Gossip

උඹ ආයෙ මගේ ස්කොඩ් එකේ පැත්තකටවත් එන්න එපා පලයන් යන්න – විනිසුරු ආබෘෘගේ පැටිකිරිය හෙළි වෙයි

අපරාධ වරදකට අත්ඩංගුවට පත් ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වූ සරත් ද ආබෲ ට එරෙහි බරපතල ලිංගික අඩත්තේට්ටම් නඩුව විභාග වීමට තිබුණේ ලබන 14 වැනිදාටය. ඊට පෙර ඔහු මියයෑම පිළිබඳව සතුටු විය නොහැකි වෙතත් ඔහුගේ වෘත්තීය සහ පුද්ගලික පැවැත්ම පිළිබඳව ඇති සිදුවීම් හුදු පුද්ගලික අර්ථයෙන් බැහැරව අධිකරණයේ කුණු වීමේ තරම පෙන්වීමට මතු දින වෙනුවෙන් සටහන් කර තැබිය යුතුය.

ඔහුගේ චෝදනා ගහණ අපකීර්තිමත් වෘත්තීය සහ පුද්ගලික ජීවිතයේ වැඩිම කලක් පුද්ගලික ආරක්ෂකයා වූ පොලිස් නිලධාරියාගේ පාපොච්චාරණය මෙලෙස වගකීමෙන් යුතුව දිගහැරෙනු ඇත.

වෑන් කබල

‘‘‍සර් රෑට නිදාගන්නෙ නෑ. රෑට තමයි නඩු තීන්දු ලියන්නේ. සිගරට් පැකට් දෙකක් ළඟ තියාගෙන රෑ 9 ඉඳන් පාන්දර වන විට වෙනකොට දෙකම බීලා ඉවර කරනවා. පාන්දර 5ට තමයි නිදාගන්නේ. ආයෙ උදේ 8.45 ට වගේ නැගිටල 9.15 වගේ වෙද්දි මොන වේගෙන් හරි ගිහින් උසාවියෙ ඉන්න ඕන නඩු අහන්න.

රෑට නිදාගන්නෙ නැති නිසා බෙන්ච් එකේදි නඩු යද්දි නිදි කිරා වැටෙනවා. රෙකෝඩින් අහගෙන තමයි රෑට ආයෙ නඩු තීන්දුව ලියන්නෙ. දවල්ට සිගරට් ගොඩක් බොන්න වෙන්නේ නෑ. ඒත් තේ වෙලාවට දෙකක් බොනවා උසාවියෙදි. ගෙදරදි පුදුම විදියට සිගරට් බොනවා. වාහන වලට ගොඩක් කැමති නිසා වාහනේ ඇතුළෙ බොන්නෙ නෑ. බෙන්ස් එක තියෙද්දි රජයෙන් අලුතෙන් ජගුවර් කාර් එකක් දුන්නා. සර් වාහනේට ලැබෙන තෙල් වලින් රුපියල් තිස් හතලිස්දාහක අමතර ආදායමක් මාසෙට අරගත්තා. ඒක ඉතිං එයා විතරක් නෙමෙයි විනිසුරුවරුන්ගෙන් සියයට පනහක්ම කළා.සර්ට දිරල මලකඩ කාපු පොඩි වෑන් එකක් තියෙනවා. ඒක හැමදාම ගරාජ් එකට දානවා.

ගරේජ් එකේ අයට එපා වෙනකම් බනිනවා. ඒ අය එපාම වෙලා තමයි ඒක හදන්නෙ. ඒක හැමදාම වගේ සෝදන්න ඕන. උසාවි ගිහින් ආව ගමන් කරන්නෙ පොලිස් ඩ්‍රයිවර්ව ඒ ඇඳුම පිටින්ම යවනවා වෑන් එක සර්විස් කරගෙන එන්න කියලා. ඒ වෑන් එකෙන් තමයි සති අන්තෙදි නෝනගෙ පැත්තෙන් ලැබුණු අම්බලන්ගොඩ තියෙන ලොකු වත්තට යන්නේ.

