මැද මහනුවර මාලිගාවේ හේවිසි හොරණෑ නාදය ඇසෙන දුර පිහිටි ධනවත් මන්දිරයකි. එහි සුඛෝපභෝගීව වැඩෙන එකොළොස් හැවිරිදි සුරතල් දියණියකි. ඇය නමින් සුවන්නා ය. ඇගේ පියා අතුල ඉංජිනේරුවෙකි. සුරූපී මෑණියෝ පද්මා ගෘහිණයකි. සුවන්නාට තවත් සහෝදරයෙක් හා සහෝදරියක් සිටිති.
දූරං ගමං ඒකං චරං…. අසරීරං ගුහාසයං…. මේ සිතට ශරීරයක් නැත. කරජයක් නැත. එහෙත් ගුහාවක, පිරිසුදු ලේ පතක් නිරන්තරව පවතින හෘදය වස්තු නම් ගෘහයේ වාසය කරයි. එහෙත් මනඃකල්පිතයේ පවතින මොහොතක ක්ෂණයකින් දුර ගමන් යයි. ගුවන් ගමන් බලපත්‍ර වීසා අවශ්‍ය නැත. සිතූ තැනට, සිතූ පුද්ගලයා සොයා යෑමේ ඉවක් වැනි මහා ප්‍රබල ශක්තියක් ඔබේ සිතටත් මගේ සිතටත් ඇත.
දැන් සුවන්නා සුරතල් දියණිය, සුරූපී දැරිය මාස හයක සිට මවු පිය ඇසුර අතහැර කාමරයේ පාළුව ප්‍රිය කරමින් අඳුරේ සිටින්නට ප්‍රිය කරති. පාඩම් කරන්නට කැමති නැත. පාසල් යන්නේ ද නැත. හිටි හැටියේ ඉකිබිඳ හඬා වැලපෙයි. රාත්‍රී හීනෙන් ඉකි බිඳී. එසේ සිදුවන්නට කිසි ම හේතුවක් නැතැයි මවුපියෝ පවසති. මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගත්තාට කිසිදු සුවයක් නැත. ආහාර අප්‍රියතාව නිසා සුරතල් සුරූපී ගති ඉවත්ව ඇත. ජීවත් වන පරිසරයේ කිසිදු අඩුපාඩුවක් ද ඇයට නැත.
වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් සහනයක් නොවූයෙන් මවුපියෝ වත් පිළිවෙත්වලට නැඹුරු වුවද එයින් ද වෙනසක් නොවූයෙන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය කැඳවාගෙන ගියහ. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන් ද දියණියන් ද පත්ව සිටින තත්ත්වය පැහැදිලි කළහ. නිවසේ අසාමාන්‍ය ඡායාවල් එහා මෙහා යන බවද කීහ.
ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්තිය එල්ල කොට ප්‍රතිකාර ආරම්භ කරන විට ඇගේ මව පද්මා පැද්දෙන්නටත් අඬන්නටත් වූවාය. මෙතැන අමනුෂ්‍ය බලපෑමක් ඇති බව නිගමනය කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සල් දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළහ.
නියමිත උපදෙස් පරිදි බෝධි පූජා පවත්වා නැවත ප්‍රතිකාර සඳහා පැමිණියහ. එදින ද ගවේෂණයේ දී පද්මා ගේ ශරීරයට භූතාත්මයක් දිෂ්ටි ගැන්වී අඬන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කරන විට ම “අනේ! මාව පන්නන්න නං එපා… මට මගේ යාළුවා සුවන්නාව දාලා යන්න බෑ. මම මෙයාට ආදරෙයි.” කියමින් අඬන්නට වූවාය.
“හොඳයි… හොඳයි… ඔයා කවුද කියන්නකෝ?” යි ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“මම සමනි. මම මෙයාගේ හොඳම යාළුවා” යි භූතාත්මය කීවාය.
මෙය ඇත්තදැයි ගවේෂකවරයා සුවන්නාගෙන් ඇසීය.
“ඔව් සවනියි මමයි ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ එකම පන්තියේ එකම තැන වාඩි වෙලා ඉගෙන ගත්තේ. සමනිගේ පවුලේ අය ඇමරිකාවට පදිංචියට ගියා. එහේ ගියත් එයා මට නිතර ම කෝල් කළා. මමත් එයා මතක් වෙලා කෝල් කළා. ඒත් එයා හිටි හැටියේ… ඉහි… ඉහි…” යි සුවන්නා, මේ වන විට සමනි ආවේශ වී සිටි තම මෑණියන් බදාගෙන අඬන්නට වූවාය. භූතාත්මය ද අඬන්නට වූවාය.
