යාල වනෝද්‍යානයේ නැඟෙනහිර මායිමේ පට්ටනංගල්ලට නොදුරු මුහුදු වෙරළේ තඹ වැල්ල පාගමින් ඇවිද යන එක්තරා මිනිසෙකි. එය පාළු නිස්කලංක වෙරළ තීරයකි.
ඔහුගේ දකුණු අත පැත්තෙන් දක්‍ෂිණ ධ්‍රැවය දක්වාම විහිද යන ඉන්දීය මහ සයුරය.
වම් අත පැත්තේ ලොව දස දෙසින් පැමිණෙන කුරුල්ලන්ගේ කූජනයෙන් පිරුණු යාල වනෝද්‍යානයයි. තම්බපණ්ණි වැල්ල පාගමින් සැහැල්ලුවෙන් පාද තබන මිනිසාට ඇවැසි නම් ලංකාව තමා පමණක් හුදෙකලාව ජීවත් වන කුඩා දූපතකැයි සිතාගත හැකිය.
ඔහු නිරුවත් දෙපා වැල්ලෙ තබමින් ඉදිරියට ගියද එකම පා සලකුණක් හෝ ඉතිරි වන්නේ නැත.
දිය රැල්ල එය මොහොතකින් මකාලයි. හෙතෙම ආරෝහ පරිණාහ දේහධාරියකු නොවේ.
කුඩා මිනිසෙකි. මුහුදු සුළං රැල්ලේ පහස විඳින්නට ගිජු බව මුහුණෙන් පෙනේ. ඔහු ඇඳගෙන සිටින්නේ කොට කලිසමකි.
ඔහු උදෑසනම මුහුදේ දියනාන්නට ඇත. ස්නානයෙන් අනතුරුව දිය පිස දමාගත් තුවායද පොරවා ගෙන උදෑසන ළහිරු රැස් කිරණට පපුව අල්ලා ඔහු ඇවිද යමින් සිටී.
වෙලාව පෙරවරු 7.00 කාණිසම පසුකර තිබෙන්නට ඇත. මා එය අනුමාන කළේ නැඟෙනහිරින් පායා ඇති හිරුගේ දිගු සෙවණැල්ල වැල්ලේ සටහන් කර තිබෙනු පැහැදිලිවම පෙනෙන බැවිනි.
ෂර්ලොක් හොල්ම්ස්ට අනුව යමින් නිරීක්ෂණය කළ විට පැහැදිලි වනුයේ ලුණු වතුර නෑමෙන් ඔහුගේ හිස කෙස් ගනවී ඇති අයුරුය.
ඍජුව නැඟුණු කෙස් රොද පවනේ සැලෙන්නේ නැති බව පෙනේ. ස්නානයෙන් පසු ජලය පිස දැමූ බැවින් තුවායේ තෙත් පැල්ලම්ද කැමරාවට හසුවී ඇත.
දණහිසෙහි පෙනෙන සුව වූ තුවාලවල සලකුණු මේ තැනැත්තාගේ දඟකාර ළමා කාලය ඉඟි දක්වයි.
ඔහු වන තීරයත් මුහුදත් අතර වෙරළේ ඇවිද යයි. ප්‍රෙඩී සිල්වා, පුෂ්පරාණි ආරියරත්න සමඟ සුහද සොහොයුරෝ චිත්‍රපටයට ගැසූ මනරම් ගීතය ඔහුට සිහිවනු ඇත.
“දිය රැල්ල වෙරළෙ හැපි හැපි මේ මොකද හාදු දෙන්නේ” යැයි එම ගීතයේ ගායකයා අසයි.
“සැනසිල්ල ළඟම පෙනි පෙනී ඔබ ඇයිද සෝක වන්නේ”යැයි පිළිතුරු වශයෙන් ගායිකාව ප්‍රශ්නයක්ම දමන්නීය.
කරුණාරත්න අබේසේකරයන්ගේ ගීපද මුමුනමින් ඔහු වැල්ලේ ඇවිද ගියා වන්නටද පුළුවනි.
එය එසේ නොවන්නටත් ඇත. කෙසේ වුවද මේ තැනැත්තා ඔබ මේ වන විටත් හැඳින සිටිනවා විය හැකිය.
ඔහු එවකට ලංකාවේ පළමු පුරවැසියාය. මෙරට දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන්ය. සැනසිලි සුවය රජුට වුවත් දුගියාට වුවත් මිල කළ නොහැකි අගනා සම්පතකි. යුද්ධ මෙහෙයවා මහා අධිරාජ්‍යයන් දිනාගත හැකිය. එහෙත් සැනසිල්ල එසේ ලබා ගත නොහැකිය.
එය මිල ගෙවා ලබාගත හැක්කක් නොවේ. මුහුණේ සැනසිල්ල සටහන් වුවද ඇතැම් විට හිත යට මහා කුණාටුවක් හමනවා වන්නටද ඉඩ තිබේ.
එය දන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයා සහ දෙවියන් පමණි.