ඒකෙ තේ පොල් තියෙනවා. පොලීසියෙ ලොකු ලොකු අය ට්‍රාන්සර් වලට, නඩු වලට එක එක දේවල් කරගන්නෙ සර් ට කියලා. සර්ට කියලා පොලීසියෙ සමහර අය කෝල් කරවගන්නවා එයාලගෙ ලොක්කන්ට. එහෙම කරගත්තට පස්සේ අපේ සර් කරන්නෙ අර පොලීසියෙ අයට කියනවා වත්තෙ වැඩට කවුරු හරි එවන්න කියලා. එහෙම තමයි වැඩට ගේන හැමෝම ගෙන්න ගත්තේ. ඒ එන හැම කෙනාම සතියෙන් පැනලා යනවා. සේවකයන්ට කෑ ගහන්නෙ යක්ෂාවේෂයෙන්. හේතුවක් ඇතුවත් නැතුවත් කෑ ගහනවා. ගහන්න පනිනවා.

මම දන්නවා සර් ජීවිතේ හානි කරගන්න කෙනෙක් නෙමෙයි. පුදුම විදියට ජීවිතේට ආදරේ කෙනෙක්. නොමැරෙන කෙනෙක් වගේ හිටියේ. ඒ තරමට සල්ලි, දේපළ එකතු කළා. ඔය හැම වැඩක්ම කළේ ජීවිතේට ආසාවෙන්. නෝනගෙ පැත්තේ වතුපිටි වාහන ඔක්කොම එකතු කරගෙන හිටියේ. සෙකට්‍රි විදියට නෝනගේ නම දාල තිබුණේ.නෝන කවදාවත් ඒ වැඩ කළේ නෑ ඒත් ඒකෙ දීමනාව ගත්තෙත් සර්. දේපළ ලියාගන්න සර් එයාගෙ අම්මට ගොඩක් වධ දුන්නා කියලා වැඩකාරියක් කියලා තියෙනවා.

සමහර දවසට රෑ එළිවෙනකම් ගහනවාලු. දවසක් මහ රෑ ගහලා අම්මගේ ඔලුව පැලිලා තිබුණා. ඒක පුදුම තරහා යෑමක්. ඒ වෙලාවට අම්මද කවුද කියලා අදාළ නෑ.

ලිංගික අතවර

ගල්කිස්ස පොලීසියට පසුගිය වසරේ ජුනි 27 වැනිදා එළිවන පාන්දර පැමිණෙන කාන්තාවක ශාරීරික තුවාළ සහිත ව පැමිණිලි කරන්නේ තමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතාගේ නිවසේ මෙහෙකාරිය බවත්ය. තමන්ට දින කිහිපයක් පුරා විනිසුරු විසින් ලිංගික අතවර කරමින් පහර දෙනු ලැබූ බවත්, එදින ඔහුගේ ගිනි අවියෙන් තුවාළ සිදු වන තුරු පහරදුන් නිසා නිවසින් පැන පොලිසියට පැමිණි බවත් පැමිණිල්ලේ ලියා තිබුණි.

ඊට දින 15 කට පමණ පෙර ආබෲ විනිසුරු නිවසට ඇය පැමිණ තිබුණේ එම නිවසේ සිටි මානසික ආබාධයකින් පෙළුණු දරුවකුගේ ආවතේව කටයුතු වෙනුවෙනි. පැමිණි දිනයේ සිට ම අදාළ දරුවාගේ ද, විනිසුරුවරයාගේ ද නිරන්තර පහරදීම්වලට ලක් වීමට සිදු වූ බව ඇය පොලිස් පොතේ සටහන් කර ඇත. එදින එම සිද්ධියට අදාලව පොලීසිය සටහන් ලබා ගැනීමට ගියද විනිසුරු ඔවුන්ව තම නිල බලයෙන් එලවා දමන අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් එය ලබාගෙන ජූලි 7 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එහිදී විනිසුරුතුමන්ට පක්ෂව එම අධිකරණයෙන් ඇප ලැබෙන අතර, ඉන්පසු තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඔහු ඉදිරිපත් කරන ලදී. ඒ වනවිටත් වින්ඳිත කාන්තාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඒ අතරතුර ආබෲ විනිසුරුතුමන් ඇයට බලකර තිබුණේ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නා ලෙස ය.