මේ සංවේදී බව දැරිය නොහැකි බැවින් ගෙව්ෂකවරයා පද්මා පියවි සිහියට පත්කොට එදින ප්‍රතිකාර නතර කළේය. එහෙත් අතුලගෙන් මේ සමනි ගැන තොරතුරු විමසීය.
මේ දුවත් සමනි දුවත් එකම ඉස්කෝලේ, එකම පන්තියේ, එකම තැන වාඩි වෙලා එකට ඉගෙන ගත්ත යාළුවෝ. සමනිගේ පවුලේ අයත් බොහොම වැදගත් අය. මේ දෙන්නගේ යාළුකම නිසා අපේ පවුල් දෙකත් සමීප ඇසුරක් තිබුණා. මේ අතර ග්‍රීන් කාඩ් වරප්‍රසාදය ලැබිලා ඒ පවුලෙ අය ඇමෙරිකාවේ පදිංචියට ගියා. ඒත් මේ දරුවො දෙන්නා නිතර දුරකථනයෙන් කතාබස් කළා. ඒත් ඈත්වීම ගැන දුකෙන් හිටියේ. ඔය අතරෙ සමනි දුව අසනීපයකින් අන්ත්‍රා වෙලා.” අතුල විස්තර කළේය.
යළිත් පද්මාට භූතාත්මය දිෂ්ටි ගන්වා ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“දැන් සමනි දුව කොහෙද ඉන්නේ?”
“මේ පද්මා ඇන්ටිගේ ඇඟේ” යි පිළිතුරු දුන්නාය.
“නැහැ නැහැ මම ඇහුවේ සාමාන්‍යයෙන් ඉන්නේ කොහේද කියලා.”
“ආ…. මම ඉන්නේ මගේ යාළුවගේ රෙදි බෝනික්කා ඇතුළේ. අපි දෙන්නට ඕනෑ වුණා ම සෙල්ලම් කරනවා.”
“ඇයි ඔයාගේ අම්මා තාත්තා ළඟට යන්නෙ නැත්තේ?”
“කවුද? ඒ අය මට මතක නැහැ. මගේ මතකයෙ ඉන්නේ සුවන්නා විතරමයි.”
“ඒ වුණාට දුවේ ඔයා මැරුණ කෙනෙක්. ඔයා දැන් සමනි නොවෙයි. ඔයාගේ ශරීරයත් ඇමරිකාවෙ වළලලා. ඔයාගෙ ආදරය නිසා දැන් සුවන්නා ලෙඩ වෙලා. මිනිස්සුන්ටයි අමනුස්සයන්ටයි එකට ඉන්න බෑ. ඔයා නිසා මෙයා දැන් ඉස්කෝලෙ යන්නෙත් නෑ. මෙයාගේ අනාගතයත් අඳුරු වෙනවා. එහෙම වුණොත් ඒ පාපය ඔයාටයි. යාළුවා හොඳට ජීවත් වෙනවාට ඔයා කැමති නැද්ද?” යි ගවේෂකවරයා අසන විට භූතාත්මය කල්පනා කරන්නට විය.
“ඔයා වගේ ම ළමයි එක්ක නටලා සින්දු කියලා සතුටු වෙන්න ඔයා කැමති නැද්ද?”
“කැමතියි කැමතියි. ගොඩාක් ආසයි.” කීවාය.
“එතකොට ඔයා හොඳ තැනකට යනවාද?”
“එහෙම නම් මම යන්නම්. හැබැයි මට අද විතරක් මේ යාළුවා ළඟ ඉන්න ඉඩ දෙන්න.”
“හොඳයි ඉඩ දෙන්නම්.”
එදින සුවන්නාට තනියම රෑට නිදා ගන්න ඉඩහරින ලෙසත්, මවුපියන්ට කාමරයෙන් පිට දොර ළඟින් ම නිදා ගන්නා ලෙසත් උපදෙස් දුන්නේය. ඊට අමතරව මේ වයසේ ළමයි සිටින ළමා නිවාසයකට සවස තේ පැන් සංග්‍රහයක් දී රාත්‍රියට රස මසවුළු පලතුරු අයිස්ක්‍රීම්වලින් සංග්‍රහ කොට සුවන්නා ද සමඟ සතුටු වන ලෙස ද උපදෙස් දුන්නේය.
