Gossip

“එදා ඉඳන් අද වෙනකම් මම ඇඳුමකට කියලා අඳින්නේ අමුඩ ලේන්සුව. මගේ වයසේ අනිත් හැමෝම අමුඩ ලේන්සුවෙන් සරමට, කලිසමට මාරු වුණා. ඒත් මට ඒ පුරුද්ද අතෑරගන්න බැරි වුණා”

ඔහු දුටුවනම මට සිහිවූයේ මගේ මී මුත්තාය… උඩට කරකැවූ ගම්භීර රැවුලත්, ඔහුටම ආවේණික සිත්ඇදගන්නාසුලු සිනහවත් වයසට වඩා අඩු පෙනුමක් ඔහුට එක් කළේය…
තැනින් තැන ඉදුණු කෙස් ගස් කිහිපයක් හැරුණු විට කුදු වීමක් හෝ ශරීරයේ දුබලතාවක් ඔහුගෙන් නොදිස්විය…
කාල වර්ණ සිහින් උස සිරුර හා දෙපසට විහිදුණු ඇඟිලිකරු සහිත දෙපා සාක්ෂි දැරුවේ තරුණ කල කෙතරම් ජවයකින් ඔහු සිටින්නට ඇත්දැයි යන්නය… ඔහු උඩුවලගේ හේමපාලය… ශතවර්ෂයක් පූර්ණ වීමට ඔහුට තව ගෙවිය යුත්තේ වසර පහළොවකි…
මිනිසුන් ක්‍රමයෙන් පරිණත වෙද්දී ඔවුහු නිරායාසයෙන්ම සමාජයට සුදුසු ලෙස හෝ සමාජය පිළිගන්නා ආකාරයකට ජීවිකාව වෙනස් කර ගනිති… එය පුද්ගලික සිතුවිලිවල සිට ඇඳුම පැළඳුම දක්වා දිව යන්නකි… අසීමිත අවශ්‍යතා ගොන්නක සිර වී සිටින මිනිසුන්, තමන්ට ගැළපෙන දේ කුමක්දැයි නොගැළපෙන දේ කුමක්දැයි තේරුම් කර ගත නොහැකිව සිටිද්දී ඔහු ජීවත් වන්නේ තමන්ගේම න්‍යාය පත්‍රයකටය…
එය වර්තමාන ලෝකයේ ජීවත් වන නූතන පරපුරේ යැයි කියාගන්නා මිනිසුන්ට අරුමයක් වුවද ඔහුට එය අදාළ නොවේ…
“මම උපන්නේ 1933 අවුරුද්දෙ… ඉපදුණු දවසේ ඉඳන් ඉන්නේ සියඹලාගොඩ, පොල්ගස්ඕවිට ගමේ. එදා ඉඳන් අද වෙනකම් මම ඇඳුමකට කියලා අඳින්නේ අමුඩ ලේන්සුව. ඒක මගේ පුරුද්දක්… මගේ වයසේ අනිත් හැමෝම අමුඩ ලේන්සුවෙන් සරමට, කලිසමට මාරු වුණා. ඒත් මට ඒ පුරුද්ද අතෑරගන්න බැරි වුණා. අමුඩ ලේන්සුව ඇඳගත්තම තියෙන පහසුව, හිතට එන ගැම්ම, ආත්ම අභිමානය වෙන කිසිම ඇඳුමකින් මට ලැබෙන්නේ නැහැ.
කොටින්ම මට මං ගැන නියම විශ්වාසයක්, අභිමානයක් එන්නේ අමුඩ ලේන්සුවක් ඇඳලා තව අමුඩ ලේන්සුවක් කරේ දාගත්තම තමයි…”
ඔහු බුලත් විටකට අවශ්‍ය කළමනා එක් රැස් කර ගනිමින් කතාව ආරම්භ කරයි. එය හරි සකසුරුවමට කරන ඔහුගේ දෑත් මඳක් වෙව්ලයි.
බුලත් කොලයක් ගෙන දෙකොන කඩා එයට හුණු, දුම්කොළ හා පුවක් ඇති පදමින් තබා එය කට කොනකින් තබා ගනී. ඉන්පසු මඳක් කල්පනා කරමින් සිට නැවතත් නැවැත්වූ තැනින් කතාව පටන් ගත්තේය.
