Gossip

“මගේ හිතේ එයා වෙනුවෙන් තිබුණ ආදරේ වෙනසක් නැහැ. ඒත් ඉතිං ඔරවන ගොරවන ගෑනියෙකුට මං රැවටුණා”

සීතල දරාගන්න අමාරු වුණාම මං සිමෙන්ති පොළොවේ ගුලි වෙනවා. ඇඟට පොරව ගන්න හරි හමන් රෙද්දක් නැහැ.
උදුවප් සීතල හිරගෙදර කම්බිකූරු වලින් ඇතුළට එනකොට මට මතක් වෙන්නේ මගෙ අම්මව. දෙසැම්බර් මාසේ සීතල මේ දැන් වින්දා වගේ මට මතක් වෙනවා.
අපි බොහෝම දුප්පත් මිනිස්සු. මගෙ අම්මා දැන් ජීවතුන් අතර නැහැ. පවුලේ හිටියේ නංගීයි මායි විතරයි. මේ කතාව ඇහුවා කියලා කාටවත් වැඩක් නැති වෙයි. ඒත් අවුරුදු ගානක් හිතේ තිබුණ දුක කියාගන්නවත් අවස්ථාවක් ලැබුණ එක හොඳයි.
“මම හිරේ ආවේ ස්ත්‍රී දුෂණ වරදකට. ඇත්තම කියන්නම් කෝ ජීවිතේ හංගන්න දෙයක් මට නැහැ.
මම ඒ වැරැද්ද කළා. ඒ වගේම එයා මට කැමැත්තෙන් හිටියා. නමුත් හැමදේම නැති වෙලා යනකොට මට එයාත් නැති වෙලා ගියා.
මං කරපු වරදේ බරපතලකම මට දැන් තේරෙනවා. මගේ හිතේ එයා වෙනුවෙන් තිබුණ ආදරේ වෙනසක් නැහැ. ඒත් ඉතිං ඔරවන ගොරවන ගෑනියෙකුට මං රැවටුණා. සුන්දර මුහුණට මුවා වෙලා තියෙන නපුරු හිත් තේරුම් ගන්න බැහැනේ.”
ඔහු කියන්නට වුයේය.
ඔහුගේ පෙනුම දැන් වියපත්ය. නමුදු ඔහු සමාජය ගැන මෙන්ම පොත පත කියවීමෙන් අත්දැකීම් ලැබුවකු බව නම් ඔහුගේ කතාවෙන් පැහැදිලි වේ. එවන් වූ මිනිසකු සිපිරි ගෙදරට කොටු වුයේ කෙසේද?
මම ඒ ගැන ඔහුගෙන් විමසීමි
“මම ඉස්කෝලේ ගියා. අපේ තාත්තා නැති වුණාට පස්සේ අම්මා බොහෝම අමාරුවෙන් තමයි අපිව හැදුවේ. නංගියි මමයි පවුලේ හිටියේ. තාත්තා කළේ ගොවිතැන්. ඒත් ඉතිං එයා මැරුණට පස්සේ කවුරුවත් නැති වුණා ඒවා කරන්න. අම්මා කඩයප්පන් හදන්න ගත්තා. මම තමයි ඒවා කඩවලට දැම්මේ.“
ඉස්කෝලේ ගමන අත්හැරිය ද?
“නැහැ මං ඉස්කෝලේ ගියා. තාත්තා නැති වෙනකොට මම සාමාන්‍යපෙළ විභාගය කරලා හිටියේ. නංගි සාමාන්‍ය පෙළ පන්තියට පාස් වුණා විතරයි. අම්මා අපිට කිව්වේ මොන ප්‍රශ්න ආවත් ඉගෙන ගන්න ඕන කියලා. කඩයප්පන් හදනවට අමතරව අම්මා අහළ පහළ ගෙවල් වලට උයන්න වැඩට ගියා.”

