මම ඉඩ තියන්නේ නැහැ”

කොයිතරම් සදාචාර සංස්කෘතියේ යළු පිළි පළන්දන්නට උත්සාහ කළත් ආසියාතික රටවල් මුහුණදෙන සමාජ ප්‍රශ්න බොහෝය. ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි. දකුණු ආසියාවේ පමණක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත.

ළමයින් පිරිමින් කාන්තාවන්සේම ලිංගික විපරිතයන්ට ලක් වූ අයද මේ. පිරිසට අයත් වන බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ඒ අතර ගණිකා වෘත්තියේ යෙදෙන යුවතියන්ට ඇත්තේ මහත් වූ ඉල්ලුමකි. ළාබාල වියේ පසුවන ඔවුන් අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට ඇදගෙන යාම මෙම රවටල වෙසෙන සංවිධානාත්මක ජාවාරම් කරුවන් විසින් සිදු කරනු ලබන්නකි.

එලෙස මෙම ව්‍යාපෘතියට එම යුවතියන් නිශ්චිත කාලයක් ජීවත්වන්නේ සුරඟනන් ලෙසටය. එහෙත් මෙවන් සුරඟනන් බොහෝ දෙනා අන්ත අසරණ පවුල්වල අයවෙති. කුල පීඩනය ආර්ථික පීඩනය දරාගත නොහැකිව මඟට පිලිපන් අයද කුලයෙන් නෙරපීමෙන් පසු අතවරයට ලක් වූ යුවතියෝද ඒ අතර වෙති. තවත් සමහර ළාබාල දැරියන් ඈත දුෂ්කර ගම්මානවල පදිංචි දෙමාපියන් රවටා පැහැරගෙන එනු ලැබු අයවෙති.

බිමට වැටුණු සුරඟනන් කෘතිය ඇසුරෙන් සැකසු එම ලිපි පෙළ ගණිකා මඩම් හා ලිංගික වෙළදාමේ නියුතු තැනැත්තන්ගෙන්ම ලබාගත් තොරතුරු මත සම්පාදනය වී තිබේ. මෙම කෘතිය ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 14 දෙනකු විසින් රචනා කරන ලද්දෙකි.

ලිංගික වෙළඳාම, ළමා ගණිකා වෘත්තිය, ගණිකා මඩම් සංස්කෘතිය ගැඹුරින් විමසා බලන්නට මේ කෘතිය උත්සාහ දරා ඇත. බොහෝ මාධ්‍යවේදීන් මෙවන් බියකරු ගුප්ත ලෝකයක සැරිසරන්නට බිය වන්නේ මත්ද්‍රව්‍ය, පාතාලය හා මැරකල්ලි මේ පිටුපස ක්‍රියාත්මක වීම නිසාය.

බිමට වැටුණු සුරඟනන් තුළින් ඔබ කියවන මේ අහිංසකාවියන් ගේ කතා අපේම සමහරක් සොයුරියන් ගේ කතා හා සමාන නොවන්නද?

කොහොමහරි ඉගෙන ගෙන තාත්තත් අම්මත් පුංචි මල්ලියත් විඳින දුක් කන්දරාව අඩු කරන්න කමලිනි තීරණය කර ගත්තේ පුංචි කාලේ ඉඳලමයි. කමලිනිගේ තාත්තා මධුරෙයි අලංගනල්ලූර් කෝවිලේ කඩපිලක පිච්චමල් විකුණුවා. යාන්තමින් එදාවේල කාලා ඉන්න හරි හම්බකර ගන්න පුළුවන් වුණත් ඒ සල්ලිවලින් කීයක් හරි ඉතිරි කරගන්න, ගෙයක් හදාගන්න එක එයාට හීනයක්ම වෙලා තිබුණා.

මධුරෙයි මිශ්‍ර ඉස්කෝලේ 10 වෙනි පංතියේ හොඳම ශිෂ්‍යාව විදියට කමලිනි තේරුණේ එයා හැම විෂයකටම හොඳින් ලකුණු ගත්ත නිසා රාජාටත්, වල්ලිටත් ඒ කියන්නේ කමලිනි ගේ අම්මටත්, තාත්තටත් මේ නිසා ගොඩක් සතුටුයි. එයාලගේ අහිංසක හිත්වල ප්‍රාර්ථනා ගොඩක් මෝදු වෙන්න පටන් ගත්තා.

