Gossip

මංගල දැන්වීම් බලලා තරුණියන් රවටා කෝටි ගණන් සල්ලි ගැරූ වැලිගම චමින්ද කොටුවුණු හැටි

අනුලා කුමාරි රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. යමක් කමක් ඇති පවුලක උපත ලැබුවත් ඇය ගතකළේ ඉතා චාම් සරල ජීවිතයකි.
හොඳ අධ්‍යාපනයක් ලැබූ ඇය රජයේ උසස් රැකියාවක නිරත වූවාය. මනරම් රූ සපුවක් නැති වුවත් ඇයගේ මුහුණෙන් අමුතු සිරියාවන්ත කමක් දිස් වූවාය.
නිසි වයස පැමිණීමත් සමග ඇයගේ යහළු යෙහෙළියන් සියල්ලන්ම පාහේ යුග දිවියට එළැඹුණහ.
එහෙත් කුමන හේතුවක් නිසා හෝ මල්සරා ඇය දෙස නොබැලූවේය. නිවැසියන් මෙන්ම හිත මිතුරන්ද ඇයට සුදුසු සහකරුවකු සෙව්වේය.
එහෙත් ඇයට ගැළපෙන කෙනකු සොයා ගැනීමට ඔවුනට නොහැකි වූහ.
අනුලා තවමත් තනිකඩය. වසර ගණනක් එලෙස ගතවිය. බැරිම තැන ඇය එක්තරා පුවත්පතක මංගල දැන්වීමක් දැමුවාය.
එයට ප‍්‍රතිචාර රැසක් ලැබිණි. මනමාලයෝ කිහිප දෙනෙක් ඇය බැලීමට පැමිණියහ. එහෙත් ඇයගේ සිත දිනා ගැනීමට ඔවුනට නොහැකි වූහ.
තවත් දිනක් උදාවිය. අනුලාගේ මංගල දැන්වීම දුටු තවත් පුද්ගලයකු ඇය සොයා පැමිණියේය.
ඔහු අන් මනාලයන් මෙන් නොව ඉතා වෙනස් පුද්ගලයකු විය. ඔහු අනුලා බැලීමට පළමු දිනයේ පැමිණියේ තනිවමය. එලෙස පැමිණි ඔහු අනුලාගේ මාපියන් ඉදිරියේ මෙලෙස පැවසුවේය.
’’මම මලිත් විජේසේකර. ඉන්නේ පිළියන්දල. මාගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ. මට නංගි කෙනෙකුයි, මල්ලි කෙනකුයි ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නෙත් මාත් එක්ක එකටමයි. මට දෙමහල් නිවසක් තියෙනවා. මම රැකියාව කරන්නේ පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු වශයෙන්.’’
‘‘ඇත්තටම කියනව නම් බාධක කම්කටොලූ රැසක් මැද ජීවිතය ජයගත්ත කෙනෙක්. තව මම අරක්කු සිගරැට් බොන්නේ නැහැ. දැනට මං ගැන කියන්න තියෙන්නේ එච්චරයි…’’
කතාව, ඇඳුම පැළඳුම සහ මලිත් හැසිරුණු ආකාරයෙන් අනුලා සහ දෙමාපියන් එක්වරම ඔහු ගැන ලොකු විශ්වාසයක් ගොඩනඟා ගත්හ.
‘‘පහුවෙලා හරි ඇවිල්ලා තියෙන්නේ දුවට ගැළපෙන හාදයාම තමයි. පළවෙනි දවසෙම කිසිම දෙයක් හංගන්නේ නැතිව අපිට කිව්වනේ…
ඒකෙන්ම පේනවා එයා හොඳ කෙනෙක් කියලා. දාහකින් හොයා ගන්න බැරි මනුස්සයෙක්. මේ පාර නම් අපි හරි දුවට කියන්න ඕනේ එයාට කැමැති වෙන්න කියලා…’’ ඔවුහු මලිත් ගැන දැඩි පැහැදීමකින් යුතුව එලෙස පැවසූහ.
අනුලාගේ හිතේ මලිත් ගැන ලොකු පැහැදීමක් ඇතිවිණි. ඇය කල්පනා කළේ කලක් පුරා සෙවූ සහකරු දැන් පැමිණ ඇති බවයි. කල් නොයවාම ඔහුට කැමැත්ත දිය යුතු යැයි ඇය පැවසුවේ තමන් මලිත්ව කසාද බැඳීමට කැමැති බවයි. අනුලාගේ දෙමාපියන් දෙවරක් නොසිතා එය අනුමත කළහ.