ලැජ්ජා හිතුනේ නැත්ද අම්මා එහෙම යනවාට?
“ලැජ්ජාවක් නම් දැනුණේ නැහැ. නමුත් අම්මා ගැන පුදුම තරම් දුකක් දැනුණා. නැති බැරි කම කියන්නේ ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයිනේ. අම්මා ගෙවල්වල වැඩ කරලා හම්බ කරන සල්ලි වලින් තමයි නංගියි මමයි ඉගෙන ගත්තේ. අපි හුඟාක් දුක් වින්දා. ඒත් අපි හොඳ ගමනක් ආවා.”

කොහොමද හොඳ ගමනක් ආවා කියන්නේ. ඔයා දැන් ඉන්නේ හිර ගෙදරනේ?
“ඒක හරි. මං ඉගෙන ගෙන කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් කෙරුවා. නංගි විශ්ව විද්‍යාලයේ ගියා. එයා බැන්දේ විදේශීය කෙනෙක්ව. විවාහ වුණාට පස්සේ නංගි රට ගියා.”

එතකොට අම්මා?
“අම්මා දැන් ජිවතුන් අතර නැහැ. මට මේ හැමදේම වුණේ අම්මා නැති වුණාට පස්සේ.
නංගි ලංකාවෙන් යන්න ඉස්සෙල්ලා මට කිව්වා විවාහ වෙන්න කියලා. එයා මට මනමාලියෝ කිහිපදෙනෙක්ම හොයලා දුන්නා. ඒත් මං ඒවාට කැමැති වුණේ නැහැ. ඊට පස්සේ නංගි යන්න ගියා.”
“මම පුද්ගලික ආයතනයක වැඩ කළේ. මම ගමේ ඉඩම් විකුණලා කොළඹ ආවා. නැයෝ කැමති වුණේ නැහැ ගේ විකුණනවට ඒ වුණාට අපිට නැති කාලේ කවුරුවත් අපි වෙනුවෙන් හිටියේ නැහැ. මම මොකටද නැයෝ ගැන හිතන්නේ. මම කොළඹ ආවේ ටිකක් එපිටින් ගෙයක් ගන්න හිතාගෙන.”

ගෙයක් ගත්තද?
“ඔව් පොඩි ඉඩමක් අරගෙන ගෙයක් හදන්න පටන් ගත්තා. ඒක වෙන්දේසි ඉඩමක්. මං තනිකඩයා නිසා කවුරුත් මට උදව් කරන්න ගත්තා. මේ වෙනකොට මට අවුරුදු 35ක් විතර ඇති. මං ලස්සන පුංචි ගෙයක් හැදුවා. අපේ ගෙවල් වලට එහායින් තිබුණේ ගම ගමේ මිනිස්සු හරි දුප්පත්. මට මතක් වුණේ අපේ පුංචි කාලේ මං ඒ එක ගෙදරකින් තමයි කෑම ගත්තේ. ඒ ගෙදර හිටියා තරුණ ගෑනු ළමයෙක්. එයාගේ නංගිලා දෙන්නයි. අම්මා විතරයි හිටියේ. තාත්තා වෙන විවාහයක් කරගෙන. මං රෑට කෑම ගත්තේ ඒ ගෙදරින්. ටික දවසක් යද්දි අර තරුණ ළමයා ගැන මගේ හිතේ ආදරයක් ඇති වුණා. මං ඒ අම්මගෙන් කෙළින්ම ඒ ගැන ඇහුවා. ඒ අම්මා මං ගැන දැනගෙන හිටියේ. ඒත් අම්මා මට එකවර උත්තරයක් දුන්නේ නැහැ.”

ගෑනු ළමයා කැමති වුණාද?
“ගෑනු ළමයා මා එක්ක හොඳට කතා බහ කළා. මං හිතුවා ඒ කෙල්ල මට කැමතියි කියලා. කාලයක් ගෙවිලා ගියා. මං ඒ පවුලට ගන්න පඩියෙන් භාගයක්ම වියදම් කළා. කෙල්ල හැම වෙලාවෙම මා ළඟ දැවටි දැවටි හිටියා. ඒත් කොයි මොහොතකවත් මා එක්ක කොහෙවත් යන්න ආවේ නැහැ.”

