Gossip

ඔබ නොදත් පොලිස්පතිවරුන්ගේ කතාව මෙන්න – Photos

අපේ රටේ පැරණිතම දෙපාර්තමේන්තු කිහිපය අතර ඉහළින්ම ඇති ආයතනයක් වන්නේ පොලිසියයි.
වසර 152ක ඉතිහාසයකට මේ වන විට පොලිසිය උරුමකම් කියයි. මේ වසර 152ක කාලය තුළ පොලිසියට නායකත්වය දුන් පොලිස්පතිවරු පිරිස 34කි.
ඒ අය අතර කීර්තිමත් මෙන්ම අපකීර්තිමත්ම පොලිස්පතිවරුන්ද නැතුවාම නොවේ.
ඒ අයගෙන් කීර්තිය සහ අපකීර්තිය යන දෙකටම උරුමකම් කී එකම පොලිස්පතිවරයා වන්නේ පූජිත් ජයසුන්දරය. අපේ රටේ 34 වැනි පොලිස්පතිවරයා වන්නේද ඔහුය.
33 වැනි පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටියේ එන්.කේ. ඉලංගකෝන්ය.
ඔහු වයස අවුරුදු 60 සපිරීමත් සමඟ 2016 වසරේ අප්‍රේල් 11 වැනි දා පොලිස්පතිධුරයට සමුදෙන විට 34 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වීමට ඉහළින්ම සුදුසුකම් ලබා සිටියේ එස්.එම්.වික්‍රමසිංහ සහ පූජිත් ජයසුන්දර ය.
මේ දෙදෙනාම ආධුනික සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පොලිසියට 1985 වසරේ මැයි 20 වැනි දා එක් වන්නේ එකටය.
එහෙත් පසු කාලයේ පූජිත් අබිබවා වික්‍රමසිංහ ඉදිරියට ආවේය. ඒ අනුව ඉලංගකොන් මහතා විශ්‍රාම ගන්නා විට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටියේ වික්‍රමසිංහය.
ඉලංගකෝන් සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කරන්නේද වික්‍රමසිංහයන්ය. ඒ, ඔහුට මේ දෙදෙනා ගැනම හොඳ අවබෝධයක් තිබුණු නිසාය.
ඉලංගකෝන් පොලිස්පතිවරයා වී සිටියදී රටින් බැහැර ගොස් සිටියදීත් අසනීප වී සිටියදීත් පොලිස්පතිධුරයේ වැඩ බැලුවේ වික්‍රමසිංහය. එහෙත් වික්‍රමසිංහ , පූජිත් මෙන් රටේ ජනප්‍රිය චරිතයක් නොවීය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පොලිස්පතිධුරයට යෝජනා වන්නේ එස්.එම්. වික්‍රමසිංහය.
ඒ ජ්‍යෙෂ්ඨත්වය අනුවය. එහෙත් බහුතරයකගේ වැඩි මනාපය හිමි වූයේ පූජිත්ටය. ඒ අතර මැදිහත් පාර්ශ්වයන්ගේ යෝජනාව වූයේ මේ දෙදෙනාටම නොදී පොලිස්පතිධුරය සී.ඩී.වික්‍රමරත්නට ලබාදෙන ලෙසය.
ඒ වන විට ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන් වැනි තැනේ සිටියේ ඔහුය. බොහෝ අය සී.ඩී.වික්‍රමරත්න පොලිස්පතිධුරයට පත් කරන්නට කැමැත්තෙන් පසුවූවත් ඊට බලපාන්නේ වයසය.
ඒ ඔහු වයස අවුරුදු 60න් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින්නේ 2023 වසරේ බැවින් වසර 07ක් පොලිස්පතිධුරයේ ඔහු තැබීමට ඇතැම් දේශපාලනඥයන් අදිමදි කරන්නට වූ බැවිනි.