වැඩි දවස් නොගොස් අනුලාගේ තීරණය මලිත්ට දැනුම් දුන්නේය. මලිත්ද එක පයින්ම එයට කැමැති විය. එතැන් පටන් අනුලාගේ ජීවිතය බවට පත්වූයේ මලිත්ය. ඇය නොසෑහෙන ලෙස මලිත්ට ආදරය කළාය.
මාස කිහිපයක් ගතවූ පසු මලිත්ට අනුලාගේ නිවස තමන්ගේ නිවස මෙන් විය. ඔහු ලද සෑම මොහොතකම එම නිවස වෙත යෑමට ඒමට පටන් ගත්තේය. ඒ අතර අවස්ථා කිහිපයකදී මලිත්ගේ නැඟණියද අනුලාගේ නිවස වෙත පැමිණියේය. දැන් සියල්ලෝම ඇසුරු කරුන්නේ එක පවුලක සාමාජිකයන් මෙන්ය.
අනුලා මලිත්ට තම දිවි දෙවැනි කොට ආදරය කළාය. ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඇය සූදානම් වූවාය.
මලිත්ද එසේය. ඇයට සිහින ලෝකයක් පෙන්වා තිබිණි. ඔය අතරදී දිනක් මලිත් අනුලාට මෙසේ පැවසුවේය.
‘‘අනුලා බලන්න මට පොඩි ප‍්‍රශ්නයක් ආවනේ…’’
‘‘ඇයි මොකක්ද අනේ…’’ ඇය කලබලයෙන් විමසුවාය.
‘‘මම අර ඔයාට කිව්වේ යාළුවෙක් එක්ක බිස්නස් එකක් පටන් ගන්න යනවා කියලා.
ඒකට මම සල්ලි දාලා තියෙන්නේ. ඒත් තව සල්ලි වගයක් ඕනවෙලා තියෙනවා. මගේ යාළුවාගෙ අතෙත් නැහැලූ. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ.
කාර් එක විකුණන්න කියලා හිතාගෙන ඉන්නේ. වෙන කරන්න දෙයක් නැහැ’’
‘‘කාර් එක විකුණන්න එපා. වෙන විදිහක් නැද්ද සල්ලි හොයා ගන්න’’
‘‘නැහැ අනුලා. වෙන කිසිම විදිහක් නැහැ. තියෙන අන්තිම සතේ දක්වා බිස්නස් එකට දාලා තියෙන්නේ…’’
‘‘කීයක් විතර ඕනද ඔයාට’’
‘‘ලක්‍ෂ 30 ක් ඕනවෙලා තියෙනවා’’
‘‘එහෙමද? මගේ ළඟ සල්ලි ටිකක් තියෙනවා. ඉතිරි කරපුවා. මම ඒ ටික දෙන්නම් ඔයාට. කාර් එක විකුණන්න එපා’’
‘‘ඒත් මම කොහොමද ඔයාගේ සල්ලි ගන්නේ’’
‘‘දැන් මගේ ඔයාගේ කියලා වෙනසක් නැහැ. දෙන්නගේම සල්ලි එකයි’’
‘‘ඒ වුණාට ඔයාගේ අම්මලා මොනව හිතයිද?’’
‘‘ඒ අයට දැන් මට වඩා විශ්වාස ඔයාව’’
‘‘අනේ අනුලා ලොකු උදව්වක් එහෙනම්. මම මාස දෙකක් ඇතුළත සල්ලි ටික ආපහු දෙන්නම්’’
‘‘හරි හරි ඒක පස්සෙ බලාගමු මලිත්’’
අනුලා තම දෙමාපියන්ට එසේ පවසා රුපියල් ලක්ෂ 23 ක මුදලක් පසුදිනම මලිත්ට ලබා දුන්නේය. මුව නොසෑහෙන සේ ස්තුති කර මලිත් එම මුදල් ලබා ගත්තේය.
මුදල් ලබාගත් දිනට පසුදින සිට මලිත්ගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබිණි. අනුලා විනාඩියෙන් විනාඩියට එම අංකයට ඇමතුම් ලබා ගත්තාය. එහෙත් ප‍්‍රතිචාර නොමැත. ඇය සිතුවේ මලිත්ට කුමන හෝ කරදයක් වී ඇති බවය. ඇය දෙමාපියන්ටද ඒ බව පැවසුවාය. නොකා නොබී දින කිහිපයක් පිස්සියක් මෙන් ඇය මලිත් ගැන සොයා බැලූවාය. එහෙත් කිසිදු තොරතුරක් ඇයට සොයා ගැනීමට නොහැකි විය.