එදින රාත්‍රි දෙකට පමණ සුවන්නා කෑ ගසාගෙන අවදි වී අඬන්නට වූ අතර මුහුණ තද රතු වී උණ ගන්නා බව ගවේෂකවරයාට දුරකථනයෙන් අතුල දැනුම් දුන්නේය. බය නොවන ලෙසත් පසු දින දැරිය කැඳවාගෙන එන ලෙසත් කීවේය.
පසු දින උදේ දැරිය නැවතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ගෙන ගියේය. එදින ද පද්මා ආවේශ වූවාය.
“මොකද ඊයෙ රෑ යාළුවගේ මූණ රතුවෙලා උණ ගත්තේ?” යි ගවේෂකවරයා ඇසීය.
“දන්නෙ නෑ අංකල්. මම අන්තිම වරට යාළුවාට හොඳ කිස් එකක් නම් දුන්නා” යැයි භූතාත්මය කීවාය..
“ඔයාට දැන් මොනවාද ඕනෑ?”
“මට තේරෙන්නෙ නෑ අංකල්.”
“එහෙම නම් ලබන ඉරිදා ළමා නිවාසෙ පාටියට ගිහින් සතුටු වෙන්නකෝ…”
“හොඳයි අංකල් මම ආසයි.”
එදින මේ පවුලේ අය ළමා නිවාසයට ගොස් මල් සහ බැලුම් බෝලවලින් සරසා අලංකාර කර ඒ දරුවන්ට සංග්‍රහ කොට සතුටු කළහ. වෙනත් කලායතනයකින් ඒ වයසේ ම ළමයි කණ්ඩායමක් කැඳවාගෙන ගොස් වාදනය සමඟ නැටුම් අංග කීපයක් ද පැවැත්වූහ. එදා රාත්‍රිවන තුරු ළමයි සින්දු කියා නටමින් සතුටු වූහ. සුවන්නා ද ප්‍රීති වූවාය. ඒ අවස්ථාවේ සමනිගේ ප්‍රාණකාරිය ද පද්මාගේ ශරීරයට සම්බන්ධව නටා ගී ගයා සතුටු වූවාය. අවසානයේ රස මුසවුළු වලින් සංග්‍රහ කොට තෑගි බෝග ද පද්මා සහ සුවන්නා ළමයින් අතර බෙදා දුන්හ.
ඒ දානයෙන්, සංග්‍රහයෙන් පසු එළැඹි ප්‍රතිකාර දිනයේ ඔවුහු මධ්‍යස්ථානය කරා පැමිණියහ.
එදින ගවේෂකවරයා පද්මාගේ ශරීරයට සමනිගේ භූතාත්මය කැඳවා ප්‍රශ්න කළේය.
“කෙහොමද ළමා නිවාසෙ පාටිය හොඳ ද?”
“හරී ෂෝක් අංකල් මම ගොඩාක් සතුටු වුණා.”
“දැන් මොකද අදහස?”
“මට තේරෙන්නේ නෑ අංකල්.”
“හරි මම ඔයාට සතුටු වෙන්න උදව්වක් කළානෙ?”
“ඔව්”
“ඉතින් මටත් උදව් කරන්න.”
“කියන්න අංකල් මම කරන්නම්.”
“ඔයා සුවන්නා ළඟ හිටියොත් එයා ලෙඩ වෙනවා. ඔයාට පව්; මම ඔයාට පින් කරන හොඳ ලස්සන තැනක් හොයි දෙන්නම්. යනවද?”
“මම මෙතැන ඉන්න එක යාළුවාට හොඳ නැත්නම් මම ඉවත්ව යන්න ඕනෑ කියලා හිතෙනවා. මම යන්න කැමතියි.” කීවාය.
ගවේෂකවරයා අතුල ලවා පූජා වට්ටියක් ගෙන්වා භූතාත්මය ඊට සම්බන්ධ කොට, ඔවුන් අතම අනුරාධපුරයට යැවීය.
සුවන්නාටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යොදා දුන්නේය.
සිළුමිණ.