එස්.එම්.වික්‍රමසිංහ වයස අවුරුදු 60 සම්පූර්ණව විශ්‍රාම ගැනීමට නියමිතව සිටියේ 2019 වසරේ අප්‍රේල් 22 දාය. පූජිත් ජයසුන්දර වයස අවුරුදු 60 සම්පූර්ණ වීමට නියමිත 2020 මාර්තු 14 වැනිදාය. එදා පූජිත් ජයසුන්දර නම්‍යශීලී වෙමින් සිය සගයා වූ වික්‍රමසිංහට පොලිස්පතිධුරය දරන්නට අවස්ථාව හිමි වූයේ නම් පූජිත් 35 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වන්නේ ඉකුත් 23 වැනිදාය. එසේ නම් මේ තරම් අපවාද සහ චෝදනා පූජිත්ට එල්ල වන්නේ නැත. එහෙත් අද වී ඇත්තේ කුමක්ද?
පූජිත්ට එල්ල වී ඇති චෝදනාව සුළුපටු නොවේ. රටේ ආරක්ෂාව අනතුරේ දැමීමකි. ඔහු රට අනතුරේ දමන්නේ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් ගැන කල්තියා බුද්ධි අංශ ලබාදුන් තොරතුරු නොසලකා හැරීමක් හේතුවෙනි. ඔහු එසේ බුද්ධි අංශ වාර්තාවක් නොසලකා හරින්නේ “බුද්ධිමය තොරතුරු මත පදනම් වූ වෘත්තීමය පොලිසියක්“ යන ඔහුගේම තේමා පාඨයද අමතක කරමිනි.
පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය.
ඒ ඉකුත් 29 වැනිදාය. එකී අනිවාර්ය නිවාඩු යැවීමේ ලිපිය ඔහු අතට පත් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු විසින් පොලිස් මූලස්ථානයටම පැමිණය.
එම ලිපිය පූජිත්ගේ අතට ලැබෙන විට පොලිස්පතිධුරයේ වැඩ බැලීමට ජනාධිපතිවරයා පත් කරන්නේ පොලිසියේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨතමයා වන සී.ඩී. වික්‍රමරත්නය.
පූජිත් ජයසුන්දර එසේ අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා පියවර ගන්නේ ඔහුට ඉල්ලා අස් වීමට අවස්ථාවක්ද ලබාදෙමිනි. ජනාධිපතිවරයා සිය ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටද ඒත් එක්කම ඉල්ලා අස් වන ලෙස දැනුම් දී තිබිණි. ඒ අනුව ඔහු ඉල්ලා අස් වූවත් පූජිත් ඉල්ලා අස් නොවීය.
පූජිත් තර්ක කරන්නට වූයේ ඉල්ලා අස් වීමට තරම් තමන් අත වැරැද්දක් නැති බවය. ජනාධිපතිවරයා පූජිත් අනිවාර්ය නිවාඩු යවන්නේ එවන් පසුබිමකය.
පූජිත්ට එසේ පොලිස්පති ධුරයෙන් ඉවත් වෙන්නැයි දැනුම් දී තිබුණේ වරක් දෙවරක් නොව. පොලිස්පතිධුරයට ඔහු පත්වූ ගෙවීගිය තෙවසරක කාලය තුළ අවස්ථා කිහිපයකදීම පොලිස්පතිධුරයෙන් ඔහුට ඉල්ලා අස් වෙන්නැයි දැනුම් දී තිබිණි.
පළමුව එම දැනුම් දීම සිදු වන්නේ ඔහු පොලිස්පතිධුරයට පත් වී වසරක් ගෙවී ගිය තැනය.
ඒ ඔහුගේ හැසිරීම පොලිස්පතිධුරයට නොගැළපෙන බවට පොලිසියෙන්ම විරෝධයක් එල්ල වන්නට වූ බැවිනි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පොලිස්පතිධුරය ශත්තිමත් ධුරයක් බවට පත් කර තිබුණු බැවින් එම ධුරයට නිලධාරියෙකු පත් කරන තරම් පහසුවෙන් ඉවත් කරන්නට හැකියාවක් නැත. ඊට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකක යෝජනාවක් සම්මත විය යුතුය.
එම තනතුරේ සිටින නිලධාරියා ඉවත් කිරීමට හේතු වන කරුණු ගැන විමර්ශනය සඳහා තේරීම්කාරක සභාවක්ද පත් කළ යුතුය.
එම තේරීම්කාරක සභා වාර්තාවෙන් ඔහු වැරදිකරුවෙකු වන්නේ නම් පාර්ලිමේන්තුවට එම වාර්තාව ඉදිරිපත් කර සරල බහුතරයකින් එය සම්මත කළ යුතුය.
