Gossip

කළු කෙල්ලන්ට සුබම සුබ ආරංචියක්

නූතන කාන්තාවන් අතර පවත්නා ‘පොදු සිහින’ පිළිබඳ විමසුමක් කළ හොත් සම සුදු පැහැ කරගැනීම ඉන් මුල් තැනකටම පැමිණෙනු නියතය.

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි කාන්තාවන් තුළ පවත්නා මේ ‘සුදු වීමේ උන්මාදය’ මෑතකදී ඇරඹි ශීඝ්‍රයෙන් වර්ධනය වන්නකි. එමෙන්ම කාන්තාවන් තුළ පවත්නා මේ සුදු වීමේ උනන්දුව සමාජගත කිරීම සඳහා වෙළඳ ප්‍රජාවෙන් ලැබී ඇති පිටිවහල ද කිසිවෙකුටත් රහසක් නොවේ.

මීට දශක කිහිපයකට පෙර වෙළඳපොළට හඳුන්වා දුන් සම සුදු වීමේ ක්‍රීම් වර්ග වල සිට පෙති වර්ග සේම එන්නත් වර්ගද අතිශයින් ජනප්‍රිය වී තිබේ. නමුදු මේවා හුදෙක් පිළිගත් ඖෂධ නොවන බවද විශේෂයෙන් කිව යුතුය. එබැවින් මේවායින් සිරුරට සිදුවන පිළිකා හානි ඇතුළු බිහිසුණු ප්‍රතිවිපාක ගැන වටහා ගත හැක්කේ කතුන් ඒම ඛේදවාචකයන්ට ලක් වූ පසුවය. එමෙන්ම එවන් කාන්තාවක් පිළිකා වැනි බිහිසුණු රෝගයකට ලක් වූ පසු හේතුව නිශ්චය කරගැනීම පිණිස වන ක්‍රමෝපායන්ද ඉතා අඩු බව කිව යුතුව තිබේ.

කාන්තාවන් තුළ පවත්නා මෙම ‘සුදු වීමේ උන්මාදය’ ප්‍රයෝජනයට ගත් පිරිස් අතර රූපලාවන්‍ය ආලේපන, පෙති, එන්නත් නිශ්පාදකයන් සහ අලෙවිකරුවන් සේම රූපලාවන්‍යාගාර හිමියන්ද හිඳිනා බව නොරහසකි. මේ පිළිබඳව ජනමාධ්‍ය කෙරෙහි සංවේදී වන ඔබට ඔවුන් කවුරුන්දැයි පැහැදිළිවම හඳුනාගත හැක. එ‍හෙත් කාන්තාවන් තුළ පවත්නා මේ ‘සුදු වීමේ උන්මාදය’ ට සැබෑ හේතුව අප මානව, සමාජ සහ මනෝ විද්‍යාත්මකව ද හඳුනා ගත යුතුය.

මේ අතර ඇතැමුන් හට තරුණ වියේ දී වැළදෙන Body Dysmorphic Disorder රෝග කාණ්ඩයක් තිබේ. ශරීරයේ යම් යම් ඉන්ද්‍රියන්හි ප්‍රමාණය, හැඩය, පැහැය ආදියේ ඌණතාවයන් ඇතැයි සිත තුළ පැන නගින පීඩනය මුල්කොට ගත් මෙම රෝග කාණ්ඩය සඳහා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුමය.

ලොව ප්‍රකට ගායක මයිකල් ජැක්සන් පවා මෙම රෝගයෙන් පෙළුණු බව පැවසේ.

එහෙත් නූතන සමාජයේ පැතිර පවත්නා මේ ‘සුදුවීමේ උන්මාදය’ තුළ ඇත්තේ එවන් මානසික සෞඛ්‍යය සම්බන්ධ ගැටලුවක් නොවේ. රූමත් බවේ සංකේතය ‘සුදු’ ය යන ජන විඥානය තුළ පවත්නා පොදු මිථ්‍ය‍ා ආකල්පයයි. එය නූතන වෙළඳ ප්‍රචාරණ මාධ්‍ය මඟින් නැවත නැවත කුලුගැන්වීම නිසා එය සමාජ උන්මාදයක් බවට පත්ව තිබේ.