කෙසේ වෙතත් නීතිය මෙවර ක්‍රියාත්මක වෙමින් ඔහුගේ පෙත්සම නිෂ්ප්‍රභ කර ඔහුට විරුද්ධව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන්නට විය. මේ වසරේ සැප්තැම්බර් 14 වැනිදා නඩුව ආරම්භ වීමට නියමිතව තිබුණත් ඊට මසකට ප්‍රථම තම නිවසේ ඉහළ මහලෙන් වැටී හේ මිය යන්නේ ඉතා අවාසනාවන්ත අයුරිණි. මේවාට පිළිතුරු දීමට සරත් ද ආබෲ අද ජීවතුන් අතර නැතත් තවමත් ඔහුගේ චර්යාව දුටු ජීවමාන සාක්ෂි බොහෝමයක් ඉතිරිව පවතී.

ශ්‍රී ලංකා පොලිසියේ අධිකරණ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ ආබෲ විනිසුරුගේ පුද්ගලික පොලිස් ආරක්ෂකවරයා තමන් වසර ගණනාවක් ඇසින් දුටු සාක්ෂි අධිකරණයේත්,විනිසුරුවරයාගේත් කුණු වීම මොනවට පැහැදිලි කරනු ඇත.

අරාබිකාරයෙක් වගේ
‘‘වැඩකාරියන්ට සැලකුවේ අරාබිකාරයො වගේ. පුදුම විදියට වධ දුන්නේ. නිතරම ගහනවා බනිනවා. කරදරම තමයි. එන හැම වැඩකාරිටම වගේ මොකක් හෝ අතවරයක් කළා. සර්ගේ යාලූ‍වෙක් ඉන්නවා නුවර එළිය පැත්තෙන් වැඩකාරියො හොයල එවන. ඒ එන හැමෝම හිටියේ සතියයි නැත්තම් දෙකයි. වැඩිම කාලයක් තිස්සේ ඉන්නේ ලීලා කියල ගොඩක් වයසක ගෑනු කෙනෙක්. ඒ මනුස්සයටත් බනිනවා.

සර්ගෙ ස්ත්‍රී ලොල් ගතිය වැඩිපුර තිබුණා. චේම්බර් එකේදීත් ඕනෑ තරම් දේවල් වුණා. සිකුරිටි ළඟ නම ලියන්න එපා කියලා ආරච්චි යවලා රාජකාරි වෙලාවට නෝනලාව ගෙන්න ගන්නවා සර්ගෙ රූම් එකට. ඒ ගොඩක් අය වැදගත් නෝනලා. තනතුරේ බලෙන් ගොඩක් දේවල් කරල දෙනවා. උසාවියෙ ඉන්න අය වගේම හෝටල් වල පර්මිට් වලට, එක එක මාරුවීම් හදාගන්න එන අය ඕන තරම් හිටියා. එක දිගටම වගේ එන අයත් හිටියා. මේවා අදටත් දන්නවා උසාවියේ ඉන්න අය.

සර්ට අලී බ්‍රදර්ස් කියලා වාහන ගෙන්නන තැනක් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා. මම දන්න විදියට සර් ඒ අයගේ නඩු කතා කළා. තව උදව් කළා. එතනට ගියාම සර්ට ලොකූ සැලකිලි තිබ්බා. තව ගල්කිස්සේ හෝටලයක් එක්ක ගනුදෙනු තිබුණා. නිතරම මුලු ගෙදරටම ඒ හෝටලෙන් කෑම ලෑස්ති කරන්න ඕන. සිකුරිටි ඉන්න අපටත් එක්ක කෑම දෙන්න ඕන. එතනින් වතුර බෝතලේ පවා දාගෙන තමයි එන්නේ.