එසේ නැතිව එම ධුරයේ රැඳී සිටින නිලධාරියා විශ්‍රාම ගන්නා තුරු ඉවත් කිරීම පහසු නැත. පූජිත් ජයසුන්දර හැසිරුණේ ඒ බව දැනගෙනය.
වසර 152ක පොලිස් ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන ආකාරයට අනුව අර්බුදයන්ට ලක් වන පළමු පොලිස්පති වන්නේ පූජිත් පමණක් නොවේ.
1866 වසරේදී මෙරට පළමු පොලිස්පතිවරයා ලෙස පත්වූ ශ්‍රීමත් ජී.ඩබ්ලිව්. ආර්.කැම්බල් මහතාගේ පටන් මෙතෙක් පොලිස්පතිධුරය දැරූ පොලිස්පතිවරු බොහො දෙනා විවිධ අර්බුදවලට ලක් වූහ.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කරන ආකාරයට ඉතිහාසයේ පළමු වරට මෙරට පොලිස්පතිවරයෙකුට සිය පොලිස්පතිධුරය අතහැර යන්නට සිදු වන්නේ 1937 දීය. ඒ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම කාලයක් පොලිස්පතිධුරය හෙබවන ලද සුදු ජාතිකයෙකු වන එච්.එල්.ඩවුබිං ය. 1913 සිට 1937 දක්වා වසර 24ක් පොලිස්පතිධුරය දැරූ ඔහුට පොලිස්පතිධුරය අතහැර මෙරටින්ද යන්නට සිදු වන්නේ වෙස්ක්‍රේටිව් සිද්ධිය මුල් කරගෙනය.
“ වෙස්ක්‍රේටිව් කියන ඕස්ට්‍රේලියා ජාතිකයෙකු මඩොල්කැලේ වතුයායේ වතු අධිකාරීවරයා ලෙස පත් වුණේ ඩවුබිංගේ කාලයේදී.
සුදු පාලනය හිතුවේ නැහැ මෙම වතු අධිකාරීවරයා පොඩි මිනිස්සුන්ගේ පැත්ත ගනීවි කියල. ලංකා සම සමාජ පක්ෂයත් එක්ක මෙයා සම්බන්ධකම් ඇති කරගත්තා.
ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා යන අය සමඟ ඔහු ඇසුරු කළා. ඒ නිසා ලංකාවෙන් මෙයාව පිටුවහල් කරන්න අධිකරණ නියෝගයක් ගන්නට ඩවුබිං පොලිස්පතිවරයා පියවර ගත්තා.
ඒත් එක්කම එයා හැංඟුණා. පොලිසිය කොතරම් හෙව්වත් අල්ලගන්න බැරිවුණා.
ගෝල්ෆෝස් එකේ තිබ්බ සමසමාජ පක්ෂයේ රැස්වීමකටත් ඒ අතර ඔහු සහභාගි වුණා. ඒත් පොලිසියට ඔහු අල්ලගන්න බැරිවුණා.
මේ අතර වතු නායකයන් එක වී ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. වෙස්ක්‍රේටිව් පිටුවහල් කිරීම බල රහිත කරන්න කියලා. සුදු ජාතික විනිසුරු ‍ග්‍රේසන් ඒ නියෝගය බලරහිත කරමින් වෙස්ක්‍රේටිව්ට මෙරට රැදී සිටීමට අවස්ථාව ලබාදුන්නා. ඒත් එක්කම ඔහුට පොලිස්පතිධුරයෙන්ද යන්න වුණා“ ප්‍රියන්ත ජයකොඩිගේ වචනවලින් එකී ඉතිහාස කතාව ලියැවෙන්නේ එසේය.
ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන ආකාරයට අනුව 1946 වන තුරුම පොලිස්පතිධුර දරා ඇත්තේ සුදු ජාතිකයෝය.
මුල්ම ස්වදේශීය පොලිස්පතිවරයා වන්නේ ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ ය. 1946 දී පොලිස්පතිධුරයට ඔහු පත් වන්නේ අනුරාධපුරයේ දිසාපතිවරයාව සිටියදීය.
