Gossip

“සහනයක් නැතිනම් මට සිද්ධ වෙන්නේ ජීවිතයෙන් සමුගන්න” – ජගත් චමිල

ජගත් චමිල කියන්නේ අතිදක්ෂ රංගන ශිල්පියෙක්.
අවස්ථා ගණනාවකදීම ඔහු ඒ බව ඔප්පු කර තිබෙනවා.
ඉතිං රසික හදවත් සිය හැකියාවෙන් වසඟ කරගත් ජගත් චමිල ඔහුගේ විස්තර ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ඔබ මේ දවස්වල අලුත් වැඩ කටයුත්තකට සූදානම් වෙනවා කියලා ආරංචියි.?
ඔව්. ජයසේන ජයකොඩි මහත්මයාගේ අස්වැන්න නවකතාව ටෙලි වෘතාන්තයක් බවට පත් කරන්න සූදානමින් ඉන්නවා සැම්සන් කුමාරගේ මහත්මයා.
ඒ නාට්‍ය වෙනුවෙන් පසුගිය දෙසැම්බර් මාසේ ඉඳන් මටත් ස්වරූපමය වශයෙනුත් යම් සූදානම් වීමක් වෙන්න වුණා.
රැවුල එහෙම ඒ වෙනුවෙන් වැව්වා. ශාරීරිකව සෑහෙන්න වෙනසක් කරන්න සිද්ධ වුණා බුන්ජප්පු කියන චරිතය වෙනුවෙන්.

එය රැල්ලේ යන නාට්‍යයක් නෙමෙයි නේද?
මේ නාට්‍ය දැන් කෙරෙන ක්‍රමවේදයට අනුව සිද්ධ වෙන එකක් නෙමෙයි. කල් ඇතුව දැනුම් දීලා මට ඒ වෙනුවෙන් මුදල් වෙන් කරලා මේ වැඩේට මාව සම්බන්ධ කර ගත්තා. අස්වැන්න නවකතාව පොතක් හැටියට අපි දැකලා තියෙනවා. දැන් ඒකට අනුගාමීව ලියැවුණ මේ පිටපත කියවමින් ඉන්නවා. මේ චරිතය වෙනුවෙන් සාධාරණයක් කරන්න අවශ්‍ය සාකච්ඡා මේ දවස්වල පවත්වනවා.

නිර්මාණ කරනවා, නිර්මාණ වෙනුවෙන් කැප වෙනවා. නමුත් ඇතැම් හොඳ නිර්මාණ සමාජගත කිරීමේදී කුඩම්මාගේ සැලකිලි ලැබෙන කාලයක තමයි ඔබට රංගන ශිල්පියෙක් ලෙස නිර්මාණවලට දායක වීමට සිදුවී තිබෙන්නේ. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
ඔය ගැටලුව යල් පැනගිය දෙයක්. ක්‍රමවේදය එහෙමමයි. පෘථග්ජන පුද්ගලයෝ හැටියට අපිට මේ සිස්ටම් එකේ ඉස්සරහට යන්න වෙනවා.
ඒ වගේ කාල වකවානුවක ඒකත් එක්ක යනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ. මම කියන්නේ නිශ්ශබ්දව ඒ රැල්ලේ එල්ලිලා යා යුතුයි කියන එක නෙමෙයි.
ඊට වඩා යම් ප්‍රතිවිරෝධයක් තිබිය යුතුයි. කලාව ඇතුළේ ඔළුව පාවිච්චි කරන හැම කෙනෙක්ම ඒ ප්‍රතිවිරෝධය තුළ ඉන්නවා. හැබැයි පවතින ප්‍රවාහයට මහා දැවැන්ත විදියට ප්‍රතිවිරෝධයක් දක්වන්න පුළුවන් තරම් තත්ත්වයන් මේ ක්‍රමවේදය ඇතුළේ හැදිලා නැහැ.

ඒ කියන්නේ ඔබටත් මේ යන රැල්ලට ප්‍රතිවිරෝධය දක්වන්න අපහසුයි කියන එකද?
අදටත් මට සමහර දේවල් එක්ක එකඟ වෙලා වැඩ කරන්න වෙලා තියෙනවා.
අකැමැති දේවල් ප්‍රතික්‍ෂේප කරන එක මගේ ප්‍රතිවිරෝධය වුණාට මට පුළුවන්ද ඒවා ප්‍රතික්‍ෂේප කරලා ඉන්න.
ඒවා ප්‍රතික්‍ෂේප කරන්න පුළුවන් ක්‍රමවේදයක් ඇතුළෙද මම ජීවත් වෙන්නේ. එහෙම ප්‍රතිවිරෝධය දක්වන්න තත්ත්වයක් අපිට නැහැ. අපිට යන්න පුළුවන් දේවල් එක්ක අපි ගනුදෙනු කළ යුතුයි.

නිර්මාණවලට සම්බන්ධ වෙද්දී ඔබට තෝරා ගැනීම් වාරණ තියෙනවද?
නැහැ. එහෙම තිබුණා නම් හොඳයි. තමන්ට තෝරා ගැනීමක් තිබෙන සමාජ තත්ත්වයක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එහෙම තෝරා ගැනීමක් කරන්න බැරි ඛේදවාචකයට තමයි අපි අහුවෙලා ඉන්නේ.
හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන් අපිට යම් යම් තීරණ ගන්න පුළුවන්. මම ජීවත් වෙන්නේ රඟපාලා.
ඒ තුළ කරන්න පුළුවන් උපරිම කැප කිරීම මම කරනවා. පසුගිය කාලේ මට කතා කරපු සමහර නිර්මාණවලට මම සම්බන්ධ වුණේ නැහැ. ආත්මය කියන දේ කොයි තරම් දුරට විනාශ කර ගන්න ඕනෑද කියලා මම හිතනවා.