ඊට පස්සේ වැල්ලවත්තේ සපත්තු කඩේකට නිතර ගියා. ඒකෙන් තමයි මුලු ගෙදරටම නොමිලේ සපත්තු ගත්තේ. ගෙදර වැඩකාරිගෙ සෙරෙප්පුව කැඩුණත් එතනට යවලා තමයි හරිගැස්සුවේ.

ආබෲ විනිසුරුතුමන්ගේ ඉතිහාසය පහරදීම්, ලිංගික අඩත්තේට්ටම් හා රස්තියාදුකාරයෙකුටවත් නොගැළපෙන මට්ටමේ ගඳ ගහන ඉතිහාසයක් බව ඔහු ගැන දන්නා අයට නොරහසකි. ඔහු බලපිටියේ හා මොරටුව මහේස්ත්‍රාත් විනිසුරුවරයකු ලෙස සේවය කරද්දී කිහිප වතාවක් පොලිස් නිලධාරීන්ට පහරදීම් සිදුකර තිබුණි.

ඒවා සියල්ල පසු ව ගොඩින් බේරාගන්නා ලදී. 2010 වසරේ දී අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කරමින් 20 හැවිරිදි මෙහෙකාරියකට ලිංගික අඩත්තේට්ටම් කරනු ලැබීම මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් ගණනාවක ම මුල් ප්‍රවෘත්තිය බවට පත් විය.

එසමයෙ දී ලැජ්ජා භය හඳුනන විනිසුරුවරු ආබෲ විනිසුරුවරයා සමඟ විනිශ්චයාසනයේ වාඩි වීම පවා ප්‍රතික්ෂේප කළහ. ඔහු තව තවත් ඉහළට පත් කළා මිසක අධිකරණය පිරිසිදු තැනක් නොවීය.

සිංදු කියන ආබෲ
‘‘සර් නිතර ගෙදර බොනවා. පාටි වලට ගියාම බොනවා. රෑට පාටි වලදි සිංදු කියනවා. එහෙම බීලා සමහර දවසට තනියම කාර් එක අරගෙන එනවා. රෝයල් තෝමියන් බිග් මැච් එක බලන්න කොහොම හරි යනවා. ක්‍රිකට් වලට ගොඩක් ආසයි. කින්ග්ස්බරි හෝටලය ඉස්සර ඉන්ටකොන්ටිනන්ටල් කියන නමෙන් තිබුණේ.

ඉස්සර උසාවියේ එක එක ප්‍රශ්න දාගෙන දවස් දෙක තුන වැඩට නොයන වෙලාවල් තියෙනවා. කොහොම හරි අර ප්‍රශ්න ඉවර කරගෙන ආයෙ උසාවි යනවා. එතුමා උසාවියේ විකාර කරද්දි ඒ ජීවිතේ නතර කරන්න ගොඩක් අය උත්සාහ කළා.

රෝහිණි පෙරේරා මැඩම්ගේ නිල කාමරේ තිබුණේ අපේ සර්ගෙ එකට අල්ලපු එක විදියට. මැඩම් සර්ගෙ වැඩ ඔක්කොම දැනගෙන හිටියා කියල මැඩම්ගෙ පීඑස් ඕ අපිත් එක්ක කියනවා. කොහොම හරි සර් එක්ක එකට නඩු අහන්න බෑ කියලා රෝහිණී මැඩම් ඒ කාලේ පැමිණිලි පවා කළා. ‘‘මේ සාක්ෂි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව බොහෝ දෑ නිරුවත් කරනු ඇත. එහෙත් අද ආබෲ විනිසුරුවරයා ජීවිතයෙන් නික්ම ගොස්ය.