ශ්‍රී ලංකා පොලිසියේ 12 වැනි පොලිස්පතිවරයා ඔහුය. රිචඩ් අලුවිහාරේගෙන් පසු පොලිස්පතිධුරයට පත් වන්නේ ඒ වන විට පොලිස් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ඔස්මන්ද සිල්වා ය. ඔහු ජාතික වර්ණ ලාභී ක්‍රීඩකයෙක් ද විය. පොලිස්පතිවරයෙකු වූ පළමු ක්‍රීඩකයා වන්නේ ඔහුය.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කරන ආකාරයට අනුව ඔස්මන්ද සිල්වා යනු ශ්‍රීමත් රිචඩ් අළුවිහාරගේ බෑනාය.
ඔහු පොලිස්පතිධුරයේ රැඳී සිටිනවාට බණ්ඩාරනායක අගමැතිවරයාගේ එතරම් කැමැත්තක් තිබී නැත. පොලිස්පතිධුරයට පත් කරන්නට බණ්ඩාරනායක අගමැතිවරයා සූදානම් වන්නේ තමන්ට හිතවත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වන එම්.ඩබ්ලිව්.එෆ්.අබේකොන්ය.
“බණ්ඩාරනායක අගමැතිවරයාගේ එම තීරණයට පොලිසිය ඇතුළේ ලොකු විරෝධයක් ඇති වුණා.
ඉහළ නිලධාරීන් ඒ ගැන සාකච්ඡා කරන්න 1959 අප්‍රේල් 20 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නිවස්නයේ රැස් වුණා. එම රැස්වීම අතරතුර බණ්ඩාරනායක අගමැතිවරයා අබේකෝන් සමඟ එහි පැමිණ දැනුම් දෙනවා මේ ඉන්නේ අලුත් පොලිස්පති කියලා.
ඒ වේලාවෙ සහකාර පොලිස් අධිකාරිවරයෙකු පමණයි ඊට විරෝධය දක්වා තිබෙන්නේ.“ ප්‍රියන්ත ජයකොඩි එම අතීතය විග්‍රහ කරන්නේ එසේය.
බණ්ඩාරනායක අගමැතිවරයාට ඔහු ඉදිරිපිටදීම සිය විරෝධය දැක්වූ සහකාර පොලිස් අධිකාරිවරයා පසු කාලයේ පොලිස් සේවයෙන් විශ්‍රාම යන්නේ ශ්‍රී ලංකා පොලිසියේ පළමු දෙමළ ජාතික පොලිස්පතිවරයා ලෙස වාර්තා පොත්වල සිය නාමය සටහන් තබාය. හෙතෙම 20 වැනි පොලිස්පතිවරයාවූ රුද්‍රා රාජසිංහම්ය.
1982 වසරේ අප්‍රේල් 20 වැනිදා පොලිස්පතිධුරයට පත් වන ඔහු විශ්‍රාම යන්නේ 1985 වසරේ අප්‍රේල් 20 වැනිදාය.
බණ්ඩාරනායක අගමැතිවරයා 1959 වසරේ සැත්තැම්බර් 26 වැනිදා ඝාතනයට ලක් වන විට පොලිස්පතිධුරය දරමින් සිටින්නේ ඔහුගේ විශ්වාසවන්තම සගයා වූ අබේකෝන්ය. බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාල වකවානුවේදීද පොලිස්පතිධුරය දරන්නේ අබේකෝන්ය.
මැතිනියට එරෙහිව ක්‍රියාත්මක වූ හමුදා සහ පොලිස් කුමන්ත්‍රණය සිදු වන්නේද එම වකවානුවේදීමය. 62 හමුදා කුමන්ත්‍රණය යැයි සඳහන් වන්නේ එම කුමන්ත්‍රණයටය.
හමුදාවේ සහ පොලිසියේ සීමිත ඉහළ නිලධාරීන් පිරිසක් මැතිනිය සිරගතකොට රාජ්‍ය බලය ඇල්ලීමට කළ කුමන්ත්‍රණය පරාජයට පත් කරන්නට හැකියාව ලැබෙන්නේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සිටි එස්.ඒ දිසානායක නිසාය.