“මම ඉගෙනගත්තේ සියඹලාගොඩ කිරිගම්පමුණුව ඉස්කෝලෙ. ගියේ පහ වසරට විතරයි. මම ඉස්සර ඉස්කෝලෙ ගියේ හරිම ආසාවෙන්. ගුරවරු නම් ඒ කාලෙ කිව්වේ මම ඉගෙනගන්න රුසියා කියලා. එහෙම තියෙද්දිත් මගෙ අම්මා එකපාරටම අසනීප වුණා. මට ගෙදර හැම වැඩකම වගකීම පැවරුණා.
අපේ ගෙදර පිරිමි පහයි, ගෑනු එකයි. පිරිමි අයගෙන් වැඩිමලා වුණේ මම. ඒ නිසා වත්ත පිටියේ හැම වැඩක්ම කරන්න වුණේ මට. දර හොයන්න යන්න වුණා. ගෙදර උයන පිහන වැඩවලටත් උදවුකරන්න වුණා.
“මට හිතුණා මං ගෙදර නතරවෙලා අනිත් අයට ඉස්කෝලේ යන්න දෙන එක තමයි ඒ වෙලාවේ සුදුසුම දේ කියලා. අම්මලත් ඒකට විරුද්ධ නොවුණේ කරන්න දෙයක් නැතිම නිසා වෙන්නැති. ඉතින් මං එක එක දේවල් කළා.
ගොවිතැන් කළා. පස්සේ මට ලංකා ගමනාගමන මණ්ඩලේ වේරහැර ශාඛාවේ ගබඩා අංශයේ රැකියාවක් ලැබුණා.”
ඔහු සේවයට බැඳුණේ 1961 වර්ෂයේ මැයි 10 වැනිදා බවත් 1986 අගෝස්තු 5 වැනිදා සේවය අවසන් කළ බවත් පවසන්නේ තවත් බුලත් වඩියක් කටට දමා ගනිමින්ය. සතියක දෙකක මතකයක් හෝ සිතේ රඳවා ගත නොහැකි අපේ පරම්පරාවත් ඔවුන්ගේ පරම්පරාවත් අතර ඇත්තේ කෙතරම් වෙනසක්දැයි සිතමින් සිටින අතරතුරේ ඔහු නැවතත් කතාව ඇරඹුවේය.
“මං හම්බකළේ මං වෙනුවෙන් නෙවෙයි. මට වගකීමක් තිබුණා, පවුල වෙනුවෙන් දෙයක් කරන්න. ඒ කාලේ මගේ සම්පුරණ මාසේ පඩිය වුණේ රුපියල් 4යි ශත 33යි. ඒ කාලේ හැටියට රුපියල් හතරක් කියන්නේ ලොකු ගාණක්. වැඩිපුර මහන්සි වුණොත් වැඩිපුර කීයක් හරි හම්බකරගන්න පුළුවන් වුණා.”
මේ කතාබහට බාධා කිරීමට මට සිදුවන්නේ ඔහු රැකියාව සඳහා ඇන්දේ කුමන ඇඳුමක්දැයි මා නොඉවසිලිමත් වූ නිසාවෙනි. එක්දහස් නවසිය හට ගණන්වල මිනිසුන් රැකියාව සඳහා අමුඩ ලේන්සුවද ඇඳගෙන ගිය බවට ජීවමාන සාක්ෂිය ඔහුය.
“මට කවදත් පුරුදු අමුඩ ලේන්සුව. අපි එක්ක වැඩකරපු අය සරමට, කලිසමට මාරු වෙද්දී මං හැමදාම ඇන්දේ අමුඩ ලේන්සුව.
කාන්තා පාර්ශ්වය ඉද්දී නම් මං සරමක් ඇන්දා. ඒ කවුරුවත් කියල නම් නෙවෙයි. මටම හිතුණා ඒක හරි නැහැ කියලා. ඒත් ගැහැනු අය ගියාම ආයෙමත් මං සරම ගලවලා දාලා, අමුඩ ලේන්සුවට මාරු වෙනවා. ඒක කාටවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. මට වැඩකරන්න සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් එකම ඇඳුම ඒක බව ඔෆිස් එකේ ලොකු මහත්තයත් දැනගෙන හිටියා. ඒ නිසා කවුරුවත් විරුද්ධ වුණේ නැහැ.”
සරම, කලිසමට වඩා ඔහු අමුඩ ලේන්සුවට මේ තරම් හුරු වන්නේ ගෙදර පවතින අගහිඟකම් නිසාදැයි විමසීමේදී ඔහුගේ මුහුණේ ඇඳුණේ ආගන්තුක සිනහවකි. එය නොඇසිය යුතු දෙයක්දැයි මට දැනුණේ දෙගිඩියාවකි.