මලිත් පිළියන්දල සිටිනා බව පැවසුවාට ඔහු ඉන්න තැන ලිපිනය අනුලා දැැන සිටියේ නැත. ඔහුගේ නැඟණිය, මල්ලී සහ යහළුවකු පිළිබඳව කිසිදු තොරතුරක් ඇය ළඟ තිබුණේ නැත. දින කිහිපයක් එලෙස ගතවිය. අවසානයේ අනුලා ඇතුළු පවුලේ සැම සත්‍යය තේරුම් ගත්තේය. ඒ ඔවුන් වංචාකාරයකුට රැවටී ඇති බවය.
අනුලා ඇතුළු පවුලේ සැම කල්පනා කළේ කරන්නේ කුමක්ද කියාය. අවසානයේ ඔවුන් නීතියේ පිහිට පැතීමට තීරණය කළේය.
ඒ අනුව අනුලා මෙම සිද්ධිය පිළිබඳව විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයට ගොස් පැමිණිලි කළාය. වසරක් ගතවිය. එහෙත් කිසිදු ප‍්‍රතිඵලයක් නොලැබිණි. එම නිලධාරින්ට මෙම සැකකරු කොටුකර ගැනීමට නොහැකි විය.
අනුලා සිටියේ මෙම පුද්ගලයා ගැන කේන්තියකින් සහ දැඩි වෛරයකිනි. කෙලෙස හෝ මොහුට දඬුවම් දිය යුතු යැයි ඇය අධිෂ්ඨාන කර ගත්තාය. එතැනින් නොනැවතුණු ඇය ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ මහතා මුණගැසී තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව පැවසුවාය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ මහතා වහාම ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කරන බව ඇයට පැවසුවේය.
ඒ අනුව ඔහු නීතිය බලගැන්වීමේ ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක අමිල ප්‍රියංකර අබේදීර මහතාට මෙම සිද්ධිය භාර දුන්නේය.
උප පොලිස් පරීක්‍ෂක අමිල සහ පොලිස් කොස්තාපල් විමලසිරි නැවතී තිබුණ තැනින් යළි පරීක්‍ෂණ ආරම්භ කළේය.
පළමුව ඔහුත් සැකකරු පාවිච්චි කළ දුරකථන අංකයේ විශ්ලේෂණයක් ලබා ගත්තේය. ඒ හරහා පොලිස් නිලධාරීහු මෙම සැකකරු කොටුකර ගැනීමට ඉතා සූක්‍ෂ්ම ලෙස පරීක්‍ෂණ පැවැත්වූහ.
අනුලාගෙන් රුපියල් ලක්ෂ 23 ක් වංචා කළ මලිත් විජේසේකර යළි පේරාදෙණිය ප‍්‍රදේශයට ගියේය. ඒ ප‍්‍රභාත් සංජීව යන තවත් ව්‍යාජ නමකිනි.
ඒ වනවිට මෙම සැකකරු එම ප‍්‍රදේශයේ කාන්තාවක් සමග සම්බන්ධයක් ඇති කරගත්තේය. ඒ ඇයව විවාහ කරගන්නා බව පවසමින්ය. ඇයද රජයේ රැකියාවක නිරත වූවාය. සැකකරු සූදානම් වූයේ මෙම කාන්තාවගෙන්ද මුදල් ලබා ගැනීමටයි. ඉතා සූක්‍ෂ්ම ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා සිතුවේ කිසි දිනක තමාව නීතියේ රැහැනට කොටුකර ගත නොහැකි බවයි.
ඒ වන විටත් පොලිස් නිලධාරීහු ඔහු ගැන තොරතුරැ සොයමින් සිටියේය. ඒ අනුව උප පොලිස් පරීක්‍ෂක අමිල ඇතුළු පිරිස මොහු පිළිබඳව සියලූ තොරතුරු සොයා ගත්හ.
ඒ සමගම ඔවුන් පේරාදෙණියේ පදිංචි එම කාන්තාව මුණගැසී සියලූ විස්තර ඇයට පැවසුවේය. ඉන්පසු එම කාන්තාව හරහා මෙම සැකකරු කොටුකර ගැනීමට එම පොලිස් නිලධාරීහු කටයුතු කළහ. මේ කිසිත් නොදත් සැකකරු එම කාන්තාවගේ කීමට අනුව කොළඹ ප‍්‍රදේශයේ එක්තරා ස්ථානයකට පැමිණියේය.
සැකකරු එදින පැමිණියේ දහසක් බලාපොරොත්තු සිතේ තබාගෙනය. එහෙත් ඒ සියල්ල සුනේ සුන්විය. පොලිස් නිලධාරීහු වහාම ඔහුව අත්අඩංගුවට ගත්හ.