කමලිනි ඇත්තටම ගොඩක් ලස්සන කෙල්ලක් බව කෝවිලේ පිච්චමල් විකුණන හැමෝම කතා වුණා. කමලිනි ගේ අතගන්න එයාත් එක්ක වචනයක් කතා කරලා අනාගතයේ හීන දකින්න පිරිමි ළමයි ගොඩක් උත්සාහ ගත්තා. රුවෙන් ගුණෙන් වගේම උගත් කමෙනුත් ඉහළ ඒ වගේ කෙල්ලක් ලබා ගන්න කෝවිල අද්දර ගෙවල්වල ඉන්න තරුණ ගැටව් ගොඩක් දෙනෙක් උත්සාහ ගත්තා. “ජෝදා” ඒ අතරින් කැපී පෙණුන කෙනෙක්. රස්සාවකුත් නැති නිතරම කෝවිලේ පලතුරු වට්ටි, මල් මාලා විකුණලා ඒවායෙන් ලැබෙන සල්ලි වලින් නොයෙක් විදියට විනෝද වෙලා සල්ලාලකම් කරපු මැරයෙක් විදියට ජෝදා පත්වෙලා තිබුණා. එයාට යාන්තමින් හරි අභියෝගයක් වෙච්ච අයට එකපාරටම මරණයේ දෝංකාරය අහන්නට ලැබුණේ නන්නාඳුනන මැර ප්‍රහාරවලට ලක් වීමට සිදු වීම නිසායි.

“කමලිනි මගේ. එයාව කාටවත්ම අයිති කර ගන්න මං ඉඩ තියන්නේ නැහැ.“

ජෝදා එයාගේ යාළුවෝ එක්කලා මන්දර් ගඟ ගාවදි කිව්වේ හොඳ හැටි සප්පායම් වෙලා ඉන්නකොට.

ඒත් මේ ප්‍රේම කතාවේ අහිංසකාවිය වෙච්ච කමලිනි මේ ගැන කිසිම දෙයක් දැන සිටියේ නැහැ. ජෝදා එයාගේ හිතේ කැකෑරෙන ආදරය කොහොමහරි කමලිනිට කියන්නයි බලාපොරොත්තුවෙන් හිටියේ. ඒ දවස උදා වුණා. කමලිනි ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ වෙනදා වගේම එයාගේ යාළුාවෝ ගොන්නත් එක්කලා. හරියටම එයාලා එන බස් එකට ජෝදාත් නැග්ගා. ජෝදා ගොඩක් අමාරුවෙන් කමලිනි ගාවට කිට්ටු වෙලා. අමුතු විදියට හැසිරෙන්න පටන් ගත්තා. ඉන් අපහසුතාවයටත් කේන්තියටත් පත් කමලිනි ජෝදාට හොඳටම බැන්නා. බැන්නා විතරක් නෙමෙයි ගහන්න අතත් ඉස්සුවා.

තමිල්නාඩුවේ ප්‍රධාන නගරයක් වෙච්ච මධුරෙයි බලා යන බස් රියකදී ඉස්කෝලේ යන කෙල්ලකට හදි කරන්න ගියොත් ඒ මනුස්සයා ඉතිරි වෙන්නේ පෙර පිනකට. ඒත් එදා මිනිස්සුන්ගෙන් ගොඩක් අමාරුවෙන් ජෝදා බේරුණේ වේගයෙන් යන බස් එකෙන් බිමට පැනලා. බස් එකෙන් බිමට පැන්න ජෝදාට ගොඩක් තුවාල වුණා. මේ නිසාම ඉස්පිරිතාලේ දින ගණනක් ඉන්න ජෝදාට සිදු වුණා.

“මම ඕකිව ඉතුරු කරන්නේ නැහැ. මං ඕකිව විනාශ කරන්නේ උඹලත් එක්ක ගිහිල්ලමයි.”