‘සුදු’ යනු රූමත් බවේ සංකේතයක් වන්නේ කෙසේද?

මෙය පළමුව මානව විද්‍යාත්මකව විමැසිය යුතු පැනයකි. දුරාතීතයේ අප රට ඇතුළු ඉන්දියානු උප මහද්වීපයේ ජීවත් වූයේ ‘කළු සම’ සහිත මිනිසුන්ය. ඉන්පසුව ඉතිහාසයේ ආදීතම කාලයක මධ්‍ය ආසියාවේ ටෙක්සාස් තණ බිම් ආශ්‍රිතව ජීවත් වූ සුදු පැහැති සම සහිත ජන කොටසක් දේශගුණික විපර්යාස ආදී හේතූන් මත ඉන්දියානු උප මහද්වීපයටත්, යුරෝපයටත්, මැදපෙරදිගටත් සංක්‍රමණය වූහ.

‘ආර්යය’ යනුවෙන් පසුව ඉන්දියාවේ දී හැඳින්වෙන ලද්දේ මෙම සුදු පැහැති ජන කොටසය. එ‍හි දී එවක ඉන්දියානු උප මහද්වීපයේ සිටි ස්වදේශිකයන් හෙවත් කළු සම සහිත වූවන් ගේ සමාජ තලය තලා පෙලා දමන්නට මෙම ‘ආර්යයෝ’ දැඩි වෙහසක් දැරූහ.

‘සුදු’ හෙවත් ‘ශුක්ල’ උසස් ලෙසත්, ‘කළු’ හෙත් ‘කෘෂ්ණ’ පහත් ලෙසත් සැලකූ ඔවුහු එවක ඉන්දියාවේ කළු මිනිසුන් ඇදහූ දෙවිවරුන් සම්බන්ධ දේව සංකල්ප වලට නවතම ‘පුරාණෝක්ති’ ලබා දී කළු පැහැයෙන් යුතු එම දෙවිවරුන් එලෙසින්ම වන්දනා කරන්නට වූහ.

පසුකාලීනව හින්දු ආර්යයන් විසින් ප්‍රමුඛතම තලයෙහි ලා අදහන්නට වූ විෂ්ණු සහ ඔහු ගේ අවතාරයක් වන ක්‍රිෂ්ණ කළු පැහැයෙන් යුතු වන අතර ශිව හෙවත් ඊශ්වරද කළු පැහැයෙන් යුත් දෙවියෙකි. එලෙස කළු පැහැති දෙවිවරුන් අදහන්නට වූ සුදු පැහැති ආර්යයන් කළු පැහැති ජනතාව ආර්ය සමාජයේ දාසයන් සේ සලකන්නට වීම විස්මයකි.

එමෙන්ම අනාදිමත් කාලයක අප රටේ ජීවත් වූ රාවණා, විභීෂණ ආදී දෙවිවරුන්ද ඒකාන්ත වශයෙන්ම කළු පැහැයෙන් යුතු වූ අතර ආර්යයන්ගේ පුරාණෝක්ති වල එන ‘සුර අසුර යුද්ධය’ මෙම ‘සුදු කළු’ මිනිසුන් අතර ඇති වූ සමාජ අරගල සංකේතනය කරන්නකි. එහිදී රාම රාවණා යුද්ධයේ දී රාවණ සහ විභීෂණ යන රජවරු ‘රාක්ෂස’ ලෙස ‍නම් කොට ඇත්තේ ඔවුන්ගේ සමේ පැහැය ද සලකමිනි. එහිදී ‘සුර’ හෙවත් ‘ශුක්ල (සුදු)’ පක්ෂය ගන්නා රාම රජු විෂ්ණුගේ දස අවතාර වලින් එකක් සේ සැලකූ ‘ආර්යයන්’ කළු සමකින් යුත් විෂ්ණුට වැඳුම් පිදුම් කිරීම හාස්යෝත්පාදකය.