විනිශ්චයකරුවන්ගේ අන්තර්ජාතික සමුළුවකට සහභාගී වෙමින් රට සහ රටේ සියලු ම විනිශ්චයකරුවන්ට අපහාස වන අයුරින් හැසිරුණේ ද මේ ආබෲ විනිසුරුවරයා ය. මෙම විනිසුරුවරයා 2013 වසරේ අප්‍රේල් 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් ගුවන්තොටුපොලේ දී තවත් විනිසුරුවරයකුට වතුර බෝතලයකින් පහර දී තිත්ත කුණුහරුප කීවේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් වූ විගස සිය ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරියකුට පහර දුන්නේය. පසු ව එය ගොඩින් බේරා ගැනිණි. ආබෲ විනිසුරුගේ හැසිරීම දිගින් දිගට ම ප්‍රචණ්ඩ සහ අඩත්තේට්ටම්වලින් ගහන වූවක් වූයෙන් ගිනි අවි සහිත ව පොලිස් නිලධාරීන් ඔහුගේ ආරක්‍ෂාවට තැබීම අවදානම් බව එකල පොලිස්පතිට, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලිඛිත ව දන්වා තිබූණි. ඉන් පසු ව පෞද්ගලික ආරක්‍ෂක සේවාවක නිලධාරියකු විනිසුරු ආරක්‍ෂාවට තැබූව ද ඔහුට ද 2014 වසරේ දී පහර දී හිරිහැර කර තිබේ. එය ද ගල්කිස්ස පොලිස් පොතේ සටහන් ව පසු ව දෙපාර්ශ්වය සාමදානයට පත් ව පැමිණිල්ල ඉවත් කරගෙන තිබේ.

ආබෲ විනිසුරුවරයා 2015 වසරේ මුල දී ඔහුගේ ආරක්‍ෂාවට සිටි සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරියකුට පහර දුන්නේ එකම වරද දිගින් දිගට ම සිදු කරමිනි. එය ද පෙර සේම දෙපාර්ශ්වය සාමදානයට පත් ව පැමිණිල්ල ඉවත් කරගෙන තිබුණි. සේවකයන්ට පමණක් නොව මේ විනිසුරුවරා අසල්වාසීන්ට ද හිරිහැරයක් වූයේය.

හිනාවෙන්න තහනම්

‘අල්ලපු ගෙදර ඉන්නේ යුද හමුදා මේජර් කෙනෙක්. ඉඩමේ මායිමේ පොඩි වෙනසකට රන්ඩු වෙලා සර් නඩුවක් දාලා තිබුණා මේජර්ට විරුද්ධව. එතකොට සර් අභියාචනාධිකරණ විනිසුරු. ගල්කිස්ස දිසා අධිකරණයේ මේ ඉඩම් නඩුව තිබුණේ. අභියාචානාධිකරණ විනිසුරු විදියට ගිහින් සාමාන්‍ය බංකුවේ වාඩි වෙලා ඉන්නවා. එහෙම ගතිත් තිබුණා. ඒ මේජර්ව කාර්යාලයට ගෙනියන්න යුද හමුදා වාහන හැමදාම උදේට එනවා. ඒ එන හමුදාවෙ කිසිම කෙනෙක් එක්ක හිනා වෙන්න, කතා කරන්න අපට තහනම් කරලායි තිබුණේ. නිකන් හරි හිනා වෙනව දැක්කොත් එදාට එක යුද්දයක් එතන.

