Gossip News

කොවිඩ් පරීක්ෂාවට රෝහලට යන්නේ පරිස්සමින් මෙන්න හේතුව

කොවිඩ්-19 වෛරසය ආසාදිත දැයි සිදු කෙරෙන පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල් වෙත යොමුවීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, එම පරීක්ෂණය කිරීම පෞද්ගලික රෝහල්වලට තහනම් කර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

අධ්‍යක්ෂවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (16 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විශේෂයෙන්ම ශක්තිමත් ආර්ථිකයක් ඇති පුද්ගලයන් පෞද්ගලික රෝහල්වලින් පරීක්ෂණ සිදුකර ඒ වාර්තා ධනාත්මක වුවත් රජයේ රෝහල් වෙත යොමු නොවී සිටීමෙන් නිවෙස්වලම සිටීම මගින් මුළුමහත් සමාජයම අනතුරේ හෙළන බව හෙතෙම කියා සිටියි. එමෙන්ම එම පුද්ගලයන් පිළිබඳ තොරතුරු ජාතික දත්ත පද්ධතියට එක් නොවීමද බරපතළ ගැටලුවක් බවද හෙතෙම පැවසීය.

මේ වන විට යුරෝපයේ රටවල් හතරක සංචාරය කළ මැණික් ව්‍යාපාරිකයකු මෙන්ම එංගලන්තයේ සිට පසුගිය 10 වැනිදා මෙරටට පැමිණි පුද්ගලයකුද පෞද්ගලික රෝහල්වලින් පරීක්ෂණ සිදුකර ඒවා ධනාත්මක වී තිබියදී වගකීමකින් තොරව හැසිරී ඇති බව ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේද පැවසීය.

තත්ත්වය බැරෑරුම් වෙමින් තිබියදී ජනතාව ඊට සහයෝගය ලබාදීම වැදගත්. යුරෝපයේ සංචාරය කර පැමිණි මැණික් ව්‍යාපාරිකයා ඊයේ (16 වැනිදා) කොවිඩ්-19 ආසාදනය වූ අයෙක් ලෙස හඳුනා ගත්තා. ඔහු පසුගිය 10 වැනිදා අයි.ඩී.එච්. රෝහලට ඇතුළු වූ එක් අයෙකුගේ ගමන් සගයා වෙලා තිබුණා. අපගේ කාර්ය මණ්ඩලය ඔහුව සොයාගෙන අයි.ඩී.එච්. රෝහලට ඇතුළුවන ලෙස ඔහුට උපදෙස් ලබා දුන්නා.

නමුත්, ඔහු පවුලේ වෛද්‍යවරයා වෙත යොමුවෙලා. ඒ වෛද්‍යවරයාත් උපදෙස් දීලා තියෙන්නේ. අයි.ඩී.එස්. රෝහලට ඇතුළුවීමට. නමුත් ඔහු බොරැල්ල ළය රෝහලට ගිහිල්ලා. එසේ පෞද්ගලික රෝහලකින් පරීක්ෂණ කරද්දී ඔහුට රෝගය වැලඳී ඇති බවට තහවුරු වෙලා. එතැනදී පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව පෞද්ගලික රෝහලෙන් ලබාදීමට දින තුනක් ගතවෙලා. මොහු දින තුනක් වගකීමක් නැතිව තැන් තැන්වල ඇවිද්දා. අන්තිමට මේකට බුද්ධි අංශත් මැදිහත් කරගන්න වුණා. ඔහුගේ භාර්යාව පවා දුරකථන ඇමතුම්වලදී නිලධාරීන් නොමග යැව්වා. අවසානයේදී ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් වෙලා. එතැනදී ඒ රෝහලේ අධ්‍යක්ෂවරයා ගිලන් රථයක නංවලා අයි.ඩී.එච්. රෝහලට යැව්වා.

මෙවැනි වගකීම් විරහිත හැසිරීම් අපි තවදුරටත් ඉවසන්නේ නෑ. අපි ඔහු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම කොවිඩ්-19 බවට හඳුනාගත් තව පුද්ගලයෙක් එංගලන්තයේ ඉඳලා පසුගිය 10 වැනිදා ලංකාවට ඇවිල්ලා. පසුව පෞද්ගලික රෝහලකින් පරීක්ෂණ සිදුකර කොවිඩ්-19 වැලඳී ඇති බවට තහවුරුව තිබියදීත් ඔහු නිවසට වෙලා ඉඳලා.

මේ හැසිරීම නිසා රටේ තත්ත්වය අපේ පාලනයට ගන්න බැරිවෙනවා. රජයේ රෝහල් පද්ධතිය දුප්පත්ද පෝසත්ද කියලා බලන්නේ නැතුව ප්‍රයෝජනයට ගන්න. ඒ වගේම පෞද්ගලික රෝහල්වල මේ පරීක්ෂණය වලංගු නෑ. මොකද මේක නව වෛරසයක්. අපිට ඒ පෞද්ගලික රෝහල් දැනුවත් කරලා අවශ්‍ය නම් සහය ලබා ගන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවක් ආවොත් අපි කියන්නම්.

පෞද්ගලික රෝහල්වල මේ පරීක්ෂණ සිදු කරන විදියට වඩා වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ කෙරෙන විධිය වෙනස්. අදාළ සෙම පටලය පවා එන්නේ විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව. ඒ වගේම වෛද්‍ය පර්‌යේෂණ ආයතනය හොංකොංවල සිටින මහාචාර්ය මලික් පීරිස් සමග සම්බන්ධ වෙනවා. ඒ නිසා මෙය සීමිත වශයෙන් සිදුකරන පරීක්ෂණයක් මිස විශාල වශයෙන් සිදුකරන පරීක්ෂණයක් නොවෙයි.

ඒ වගේම සැක කටයුතු රෝගීන් ඇතුළු කිරීමට රෝහල් දහඅටක් සූදානම් කර තිබෙනවා. ඒවායේ අදාළ අංශ වෙත පහසුකම් සම්පාදනය කරමින් පවතිනව. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට නිරෝධායන කට්ටල ලැබෙමින් පවතිනවා. කොරෝනා රෝගීන් සමග කටයුතු කරද්දී එක් රෝගියකු වෙනුවෙන් දිනකට ඇඳුම් කට්ටල් දහයක් අවශ්‍ය වෙනවා. අපි මේවා දෛනිකව ලබා ගන්නවා. ඒ වගේම මම දුම්බොන පුද්ගලයන්ට අනතුරු අඟවනවා. මේ වෙලාවෙදි ඔවුන් එය නතර කර පෙණහලු ආරක්ෂා කර ගැනීමත් ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීමටත් අවධානය යොමු කළ යුතුයි. මේ පාර අවුරුද්දට ඇඳුම් ගන්න ඉන්නව නම් ඒ පිළිබඳවත් බුද්ධිමත්ව සිතිය යුතුයි. ඇඳුම් ගැනීමෙන් වළකින්න කියන එකයි මම ජනතාවට දෙන උපදේශය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!