ඒ නිසාම 1963 වසරේ අප්‍රේල් 29 වැනිදා අබේකෝන් පොලිස්පතිධුරයෙන් විශ්‍රාම ගන්නා විට ඒ තනතුරට නිතරගයෙන් පත්වන්නේ එස්.ඒ. දිසානායකය.
1963 වසරේ ජුනි 03 වැනිදා 15 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩභාරගන්නා ඔහු 1966 වසරේ ජුනි 03 වැනිදා දක්වාම පොලිස්පතිධුරය හොබවනු ලැබීය.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට අනුව මෙරට ඉතිහාසයේ පොලිස්පතිවරුන් දෙදෙනෙකු සිය සේවා කාලය තුළ මියගොස් ඇත.
එක් අයෙකු වන්නේ 1910 වසරේදී හත්වැනි පොලිස්පතිවරයා ලෙස පත්වුණු ශ්‍රීමත් අයිවන් එඩ්වඩ් ඩේවිඩ් ය. වසර 13ක් පොලිස් සේවයේ රැඳී සිටි ඔහු 1913 වසරේදී මිය යන්නේ නුවරඑළියේදී මැලේරියාවට ගොදුරුවීය.
දෙවැන්නා ලකී කොඩිතුවක්කු ය. 1998 වසරේ සැත්තැම්බර් 01 වැනිදා විසිහය වැනියා ලෙස පොලිස්පති ධුරයට පත් වන ඔහු 2002 වසරේ අගෝස්තු 27 වැනිදා රෝගී තත්වයක් හේතුවෙන් මිය යන්නේ තවත් වසරක කාලයක් සේවයේ නිරත වීමට අවකාශ තිබියදීය.
ලකී කොඩිතුවක්කුගේ අභාවයෙන් පසු පොලිස්පතිධුරයට පත්වන්නේ ටී.ඊ.ආනන්ද රාජා ය. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටියදී මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ දියණියකගේ උපන්දින සාදයකට සහභාගි වීමක් හෙළිවීමත් සමඟ 2003 වසරේ ඔක්තෝම්බර් 14 වැනිදා ඔහුට පොලිස්පතිධුරයෙන් විශ්‍රාම ගැනීමට සිදු වන්නේ සේවා දිගුවකින් තවත් වසරක් පොලිස් සේවයේ රැදී සිටීමට තිබුණු අවස්ථාවද අහිමි කරගනිමිනි.
එදා ආනන්ද රාජා මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ දියණියකගේ උපන්දින සාදයට සහභාගි වූ බව හෙළි කරන්නේ පූජිත්ය. එකල ඔහු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාය.
ඊට පූජිත් ලොකු ප්‍රසිද්ධියක් ලබා දුන්නේ ව්‍යාපාරික වෙස්ගත් එම පුද්ගලයා මත්කුඩු ජාවාරම්කරුවෙකු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා ඒ වන විටත් නොදැන සිටි පසුබිමකය.
එකල එම මත්කුඩු ජවාරම්කරුගේ දියණියගේ උපන්දින සාදයට සහභාගි වූයේ ආනන්ද රාජා පමණක් නොව තවත් බොහෝ පොලිස් නිලධාරීහු ඒ අතර සිටියහ. ඒ කිසිවෙකුටත් එරෙහි විමර්ශන කිසිවක් නොවීය.
අර්බුදයකට මුහුණ දෙන තවත් පොලිස්පතිවරයෙකු වන්නේ මහින්ද බාලසූරියයි. 2009 වසරේදී ඔහු පොලිස්පතිධුරයට පත් වන්නේ 32 වැනි පොලිස්පතිවරයා ලෙසිනි. 2011 වසරේ මැයි මාසයේදී පොලිස්පතිධුරයෙන් ඔහු ඉල්ලා අස්වන්නේ එකල පැවැති ආණ්ඩුව විසින් ඔහුට ඉල්ලා අස්වන ලෙස කළ නියෝගයකට අනුවය. ඒ තවත් වසරක කාලයක් පොලිස්පතිධුරය දැරීමට අවස්ථාවද අහිමි කරගෙන ඔහු ඉල්ලා අස්වන්නේ ආණ්ඩුව බේරාගන්නටය.