හිතුනේ නැද්ද කරන්නේ මෝඩ වැඩක් කියලා?
“මට එහෙම හිතුණා. හිතෙන කොට ප්‍රමාද වැඩියි. මං දවසක් සෙනසුරාදාවක මේ කෙල්ලව බලන්න ගියා. ඒ වෙනකොට මං එයාට මාලයකුත් අරන් දීලා තිබුණේ. ඒත් මට ටික දවසක ඉඳලා තේරුණා අම්මයි දුවයි මාව මඟ අරින බව. මං ඒ ගෙදරට යනකොට ගේ ඉස්සරහ කාර් එකක් නතර කරලා තිබුණා. මං ආපහු හැරිලා ආවා. ගමේ කෙනෙක් මට මගදි හමුවුණා “මහත්තයට බිංදුව නේද?”ඒ මනුස්සයා මට කිව්වා. මං විස්තරේ ඇහුවා. ඔන්න මාලිනිගේ දුව බලන්න අලුත් මනමාලයෙක් එනවා. හොඳ සල්ලිකාරයෙක් ලු.”
ඒ මනුස්සයා එහෙම කියලා ගියා. මට එදා නින්ද ගියේ නැහැ. පහුවදා ඉරිදා. ඉරිදාට හැමදාම තුන්වේලටම මම කෑවේ අර ගෙදරින්. එදත් මට කෑම අරගෙන ආවේ බාල ගෑනු ළමයා.
“මං ඇහුවා අක්කා කෝ කියලා.”
“ගෙදර” පොඩි කෙල්ල කිව්වා.
“අම්මා.”
“අම්මා පොළේ ගියා.”
පොඩි කෙල්ල එහෙම කිව්වට පස්සේ මං ඒ ගෙදර ගියා. මට ඕන වුණේ කෙල්ලව තනියම හමුවෙලා ප්‍රශ්නය විසඳගන්න. ඒත් ඒ හැම දෙයක්ම දුර දිග ගියා. මගේ අතින් කෙල්ලට කරදරයක් වුණා. කෙල්ල හැමදාම මට පෙන්නුවේ මට ආදරෙයි කියලා. එත් එයා අපි අතර බහින් බස් වීමක් ඇති වුණා. ඇත්තම කිව්වොත් මම වියරු වැටුණා. මං කෙල්ලට අමානුෂික විදිහට සැලකුවේ. කෙල්ලගෙ අම්මා ආවේ මං ඒ ගෙදර ඉන්න කොට. ගමේ හැමෝම ආවා. මට පැනලා යන්න බැරි වුණා. අන්තිමට මට හිරේ යන්න වුණා.”

එතකොට ගෙදරට මොකද වුණේ.?
“මං නංගීට කිව්වා ලංකාවට එන්න කියලා. එයා ආවහම මං කිව්වා එයාගේ නමට ගේ ඉඩම ලියා ගන්න කියලා. ඒත් නංගි කැමති වුණේ නැහැ. පස්සේ මං ඉඩමයි ගේයි විකුණුවා. නංගි ලංකාවෙන් යන්න කලින් ඒ වැඩේ කළා. මං ඒ මුදල් කොටසක් නැති බැරි පවුලකට දුන්නා. ඉතිරි එක නංගිට තියාගන්න කිව්වා. ඇත්තම කිව්වොත් මට දැන් ජීවිතේ ආශාවක් බලාපොරොත්තුවක් නෑ.”
නිදහස් වුණ දවසට කොහේද යන්නේ?
“මම යනවා ආරණ්‍ය සේනාසනයකට. දැන් මගේ හිත සන්සුන්.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!