දවසක් ඒ ඉඩම් නඩුවට යන්න නැකත් එහෙම බලල සර් එළියට එන්න ආව. අරිසෙන් අහුබුදු මහත්තයගෙන් තමයි වෙලාවල් බැලුවේ. මේ කියන දවසේ අපිට කිව්ව වෙලාවට කළින් සර් එළියට ආවා. මම හිටියේ ගේට්ටුව ගාව. මම කාර් එක ගාවට එන්න කලින් සර් ඇවිත් දොර ඇරගෙන නැග්ගා. වෙනදට දොර අරින්නෙ මම. ඒකම ඇති තරහ යන්න. ගල්කිස්ස උසාවිය කිට්ටුවදි මම අහුවා සර් කාර් එක පාක් කරගන්න ඕන කොහෙන් ද කියල. එතකොටම ‘තමුසෙට ඕන දිහාක පාක් කරගන්නව ඕයි’ කියල කෑ ගැහුවා. සර් ගේ ලෝයර් ලා දෙන්නා ගෞරවය නිසා උසාවියෙදි කාර් එකේ දොර ඇරියා. දොර භාගෙට ඇරලා තියෙද්දී සර් වේගයෙන් දොර තල්ලූ‍ කළා. අර දෙන්නව බිම වැටෙන්න. සර් බැහැල එහෙම්ම පොලිස්පතිට කෝල් කළා. මම වෙලාවට වැඩ නෑ කියල කම්ප්ලේන් කළා. මම එවෙලෙ වුණු ඔක්කොම සටහන් කළා. සතියක් විතර මට වැඩට එන්න එපා කියල බැන්නා. මාව ඔය වගේ තුන්පාරක් එලවලා තියෙනවා.

වේගෙයන් යන්න ආසයි

සර් හරි ආසයි පොලිස් බයිසිකලේ එක්ක මහ පාරෙ කාගෙන යනවට. ඇම්බියුලන්ස් නතර කරල හරි කමක් නෑ එයාට වේගෙන් යන්න ඕන. එක දවසක් උසාවි ඉඳන් එද්දි මැලිබන් හංදියේ කාර් එක නතර කරන්න කියලා ඩ්‍රයිවර්ට කිව්වා. ඉඳිආප්ප වෑන් එකෙන් ඉඳිආප්ප අරගෙන එන්න කියලා. මම ඒ වෙලාවට බැහැලා දොර ගාව තුවක්කුව පැත්තට තියන් ඉන්න ඕන. නැත්තම් කේන්ති යනවා. එදා මට රුපියල් 100 ක් දීලා එහා පැත්තේ කඩෙන් පාන් ගෙඩියක් ගේන්න කිව්වා. මම කිව්වා සර් මම යන එක හරි නෑනෙ අරයා ආවම යවමු කියල.

පාන් ගෙනාවට පස්සෙ මම නගින්න ගියාම ‘තමුසෙ නගින්න එපා, උඹ ආයෙ මගේ ස්කොඩ් එකේ පැත්තකටවත් එන්න එපා පලයන් යන්න’ කිව්වා. මම ඔක්කොම සටහන් කරලා තුවක්කුවත් කරේ දාගෙන යුනිෆෝම් එක පිටින්ම ගල්කිස්සෙ ඉඳන් බස් එකේ කොම්පඤ්ඤ වීදියෙ පොලීසියට ගියා.ආයෙ ටික දවසකට පස්සෙ මට එන්න කිව්වා. උසාවියෙදි සර්ගෙ කාමරේ දොර ගාව ඉන්න ඕන මම. වෙන අය අහල ඒකට ගියාට සමහර නඩුකාරවරු අහන්නෙ නැතුව ඇතුළට යනවා. ඒක ඇතුළේ සර් ඉන්නේ මේසේ උඩ කකුලක් උඩ කකුලක් දාගෙන සිකරට් බිබී. දුම් ගඳට ඇතුළට යන්න බෑ. එක දවසක් සර් එළියට එද්දි මම දොර ගාව හිටියෙ නෑ කියලා මාව එලෙව්වා.’

මනුස්සකම්

මෙම ආරක්ෂක නිලධාරියා අවසන තම ස්ථිර සහ දීර්ඝ පොලිස් සේවයෙන් කළකිරීමට පත් වන්නේ ද මෙකී විනිසුරු ආරක්ෂාවේ අමිහිරි අත්දැකීම් නිසාවෙනි. විනිසුරුවරයා ගේ අඩත්තේට්ටම් ඉවසිය නොහැකිව සියලුදෙනා ඔහුව හැරපියා නික්මුණා සේම අවසන මෙම පොලිස් නිලධාරියා ද තම වෘත්තිය අතහැර යයි. ආබෲ විනිසුරන්ගේ චෛතසිකය කෙතරම් දරදඬු වුවද, ක්‍රියාවන් කෙතරම් අයුක්ති සහගත මෙන්ම ජුගුප්සාජනක වුවද ඔහු තුළ එළියට කියවාගත නොහැකි වූ මනුස්සකම් ද තිබී ඇත.

