Gossip

“එය සිදුවූ මොහොතේ මමත් ඒ වේදිකාව පිටුපස හිටියා – එදා සිදුවූ කම්පනය අදටත් මට සිහියට එනවා” – කීර්ති පැස්කුවල්

පසුගිය පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අපට අහිමි වුණා. තවත් පිරිසක් තවමත් තුවාල ලබා ප්‍රතිකාර ලබනවා. මෙය අපේ රටේ ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් වගේම කලා ක්ෂේත්‍රයටත් බලපෑම් ඇතිවුණු සිදුවීමක්. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද මෙන්ම ජේසු තුමන්ගේ උත්ථානයේ සතුට සමරන ප්‍රීතිමත් දිනවල අපේ රටේ සෑම ජන කොටසක්ම සතුටින් සිටින නිසා සංගීත සන්දර්ශන වැනි දේ බහුලව පැවැත්වෙනවා. එහෙත් සිදුවුණු අවාසනාවන්ත තත්ත්වය හමුවේ සංගීත ක්ෂේත්‍රයට මෙය සෘජුව බලපා තිබෙනවා. මේ ගැන ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතා කිව්වේ මෙවන් කතාවක්.

පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම මෙවැනි ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් අප කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ. මේ ගැන මට තියෙන්නේ විශාල දුකක්, කම්පාවක් විතරයි. අප කවුරුත් දන්නවා 2009 වසර ශ්‍රී ලාංකිකයන් හැටියට අමතක නොවන වැදගත් වසරක්. ඒ දශක තුනකට ආසන්න කාලයක් පැවැති කුරිරු යුද්ධය අවසන් කරලා සියලු ජනතාවට නිදහසේ බියකින් සැකයකින් තොරව ජීවත් වීමට අපට හැකියාව ලැබුණා. රටේ සාමය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් පැන නැඟුණේ නෑ.

ආර්ථිකමය වශයෙන් රට තව දුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යෑමත්, තාක්ෂණික වශයෙන් ඉදිරියට යමින් දියුණු වූ ලෝකය තුළ අපේ නූතන පරපුර රටක් විදිහට සදාචාර සම්පන්න අයුරින් ඉදිරියට යන්නේ කොහොමද කියන අරමුණ පමණයි අපට තිබුණේ. ඒත් මේ ප්‍රහාරය නිසා රටක් වශයෙන් අප ආර්ථික, දේශපාලන සංස්කෘතික වශයෙන් පහතට වැටුණා කියලයි මට හැඟෙන්නේ. මෙවැනි ප්‍රහාරයක් මා කිසිසේත් අනුමත කරන්නේ නෑ. ඒ වගේම මෑත ඉතිහාසයේ මා දැකපු දරණුම ත්‍රස්ත ප්‍රහාරය මෙය කියලයි මා දකින්නේ.

මේ සිදුවීම ඔබට දැනුණේ කොහොමද?
මෙවැනි භයානක වේදනාකාරී සිදුවීම් මීට පෙර අපි දැක තිබෙනවා. අසා තිබෙනවා. මට මේ වෙලාවේ තවත් එවැනි සිදුවීමක් මතක් වෙනවා. ඒ තමයි 1994 වසරේ ගාමිණී දිසානායක මහතාට එදා දේශපාලන වේදිකාවෙදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය. එය සිදුවූ මොහොතේ මමත් ඒ වේදිකාව පිටුපස හිටියා. ඒදා සිදුවූ කම්පනය අදටත් මට සිහියට එනවා. ඒත් පසුගියදා එවැනි ත්‍රස්ත ප්‍රහාර අටක් එකම වෙලාවක ස්ථාන අටක සිදුවෙනවා. මා එවන විට හිටියේ සංගීත පන්තියක. ඇත්තටම මට මෙය තාමත් චිත්‍රපටක් වගේ. මට විශ්වාස කරන්නත් බැරි වුණා මේ අපේ රටේද කියලා.

ඔබ මේ දෙස බලන්නේ කොහොමද?
සිංහල, මුස්ලිම්, දමිළ කියන්නේ අපි හැමෝම එකම රටක පුරවැසියන්. මුස්ලිම් ජනතව සමග කිසිදු ගැටීමක් අපට නැහැ. ඒ වගේම මෙ සිදුවීම සඳහා ඇතැම් මුස්ලිම් අන්තවාදී පිරිසක් සම්බන්ධ වූවායැයි කියලා අපේ රටේ ඉන්න සියලු මුස්ලිම් ජනතාව ත්‍රස්ත්‍රවාදීන් වෙන්නේත් නෑ. අප ඔවුන් දෙස එහෙම බලනවා නම් එය වැරැදියි. මේ සිදුවීම හරහා වෙන්නේ අප ඔවුන් දිහා වපර ඇහෙන් බලන එකයි. ඒක ඇත්තටම වැරැදියි. මුස්ලිම් ආගමේ වුවත් මෙවැනි ක්‍රියා අනුමත කරන්නේ නෑ.