තමන් බලන්න රෝහලට ආ යාළුවන්ට ජෝදා කේන්තියෙන් ගුගුරමින් කිව්වා. ජෝදා ගැන මේ කාලෙදි ඩිංග ඩිංග කමලිනිත් දැන ගත්තා. අනේ මගේ දූවේ උඔ පරිස්සම් වෙයන් කමලිනිගේ අම්මා නිතරම කිව්වා…. ඒත් කමලිනි හිත ගලක් වගේ දැඩි කර ගත්තා. මං කොහොමහරි විභාගේ පාස්වෙලා රස්සාවක් හොයා ගන්නවා. කමලිනි ගේ එකම අරමුණ වුණේ එයම විතරයි.

දවසින් දවස ගෙවිලා ගියා. කොහොමහරි කමලනිගේ ජීවිතය බිල්ලට ගන්න ජෝදා සැලසුම් හදමින් හිටියා… යක්ෂයාගේ දවස පැමිණියා. සුපුරුදු විදියට “පන්ජාබ්” ඇඳුමින් සැරසුනු කමලිනි එදාත් ඉස්කෝලෙට යන්න පිටත් වුණා. අඳුරු මාවතක ටික දුරක් තනිවම ඇවිදගෙන යන්න එයාට සිද්ධ වෙලා තිබුණේ එදා තදින් වහින නිසා. යක්ෂයාගේ හෝරාව පැමිණියා. කොහෝදෝ සිට ආ ත්‍රීරෝද රථයක් කමලිනි ගාව එකපාරටම නතර වුණා. ජෝදායි එයාගේ ගෝල බාලයන් දෙන්නෙකුයි එකපාරටම ත්‍රී විලරයෙන් බැහලා කමලිනිව ඩැහැ ගත්තා. බලාපොරොත්තු නොවූ ආකාරයෙන් හදිසියේම සිදු වූ දෙයින් කමලිනිට කිසිවක් කර කියා ගත නොහැකි වුණා. තද වැස්ස නිසා කවුරුවත් මේ පැහැර ගැනීම දැක තිබුණේ නැහැ. කමලිනි ගේ මුවට මොකක්දෝ ලේන්සුවක් ඔවුන් ඇල්ලුවා. ඒ සමඟම කමලිනිට සිහි නැති වුණා.

අනතුරුව ත්‍රී විලරය නතර වුණේ පාළු ගොඩනැගිල්ලක. ඒ මූසල දවසේ වැහි අන්ධකාරය මුළු පළාතම ගිලගෙන තිබුණා.

එදා කමලිනිගේ ජීවිතය ජෝදා විනාශ කරලා දැම්මා. ජෝදාගේ යටි හිතේ ගොඩක් ලොකු ආදරයක් කමලිනි ගැන තිබුණත් ආදරයත් වෛරයත් අතර තියෙන්නේ කෙස් ගහක පරතරයක් බව ජෝදා එදා ඔප්පු කළා. ඒ විතරක්ම නෙමෙයි ජෝදා එයාගේ කාලකන්නි මිත්‍රයන්ටත් කමලිනිගේ සිරුර පූජා කළා. කමලිනිගේ හිතේ තිබුණ අහිංසක ලස්සන හීන ඔක්කෝම එයාගේ පාමුල බිඳ වැටුණා. කමලිනි ගොඩක් ඇඬුවා. මුළු දවසක්ම ඇඬුවා. ඒත් කවුද එයාගේ කඳුළු පිසදමන්නේ….

“අනේ මාව ආපහු මගේ ගෙදරට ගිහිල්ලා දාපල්ලා.” එයා ජෝදාට කිව්වා. ඒත් ජෝදා ගේ තිරිසන් නපුරු හිත නිකමටවත් උණු වුණේ නැහැ. උඹ මට එදා කරපු ලැජ්ජාවට මං උඹෙන් පළි ගන්නවා. එහෙම කියූ ජෝදා එක එක තාලේ මිනිස්සුන්ට කමලිනිගේ සිරුර විකුණුවා. මාස ගාණක් කමලිනිට යන්න නොදී ඔහුත් ඔහුගේ මිත්‍රයනුත් එකතුවෙලා මේ අහිංසක කමලිනීගේ ජීවිතය සල්ලාලයන්ට මිළ කළා..