ඔහු විසින් කාන්තාවන් අපයෝජනයට ලක් කළ ද, පහරදීම් සිදු කළ ද ඔහු තමන්ගේ පවුල සහ ළඟම එකෙකු දෙන්නෙකු වෙනුවෙන් පෑ මානුෂීය ගති ද තිබී ඇත. ඒවා ගෙනහැර පෑමෙන් ඔහු අතින් අපයෝජනයට සහ පහර කෑමට ලක් වූ වින්ඳිතයන් ට යුක්තිය හෝ මානසික සහනයක් නොලදත්, මිය ගිය ඔහු වෙනුවෙන් සටහන් කළ යුතුය. ‘‘සර් දරුවට හරිම ආදරෙයි. ගෙදරට ගුරුවරු ගෙනත් උගන්නනවා. ඊට අමතරව පංති වලට එක්කගෙන යනවා. දරුවගේ සනීපාරක්ෂක තුවායේ ඉඳන් වෙලාවට බලනවා. දරුවට නම් තේරුමක් නෑ ඒවා ගැන.

නෝනටත් හරිම ආදරෙයි. හැම උපන් දිනයකමටම මට කියලා මල් පොකුරත් එක්ක කේක් එකක් ගේන එක අමතක කරන්නෙ නෑ. ඒත් නෝනා හරි බයයි. එළියෙ රන්ඩු නොවුණට ගේ ඇතුළේ දී නිතරම කෑ ගහනවා ඇහෙනවා. මොන වැරදි කළත් ගෙදරට වෙන්න ඕන දේවල්, නෝනට දරුවන්ට වෙන්න ඕන දේ හරියටම කළා. නෝනා ඒ කාලේ නම් හොඳට හිටියා. අපිට නිතරම කිව්වා සර්ට නිතර තරහ යනවා, රන්ඩුවට යනවා ඔයාලා සර්ව බලාගන්න කියලා.

මගෙන් වුණත් හිටපු ගමන් අහනවා ජීවිතේ ඉස්සරහට මොකද කරන්නෙ කියලා. එක දවසක් මම කිව්වා මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කියලා. සර් මට ඒකට උදව් කළා. සතියේ දවසක හවස 5 ට බොරැල්ලේ තිබුණු පංතියට ගල්කිස්සේ ඉඳන් යන්න වෙලාව මදි නිසා උසාවි ඉවර වෙලා එනගමන් මාව කුරුඳුවත්තේ බැරැක්කෙන් බස්සලා යනවා. එහෙම හොඳ ගති තිබුණත් යකෙක් වෙන්න යන්නෙ ටික වෙලාවයි.

සරත් ද ආබෲ දැන් මිය ගොසින් ය. නමුත් ඔහු ඉතිරිකර ගිය ඛේදනීය අතීතය අධිකරණයේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් වටිනා ප්‍රස්තූත ගණනාවක් ඉතිරි කර හමාරය.

අධිකරණ සේවා කොමිසම ක්‍රියාත්මක වුවද තවමත් මෙරට අධිකරණය සහ එහි විනිසුරන් පිරිසිදු නොවන බව නැවත නැවතත් මතක් කිරීම වටී. තවත් සරත් ද ආබෲලා අවැසි නොවන අධිකරණයක් වෙනුවෙන් ද සීලාචාර රටක් සහ දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් ද අධිකරණයේ පිරිසිදු බව ප්‍රතිශ්ඨාපනය කිරීමේ කාර්ය තවමත් නව රජයට ඉතිරිව තිබේ.

සටහන – ඉරුදින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!