එමෙන්ම දුරාතිතයේ දී ශ්‍රී ලංකාව ‘තම්බපණ්නී’ නම් ‘යකින්නන් ගේ දේශයක්’ ලෙස ආර්යයන්ගේ ලේඛණ වල සඳහන් වෙයි. පන්සිය පනස් ජාතක පොතේ ද ‘වලාහස්ස හෙවත් වලාහක’ ජාතකය ඊට කදිම නිදසුනකි. එහි පැවසෙනුයේ අතීතයේ මෙහි වාසය කොට ඇත්තේ ‘මිනී කන යකින්නක්’ බවය. ‘මිනී කන යකින්නක්’ නම් අනිවාර්යයෙන් කළු පැහැ විය යුතු බවත් සුදු පැහැයෙන් යුතු ‘මිනී කන යකින්නන්’ සිටිය නොහැකි බවත් අපට බැලූ බැල්මට වුව වැටහෙනු ඇත.

එමෙන්ම දුරාතීතයේ අප රටෙහි ජීවත් වූ යක්ෂ ගෝත්‍රිකයන්ද ඒකාන්ත වශයෙන් ‘කළු පැහැ’ සමින් යුතු වන්නට ඇති අතර ඔවුන් අතර රුවැති කාන්තාවන් සේම අභිරූපිකාවන්ද සිටි බව පිළිගැනීමට අපට සිදුවේ.

ලක් ඉතිහාසයේ මුල්ම රජ බිසව විය යුතු ‘කුවේණිය’ ද එවැනි කළු අභිරූපිකාවක බවට සැක නැත. එහෙත් පාලි වංශකතාවේදී ඇය හඳුන්වා ඇත්තේ ‘කුවණ්ණා’ යනුවෙනි. ‘කු+වණ්ණා’ යන්නෙහි අරුත අයහපත් වර්ණයක් ඇත්තිය යන්නය. මෙහි ආර්යවාදී ලේඛකයා ‘අයහපත් වර්ණය ‘ ලෙස දකින ලද්දේ කළු පැහැය බව ඒකාන්ත සත්‍යයකි. ආර්යයන්ගේ ප්‍රමුඛතම දෙවියකු වන ‘ශිව’ හැඳින්වෙනුයේ ද ‘මහා කාල’ යනුවෙනි. එහි සිංහල අරුත ‘මහ කළු’ යන්නය. ‘කාලි’ යන්න ‘කාල’ යන්නෙහි ස්ත්‍රී වාචිකයයි. එහි වචනාර්ථය වනුයේ ද ‘කළු තැනැත්තිය’ මිස අන්කිසිවක් නොවේ.

මහා වංශයෙහි දැක්වෙන ආකාරයට යුද්ධයෙන් පැරදී ‘වලගම්බා රජු’ පලා යන විට ගිරි නිගණ්ඨයා කෑ ගැසුවේ ‘පලා යති මහා කාල සීහලෝ’ යනුවෙනි. එහි සිංහල අරුත ‘ මහා කළු සිංහලයා පලා යනවෝ’ යන්නය. මෙය ‘මහා කළු’ බව හා සිංහල කම කෙතරම් සම්බන්ධ දැයි මනාව හුවා දක්වන්නකි. ඒ කෙසේ හෝ මෙකී සකල විධ ජන සංයුතිය තුළ කිසිදු ‘කළු අභිරූපිකාවක’ නොසිටියේ යැයි නිගමනයට එළඹිය හැක්කේ කෙසේද?

අප ඉහත දැක්වූ ආර්යයන් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පසු එහි ශිෂ්ඨාචාර ගොඩනගා ගනිමින් ශීඝ්‍ර දියුණුවකට පත් වූහ. ඒ වන විට එම රටවල සිටි ‘සුදු ජාතිකයන්’ සහ සම්මිශ්‍රණය වූ ඔවුහු වෙළඳාම් සහ ආක්‍රමණය පිණිස දේශ සංචාරය කරන්නට ද පටන් ගත්හ. එලෙස අප රටට පැමිණි මුල්ම අපරදිග ආක්‍රමණික පිරිස වූවෝ පෘතුගීසීහුය.