මාස තුනකට විතර පස්සේ ජෝදා මෝහන් රාජ් කියන සල්ලිකාර සල්ලාලයෙකුට කමලිනිව විකුණුවේ රුපියල් 30000 කට. ගොඩක් රහසිගතව ඔහු කමලිනිව මධුරෙයි ඉඳලා ට්‍රිචි දක්වා රැගෙන ගියා.

අපිට කමලිනිව හමු වුණේ ට්‍රිචි නගරයේ තිබෙන ලැගුම් හලකදී.

“ඔයාට ඔයාගේ අම්මල තාත්තල ගාවට යන්න හිතෙන්නේ නැද්ද? මං එයාගෙන් ඇහුවා.”

“නෑ මහත්තයො ආයේ මං ඒ පැත්ත පළාතකටවත් යන්නේ නැහැ. මට ගොඩක්ම දුකයි. මම මගේ ජීවිතේ ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙනවා. ඕනෑම දෙයක් සිද්ධ වෙන්න දීලා මං බලාගෙන ඉන්නවා. මට දැන් කිසිම දේක ආසාවක් බලාපොරොත්තුවක් නැහැ.”

“ඔයා හැමදාම ඔහොම ඉන්නේ නැහැනේද කමලිනි? ජීවිතේ අන්තිම කාලයක් අපි හැමෝටම එනවා… ඒ කාලෙට ….”

මං ආයෙත් එයාගෙන් ඇහැව්වා. එයාගේ ඇස් දෙකේ කඳුළු කැට හිරවෙලා…. එයා ඈත හිස් ආකාසේ දිහා බලාගෙන හිටියා…

“මම දවසකට රුපියල් හාරදහසක් විතර හම්බ කරන කෙනෙක්. ඒත් මගේ සල්ලි උන් හොරා ගන්නවා. මට ට්‍රිචිවලින් පිටට කොහේටවත් යන්න බැහැ. කස්ටමර්ලා එක්ක ගියත් උන් මං ගැන ඔත්තු බලනවා. කවදාහරි මට ලෙඩක් දුකක් හැදුනොත් මං මහලු නිවාසයකට යනවා. ටික කාලයකින් හැමෝටම මාව අමතක වෙලා යාවි.”

“මං දැන් හැමදාම හිතන්නේ මරණය ගැන. ඒත් හැම ගැනියෙක්ම ප්‍රාර්ථනා කරන්නේ කරුණාවන්ත මහත්තයෙක්, ලස්සන ගෙයක් දොරක්, ලස්සන දරු පැටව්. මගේ හීනවලින් ඒවා ඈත් වෙලා ගිහිල්ලා ඉවරයි. මට ආයෙත් අලුතෙන් හිතන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ මහත්තයා….”

කමලිනි මා ඉදිරියේ කියාගෙන ගියා.

“ඔයාට හිතෙන්නේ නැද්ද එදා බස් එකේදී ඔයා ඉවසුවා නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා….”

මං කමලිනිගෙන් ආයෙත් ඇහුවා.

“මම ඉවසුවා කියලා හිතමුකො. ඒත් බස් එකේ යන මිනිස්සු නිකං ඉන්නේ නැහැ. එදා ඒ මිනිස්සුන්ට හරි විදියට ඔය කාලකන්නි ජෝදා අහු වුණා නම් බස් එක ඇතුළෙම ඒකාව මරනවා. “ඒකත් මගේම කරුමෙ වෙන්නැති මහත්තයෝ. එයාගේ ඇස් දෙකෙන් කඳුළු කැට ගලාගෙන එනවා.

කමලිනි කාගෙත් අතින් අතට යන රෑ සමනළියක්. ඒත් මේ සමනලියව අයිති කරගෙන ඉන්නේ සල්ලි වලින්ම ජිවිතය මනින මෝහන් රාජ්… දෛවය අපි හැමෝගේම ජිවිත කතා ලියනවා. ඒත් කමලිනිගේ ජිවිත කතාවේ හැම පිටුවක්ම ලියැවිලා තියෙන්නේ කඳුළෙන්ම විතරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!