“අගහිඟකම් තමයි අමුඩ ලේන්සුවට මං හුරු වෙන්න හේතුව. මට මතක ඇති කාලේ ඉඳන් අම්ම මට ඇන්දුවේ අමුඩ ලේන්සුවක්. මට අවුරුදු 06ක් වගේ වෙද්දී මං තනියම අමුඩ ලේන්සුව ඇඳගන්න පුරුදු වුණා. අපිට කිරි හරක් හිටියා. මං පොඩිකාලේ ඉඳලම කිරි හරක් බලාගත්තා. තණකොළ කපලා උන්ට කන්න ගෙනත් දුන්නා.
උන්ව වතුර තියෙන තැන්වලට අරන් ගියා. හරක් බලාගනිද්දී ගොපලු කොල්ලෙක්ට අමුඩෙකට වඩා හොඳ වෙන ඇඳුමක් තියේවි කියලා මං හිතන්නේ නැහැ.”
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමත්, දෙහි කැපීම, නූල් බැඳීම මෙන්ම සර්ප වෙදකමද ඔහුට හුරුපුරුදුය.
“මගේ තාත්තා බොරැල්ලේ අයුර්වේදේ තෙල් අංශයේ රාජකාරි කළේ. ඒ කාලේ තාත්තා සර්ප වෙදකමත් කළා.
ඒ හුරුව තමයි මට එන්න ඇත්තේ. මට තියන එකම වේදනාව මගේ දරුවෝ මේ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ නැති එක. මගෙන් පස්සේ මේ වෙදකම් , ගුරුකම් මං එක්කම වැළලිලා යාවි. ඒ කාලේ අපේ තාත්තත් අමුඩ ලේන්සුව ඇන්දා. ඒත් ගමනක් යද්දී සරම ඇඳගෙන ගියේ.”
අවුරුදු හයේ පටන් අමුඩ ලේන්සුව අඳින්නට හුරු වූ මේ මිනිසා කුඹුරට ඇන්දේත්, පන්සලට, මගුලට, මරණෙට ඇන්දේත් එකම ඇඳුමය. එය බයිසිකලේ යද්දීද බසයෙන් යද්දීද වෙනස් නොවීය. ඇඳුමක් අතට ගෙන එය ඇන්දොත් දකින්නන් ඇඳුම ගැන කුමක් නම් පවසාවිදැයි දස අතේ සිතන මිනිසුන් සිටින සමාජයක ඔහුගේ සිතුවිලි එදත් අදත් වෙනසක් නොවීය.
“මට කවදාවත් මගේ ඇඳුම ගැන ලැජ්ජාවක් හිතිලා නැහැ. ඒ වගේම එදා ඉඳලා අද වෙනකම් මගේ ඇඳුම ගැන කිසිම කෙනෙක් මට විහිළු කරලා නැහැ. මං නැති තැන එහෙම කියනව ඇති. ඒත් මට ඇහෙන්න විහිළු කරලා නැහැ. මගේ ළමයි, ළමයින්ගේ ළමයි පවා මට අමුඩෙ අඳින්න එපා කියලා නැහැ.
එයාලට ඒක ලැජ්ජාවක් නෙවෙයි නම් මට මේ ලෝකේ වෙන කවුරු මොනවා හිතුවත් මට එක ප්‍රශ්ණයක් නෙවෙයි. මේක ඇඳලා පුරුදු කෙනෙක් තමයි දන්නේ, මේ ඇඳුම කොයිතරම් පහසු ඇඳුමක්ද කියලා. අපේ රටේ තියන මේ ග්‍රීස්මෙට ටයි කෝට් ගැළපෙන්නේ නැහැ.” එක් කලෙක විජයානන්ද දහනායක මහතා පාර්ලිමේන්තුවට අමුඩය ඇඳගෙන ආ බවත්, උද්ඝෝෂණයක් සඳහා අමුඩ ඇඳගෙන ගොවීන් කොළඹට ආ බවත් ඔහු පවසන්නේ සිනාමුසු මුහුණින්ය.
එය ඔහුට එකල ආඩම්බරයක් වූ වග ඒ සිනාවේ සටහන් විය.
“උද්ඝෝෂණයට ආව එක ගොවියෙක්වත් අමුඩ ලේන්සුව ඇඳලා පුරුදු පාටක් මට නම් පේන්න තිබුණේ නැහැ.