වෘත්තීයමය නළුවෙක් නිසාද තෝරා ගැනීම් කළ නොහැකි?
මම තනිකඩයෙක් නෙමෙයි. මට බිරියක්, දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම ඔවුන්ව ජීවත් කරවන්න ඕන. ඒ වගකීම් ඉෂ්ට කරගෙන තෝරා බේරා ගැනීම් කරන්නත් මට මාර විදිහට නිර්මාණ ලැබෙන්නේ නැහැ.
එහෙම නිර්මාණ බිහිවෙන්නෙත් නැහැ. එහෙම සිද්ධ වෙන රටක නම් තෝරා බේරාගෙන වැඩ කරන්න පුළුවන්.

සමහරු කියනවා ඔබ සම්බන්ධ වුණ ඇතැම් නිර්මාණ ඔබේ හැකියාවට ඔබේ හැඩයට ගැළපෙන්නේ නැති නිර්මාණ කියලා. ඒ වගේ නිර්මාණවලට සම්බන්ධ නොවී සිටියා නම් හොඳයි කියලා කියන පිරිසක් ඉන්නවා. ඔබටත් එහෙම හිතෙනවද?

ඔව්. මම නිර්මාණවලට දායක වෙන්නේ රංගනයෙන්. මම කොහොමද ඒවා ප්‍රතික්‍ෂේප කරන්නේ.
මේ දවස්වල නාළිකාවක විකාශය වෙන වැඩසටහනක වැඩ කරලා තමයි මම ජීවත් වෙන්නේ.
මට ඒක ප්‍රතික්‍ෂේප කරගන්න බැහැ. හැබැයි මම පුළුවන් තරම් දුරට උත්සාහ ගන්නවා යමක් කරන්න. කතාවක් තියෙනවානේ බූරු ගැහුවත් එකයි, බුරු ගහනවා බලන් හිටියත් එකයි කියලා. ඒ කතාවට මම එකඟයි. මගේ කොටස හොඳින් කරලා ගෙදර එනවනේ කියලා මට කියන්න බෑ.
නමුත් මට දැන් එහෙම කියන්න වෙනවා.එහෙමවත් සහනයන් නැතිනම් මට සිද්ධ වෙන්නේ ජීවිතයෙන් සමුගන්න. දැන් අපි මුහුණ දෙන යථාර්ථයේදී බොහෝම අත්දැකීම් මම ලබලා තියෙනවා. සමහර දේවල් මාධ්‍යයක් ඉදිරියේ ප්‍රකාශ කරන්න බැහැ.
මම හිතට එකඟ නැති, ප්‍රේක්ෂකයන් එකඟ නැති නිර්මාණවලට දායක වෙලා වැඩ කරද්දී සමහර ප්‍රේක්ෂකයන්ගෙන් මට සජීවීව ලැබෙන ප්‍රතිචාරවලින් දරා ගන්න බැරි තරම් වේදනාවක් ඇති වෙනවා.
හැබැයි එයාලම මට කියනවා ඔයාටත් පවුල් ජීවිතයක් තියෙනවා නේද කියලා. මේ කිසිම කාරණයක් ගැන අපිට තනියම වගකියන්න බෑ.

ඔබේ පරපුරේ මෙගා නාට්‍යවලට විරුද්ධ පිරිසක් හිටියා. නමුත් ඒ අයත් දැන් මෙගා නාට්‍යවල රඟපානවා. ඔබට මෙගා නාට්‍ය ගැන විරෝධයක් නැද්ද?
මම මෙගා නාට්‍යවලට විරුද්ධයි. හැබැයි මම ඒ ක්‍රමවේදය සනාථ කරලා නැහැ. ඒ සම්බන්ධව හැමදාම මට විරෝධයක් තිබුණා. මගේ අගය කරන නිර්මාණවලට පණ දෙන්න මට අවස්ථාව ලැබුණේ මෙගාවල මම වැඩ කරපු නිසා.
මගේ හැකියාව කුසලතාව මේ සමාජය දැක්කේ සමාජය විසින්ම ප්‍රතික්‍ෂේප කරන මෙගා නාට්‍යවල රඟපාලා ගත්ත සල්ලි නිසා.
මේක ප්‍රතික්‍ෂේප කරලා නැති වෙන්න එපා කියලා මම කිව්වේ. මේ ගමන යන ගමන් හැබැයි මේක ස්ථාපිත නොකර ඉමු කියලා මම අනෙක් අයටත් කිව්වේ.

හැබැයි ඒ වගේ නිර්මාණවලට සම්බන්ධ වීම සහ එවැනි නිර්මාණ තව තවත් බිහිවීම තුළ වෙන්නෙ එවැනි නිර්මාණ ස්ථාපිත වීම නේද?
එවැනි නිර්මාණ දිගටම හැදෙනවා. හැබැයි මම මේවට සම්බන්ධ වෙන්නේ නෑ කියලා ගෙදරට වෙලා ඉන්න බැහැ. මේ සියල්ල පාලනය කිරීම රදා පවතින්නේ රජය මත.

මොනවද ඉදිරි වැඩ කටයුතු?
චිත්‍රපට දෙකක වැඩ කටයුතු කරන්න නියමිතව තියෙනවා. සංඝදාසගේ චූටි කලිසම සහ මාරක ළිදේ සවාරියක් නාට්‍යයත් වේදිකාගත වෙනවා.
ආරියවංශ දම්මගේ අධ්‍යක්‍ෂණය කරන පෞද්ගලිකයි රහසිගතයි නාට්‍යයේ දර්ශන වාර මේ වර්ෂයේ පවත්වන්නත් කටයුතු සූදානම් කරමින් ඉන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!