ඒ පෞද්ගලික අංශයේ සේවකයන්ට ඉදිරිපත් කළ විශ්‍රාම වැටුප් යෝජනාවලියට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් අතින් රොෂේන් චානක නැමැති තරුණයා වෙඩි වැදීමකට ලක්ව මිය යෑමත් සමඟ රට පුරා පැන නැඟුණු ජනතා විරෝධය නිසාය.
එන්.කේ. ඉලංගකෝන් පොලිස්පතිධුරයට පත් වන්නේ මහින්ද බාලසූරියගේ හිඩැසටය. ඒත් එක්කම මහින්ද බාලසූරියට ලැබෙන්නේ බ්‍රසීලයේ තානාපතිකමය.
මහින්ද බාලසූරියට පෙර ඉල්ලා අස්වූ තවත් පොලිස්පතිවරයෙකු වන්නේ සිරිල් හේරත් ය.
ඔහු 22 වැනි පොලිස්පතිවරයාය. 1985 වසරේ දෙසැම්බර් 06 වැනි දා පොලිස්පතිධුරයට පත් වන සිරිල් හේරත් 1988 වසරේ ජූලි 31 වැනිදා ඉල්ලා අස් වන්නේ තවත් වසරක කාලයක් පොලිස්පතිධුරයේ රැඳී සිටීමට අවකාශ තිබියදීමය. ඊට මුල් වන්නේ එවකට ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා සමග ඇති වන ගැටුමකි.
එම ගැටුමට මුල් වන්නේ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස සේවයේ නිරතව සිටි ගෆූර් සහ උඩුගම්පොළ යන නිලධාරීන් දෙදෙනා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කරන ලෙස කළ දැනුම් දීමකි.
ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඒ වන විට ගෆුර් සිටින්නේ 06 වැනි තැනේය. එහෙත් උඩුගම්පොළ සිටින්නේ 40 වැනි තැනේය. එබැවින් සිරිල් හේරත් ජනපතිවරයාට දැනුම් දෙන්නේ ගෆුර්ට උසස් වීම ලබාදුන්නද උඩුගම්පොළට ලබාදීමට නොහැකි බවකි. සිරිල් හේරත්ට කරන්නට බැහැ යැයි කී එම උසස්වීම විධායක බලතල යොදමින් ජේ.ආර්. ජනාධිපතිවරයා එක පෑන් පහරින් අවසන් කළේය. ඒ ගැන සිත් තැවුලට පත් වුණු සිරිල් හේරත් එදින සවස සිය නැන්දනියගේ නිවසට ගොස් එහි තිබුණු ටයිප් රයිටරයකින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය යතුරු ලියනය කරන්නේ තමන්මය. පසු දින එම ලිපිය ඔහු භාරදෙන්නේ එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි සේපාල ආටිගලටය.
ඒත් එක්කම ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් සිරිල් හේරත් ට ඇරයුමක් ලැබෙන්නේ මලයාසියාවේ තානාපතිධුරයටය.
එම ඇරයුම ඔහු එදා ප්‍රතික්ෂේප කරන්නේ පොලිස්පතිධුරයෙන් තමා ඉල්ලා අස් වූයේ රජයට විරෝධය දැක්වීමකට බැවින් රජයෙන් ලබාදෙන තනතුරක් භාර ගතහොත් එම ඉල්ලා අස් වීමෙන් පලක් නොවන බව සඳහන් කරමිනි. ඊට බොහෝ කලකට පසු චන්ද්‍රිකා ආණ්ඩුව සමයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඔහු පත් වන්නේ ආරක්ෂක ලේකම්වරයෙකු වූ පළමු පොලිස්පතිවරයා බවට ඉතිහාසයටද එක්වෙමිනි.
පොලිස්පතිවරුන්ගේ ඉතිහාසය පිරිස්සීමේදී අඩුම කාලයක් පොලිස්පතිධුරයේ රැදී සිටි පොලිස්පතිවරයා ලෙස සටහන් වන්නේ 21 වැනි පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි එච්.ඩබ්ලිව්. එච්. වීරසිංහය. 1985 වසරේ අප්‍රේල් 21 වැනිදා පොලිස්පතිධුරයට පත් වන ඔහු මාස අටක සේවා කාලයකට පසු විශ්‍රාම ගන්නේ දෙසැම්බර් 05 වැනිදාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!