අමුඩ ලේන්සුව ඇඳපු විදිය බැලුවම කියන්න පුළුවන් හුරුවක් තියනවද නැද්ද කියල.
“අමුඩයක් අඳින්න රෙදි යාරෙකට වැඩි වෙන්න ඕන. ඒ කාලේ අමුඩ ලේන්සුවක් රුපියල් 1යි ශත 25ක් වුණා. බදාදා, සිකුරාදා, සෙනසුරාදා පොළේ ගිහින් තමයි අමුඩ ලේන්සු ගත්තේ. ඒ ලේන්සුවලත් එක එක වර්ග තියෙනවා. ‘පලේයකාත්’ ලේන්සුව තමයි වටින්නෙම. එකක් ඉනට අඳිනවා. තව එකක් කරට දාගන්නවා. ගනිද්දී අමුඩ ලේන්සු දෙකක් ගන්නවා. කරට දාන ලේන්සුව අනිත් ලේන්සුවට වඩා ලොකු වෙන්න ඕන. කම්බි ලේන්සුව කියන්නේ සුදු පාට අමුඩ ලේන්සුවට. අපට ඒක හරියන්නේ නැහැ.
කුඹුරට බහින්න බැහැ ඒක ඇඳගෙන. කම්බි ලේන්සු පහසුයි, ඒ නිසා නාද්දී අරන් යන්නේ කම්බි ලේන්සුවක්.” ඔහු පවුලේ විස්තර අතර ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ විවාහ මංගල්ලය මතක් කළේ ඒ සෑම සිදුවීමක් සමඟම අපි කුතුහලයෙන් අසන්නට බලා සිටින අමුඩ ලේන්සුවේ කතා සමඟ සම්බන්ධයක් ඇති නිසාය.
“මගේ නෝනා ඒ. අයි. තිස්ලින්. මේ වෙනකොට අවුරුදු 79ක් වෙනවා. මං අපේ මගුල් දවසේ ඇන්දේත් අමුඩ ලේන්සුව.
ඇයට ඒ ගැන කවදාවත් අකැමැත්තක් තිබුණේ නැහැ. මං තාම මගේ වැඩ කරගන්න පුළුවන් තරම් හයියයි. හැබැයි ඉතින් එදා ඉඳලා අද වෙනකම් හවසට අරක්කු කාලක් බිව්වේ නැත්නම් මට ඒ දවසෙන් වැඩක් නැහැ. මේ ජීවත් වුණු අවුරුදු අසූ පහ ගැනම මට තියෙන්නේ සන්තෝසයක්.
කාටවත් අත නොපා ජීවත් වුණා විතරක් නෙවෙයි, ලෝකයා මොනවා හිතයිද කියන එක ගැන නොහිතා මට ඕන විදියට කෑවා, බිව්වා, ඇන්දා වගේම කාටවත් කරදරයක් නොවී ජීවත් වුණා.”
මේ කතාබහ අතරතුර ඔහු කෙසෙල් කැනක් බයිසිකලයේ පිටුපස තබා බඳියි.
ඒ කඩපොළට ගොස් විකිණීමටය. ඔහු දශක අටක් ගෙවා දැමූ මහල්ලෙක්යැයි කිසිවෙකුට නොසිතේ.
ඔහුගේ කතාබහ, වැඩ මෙන්ම අදහස්ද තවමත් තරුණය. යමක් කිරීමට ප්‍රථම අනිත් අයගේ අදහස් කෙසේ වේවිදැයි සිතමින් පසුතැවෙන සමාජයක අපි ජීවත් වන්නෙමු. ඇඳුම පැළඳුම පවා අප අඳින්නේ අන් අයට පෙන්වීමට මිසක් තමන්ගේ සුව පහසුවට නොවන යුගයක අපි ජීවත්වන්නෙමු.
කොටින්ම අප හුස්ම ගන්නේද තමන්ගේ දෙපස සිටින අය කුමක් සිතනු ඇත්දැයි සිතමින්ය. එවන් සිරගත වූ ජීවිත ගෙවන නුතන පරපුරට ඔහු කදිම ආදර්ශයකි. රැඩිකල් යැයි තමන්ටම ලේබල් අලවාගන්නා මිනිසුන් සිටින සමාජයක ඔහු නියම රැඩිකල් අදහස් ඇත්තෙක් යැයි පැවසිය හැක්කේ ඒ නිසාය.

උපුටා ගැනීම – රැස පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!