ඒ වගේම විශේෂයෙන් කියන්නට ඕන අප ඔවුන් සමග ඉතා සුහදව හිටපු පිරිසක්. මෙවැනි වාද භේද තිබිලා නෑ. මටත් හොඳ මුස්ලිම් මිතුරන් ඉඳලා තියෙනවා. විශිෂ්ට ගතිගුණ තියෙන හොඳ පිරිස් ඔවුන් අතර ඉන්නවා. අන්තවාදී කුඩා පිරිසක් සිදුකළ මේ ක්‍රියාව නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස වපර ඇසින් බලන එක වැරැදියි කියලයි මගේ අදහස.

මෙයින් කලා ක්ෂේත්‍රයට සිදුවූ බලපෑම ඔබ දකින්නේ කොහොමද?
මම නම් කියන්නේ මෙය හරහා සමස්ත කලා ක්ෂේත්‍රයම එහෙම් පිටින්ම කඩාවැටුණා කියලයි. උත්සව සමය කියන්නේ ප්‍රසංග වැඩිපුරම පැවැත්වෙන කාලයක්. සුපුරුදු විදිහට මෙවරද සියලුම ගායක ගායිකාවන්ට සාධාරණ විදිහට ප්‍රසංග බෙදිලා තිබුණා. මම ප්‍රසංග වේදිකාවට සහභාගී නොවුණත් මෙවර මට විදෙස් ප්‍රසංග දෙකක් සඳහා සහභාගී වීමට තිබුණත් මේ සිදුවීම හරහා ඒ ප්‍රසංග දෙකම අවලංගු වුණා. මේ සිදුවීම වුණෙත් අවුරුදු සමය වෙනුවෙන් දිවයින පුරා ප්‍රසංග පැවැත්වෙන කාලයකයි. ඒ වනවිට සංවිධානය කර තිබු සියලුම ප්‍රසංග ‍මෙ නිසා අවලංගු වුණා. කලාකරුවන් කියන්නේ ප්‍රසංග වේදිකාවේ ගීත ගයන ගායක ගායිකාවන් විතරක් නෙමෙයි.‍ කලාකරුවන් කියන්නේ ලොකු ව්‍යාපාරයක්. වේදිකා නිර්මාණ කරන අය, ශබ්ධ පරිපාලන කරන පිරිස, ප්‍රසංග සංවිධානය කරන පිරිස යන සියලුම දෙනාට මේ හරහා සෘජු බලපෑමක් ඇතිවෙනවා. ඔවුන්ගේ ජීවනෝපාය වෙන්නේ ප්‍රසංග වේදිකාව. ඔවුන්ගේ ජීවිතය වෙන්නේ කලාව. ඉතින් මේ සිදුවීමත් එක්ක මේ පිරිස එහෙම් පිටින්ම ඇදගෙන වැටුණා. දැන් කලාකරුවන් විදිහට අප ඉදිරියේ තවත් ප්‍රශ්නයක් තියෙනවා.

ඒ කුමක්ද?
අපි දන්නවා වැටුණු හැම මොහොතනම අපිට යළි නැගී සිටින්නට පුළුවන්. ඒත් රටේ මේ පවතින තත්ත්වය යළි කවදා සුබදායී තත්වයට පත්වේ යැයි නිශ්චිත අනාවැකි පළකරන්න අපට බෑ. මේ නිසා ඉදිරි කාලය සැලසුම් කරන්න බැහැ. මේ නිසා කලා කටයුතු වලට මේ හරහා ලොකු බලපෑමක් වෙලා තියෙනවා. දරුවකුට වගේම අපටත් පාරේ බැහැලා යන්න තවමත් බියක් තිබෙනවා. කලාකරුවන් හැටියට මෙ ගැන අපට මැසිවිලි නඟින්න බෑ. මේක රටෙම ප්‍රශ්නයක්. ජනතාව සතුටින් කියන්නේ කලාකරුවන් ගේ පැවැත්මයි. එය අපේත් සතුටයි. ඔවුන් දුකින් කියන්නේ අපිත් දුකින්. ඒ නිසා ඔවුන් සාමාන්‍ය තත්ත්වයට එනතුරු අප බලා සිටිනවා. ඒ සඳහා අප කලාකරුවන් ලෙස කළ හැකි සෑම දෙයක්ම කරන්න පසුබට වෙන්නේ නැහැ.

අවසන් වශයෙන් ඔබේ රසිකයන්ට යමක් කියන්නට ඇති?
සිවිල් වැසියන් හැටියට මේ මොහොතේ අප නීතිය අතට ගෙන ක්‍රියා නොකළ යුතුයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. එසේ නොවුණහොත් ‍මීට වඩා භයානක ව්‍යසනයකට අපට මුහුණ පාන්නට සිදුවෙනවා. රටේ ප්‍රධානීන් අදාළ බලධාරීන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින නිසා ජනතාව විදිහට අපේ ඉවසීම මේ අන්තවාදීන් මැඩලීමට ප්‍රබල ආයුධයක් වේවි. ඒ වගේම විශේෂයෙන් මා මේ මොහොතේ ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති හැටියට විපතට පත් ජනතාව වෙනුවෙන් අ‍පගේ කනගාටුව ප්‍රකාශ කරනවා. එදා වගේම අදත් අප ඔවුන් එක්ක ඉන්නවා කියන පණිවිඩයත් මේ මොහොතේ මම ලබා දෙනවා.

උපුටා ගැනීම – සිළුමිණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!