අත්අඩංගුවට ගත් සැකකරු උසාවි නියෝග මත දින කිහිපයක් රඳවාගෙන ප‍්‍රශ්න කළේය. එහිදී ඔහු මෙතෙක් කල් කළ සියලූ අපරාධ හෙළි කළේය.
සැකකරුගේ සත්‍ය නම කනත්ත දේවගේ චමින්දයි. මොහු මාතර වැලිගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
දෙදරු පියකු වන මොහුගේ බිරිඳ වසර ගණනාවක සිට සිටින්නේ විදේශගතවය. දරු දෙදෙනා වැලිගම තම මවගේ භාරයේ තබා මොහු කොළඹ පැමිණෙන්නේ දැනට වසර කිහිපයකට ඉහතදීය.
මෙම පුද්ගලයාගේ ජාවාරම වී ඇත්තේ පුවත්පත්වල මංගල දැන්වීම් බලා කාන්තාවන් විවාහ කරගන්නා බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමය.
එලෙස මොහු ගුරුවරියන්, නීතිඥවරියන් සහ පෞද්ගලික අංශයේ ඉහළ රැකියා කරන කාන්තාවන් රැසක් රවටා ඔවුන්ගේ කෝටි දෙකකට අධික මුදලක් වංචා කර තිබිණි.
මෙම සැකකරු අත්අඩංගුවට ගත් පසු කාන්තාවන් රැසක් ඔහුට විරුද්ධව පැමිණිිලි කර තිබිණි.
නැඟණිය ලෙස පෙනී සිටි කාන්තාව මෙම සැකකරුගේ අනියම් බිරිඳයි. ඇය මහියංගණය ප‍්‍රදේශයේ පදිංචි දෙදරු මවකි.
කොළඹ සම්භාහන මධ්‍යස්ථානයක සේවය කරන ඇය වසර කිහිපයක සිට සැකකරුට වංචනික ක්‍රියා කිරීම සඳහා උදව් උපකාර කර තිබේ. එයට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනෙක්ද මොහුගේ වංචනික ක්‍රියා සඳහා සහභාගි වී තිබේ.
සැකකරු 2005 වසරේදී සහ 2009 වසරේදී මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වී පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු ඔහු කුලියට නැවතී සිටි පිළියන්දල ප‍්‍රදේශයේ නිවස වෙත පොලිස් නිලධාරීහු රැගෙන ගියහ.
එහිදී එම නිවසේ තිබී නවීන පන්නයේ මෝටර් රථයක්, ව්‍යාජ හැඳුනුම්පත් 2 ක්ද, ව්‍යාජ රියදුරු බලපත‍්‍ර 2 ක්, ව්‍යාජ අංක තහඩු 2 ක්, අන්සතු හැඳුනුම්පත් 7 ක්, ජාත්‍යන්තර රියදුරු බලපත‍්‍රයක්, ජංගම දුරකථන 6 ක්, ලැප්ටොප් 1 ක් සහ ඩිජිටල් වර්ගයේ කැමරාවක් සොයා ගැනීමට හැකිවිය.
එයට අමතරව මෙම සැකකරුගේ වංචනික ක්‍රියා සඳහා සම්බන්ධ වූ කාන්තාව සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාවද අත්අඩංගුවට ගැනීමට එම පොලිස් නිලධාරින්ට හැකිවිය.
කනත්ත දේවගේ චමින්ද නමැති මෙම සැකකරු ඒ වනවිටත් තරුණියන් විවාහ කරගන්නා බවට රවටා කෝටි දෙකකට අධික මුදලක් වංචා කර තිබිණි. කසාද බැදීමට සූදානම්ව සිටින ඔබත් ප‍්‍රවේශම් වන්න. තවත් මෙවැනි වංචාකාරයෝ සමාජයේ ජීවත් වන බැවිණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සමන් ජයන්ත, සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උදය කුමාර, උප පොලිස් පරීක්‍ෂක අමිල පි‍්‍රයංකර අබේදීර, පොලිස් සැරයන් ගුරුසිංහ (33704, පොලිස් කොස්තාපල් සිරිවර්ධන (2758), විමලසිරි (74943), ගිහාන් (89399), කාන්තා පොලිස් කොස්තාපල් සරෝජනී (6921) සහ පොලිස් කොස්තාපල් රියදුරු මොහාන් (80895) යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

උපුටා ගැනීම – දිවයින පුවත්පත – ගයාන් සමරසිංහ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!