එවක සිටි සිංහලයන් පෘතුගීසීන්ගේ සුදු සම දෙස බලන ලද්දේ අතිශය පිළිකුලෙනි. සිංහලයන් තුළ පැවැති සුදු සම මුල්කොට පැවැති ඒ පිළිකුල කොතෙක්ද යන් ඔවුන් පෘතුගීසීන් හඳුන්වනුයේ ‘පරංගි’ යන නමිනි. ඊට හේතුව පෘතුගීසින්ගේ සමේ පැහැය අනුව ඔවුන්ට කිසියම් රෝගයක් (Yaws) වැළඳී ඇතැයි එවක ශ්‍රී ලාංකිකයන් අනුමාන කළ බැවිනි. එහෙත් පසුකාලීනව අප රටට පැමිණි ඕලන්ද ජාතිකයන් අප සමාජයේ බටහිර ශිෂ්ටාචාර ලක්ෂණ ව්‍යාප්ත කරත්ම ‘සුදු පැහැය’ කෙරෙහි සිංහලයන් තුළ පැවැති සාම්ප්‍රදායික පිළිකුල කෙමෙන් අඩුවී ගොස් ‘සුදු’ වටිනා වර්ණයක් ලෙස ඔවුන්ට දිස්වන්නට විය.

සිංහලයන් තුළ පැවැති මෙම ආකල්ප පෙරළිය උඩුයටිකුරු වීමට පටන් ගත්තේ ඉංග්‍රීසි අධිරාජ්‍යය ලෝකයම යටත් කර ගත් පසුබිමකය.

දහ අට වෙනි සියවසේ යුරෝපයේ ඇති වූ ‘කාර්මික විප්ලවය’ මුල්කොට ගත් ලෝක පිළිගැනීමද දාහනවවෙනි සියවසේ දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසි යටත් විජිතයක් වීමද සිංහලයන් තුළ පැවැති දේශමාමකත්වය සිදී බිඳී ගොස් අධිරාජ්‍ය ගැති මානසිකත්වයක් දේශීය ජන විඥානය තුළට පිවිසීමට හේතුවිය. ඒ සමඟ ශ්‍රී ලාංකීය ජනතාව තුළ ‘සුදු සම’ කෙරෙහි අැති ගෞරවණීය ආකල්ප ජනිත වූ බව පෙනේ. මේ වන විටත් ලෝකය පුරා ‘සුදු යනු ලස්සනය’ යන සමාජ මිථ්‍යාව පැතිර පවතිනුයේ ඉහත සඳහන් සමාජ මනෝ විද්‍යාත්මක සාධකය අනුවය.

සුදු පැහැය කළු පැහැයට වඩා වේගවත්ව නෙත් ඇද ගන්නා බව නොරහසකි. ඒ නිසා කළු කාන්තාවකට වඩා සුදු කාන්තාවක් මූලිකව ආකර්ශනයකට ලක් විය හැක. එහෙත් ඒ නෙත් ඇද ගැනීම ‘සිත් ඇද ගැනීමක්’ සේ හුවා දැක්වීම ඉඳුරාම වැරදිය.

කාන්තාවකගේ රූමත්කම සඳහා මූලිකව ඉවහල් වනුයේ මුහුණ ඇතුළු ශරීරාංග මනා සේ පිහිටීමය. පංච කල්‍යාණයෙහි එන ‘ඡවි කල්‍යාණය’ සුදු පැහැය ලෙස සමහරුන් අර්ථ දැක්වුවද එය ඉඳුරාම වැරදිය. එහි දැක්වෙනුයේ සමෙහි ‘නිරෝගී බව’ පදනම් කර ගත් ‘ඔපය’ සහ ‘පැහැපත් බව’ (Fairness) මිස සුදු පැහැය නොවේ. මා එසේ කියන්නේ ‘සුදු පැහැයට’ අමතරව තවත් පැහැයන් ඕනෑතරම් ඇති බැවිනි.

ඒ කෙසේ හෝ නවීනතම ලෝක දත්තයන් අනුව ‘සුදු සම’ කෙරෙහි තිබූ වටිනාකම වර්තමානය තුළ ශීඝ්‍රයෙන් අඩුවෙමින් තිබේ. උපතින්ම ‘සුදු සමක්’ සහිත යුරෝපීය කතුන් තම පැහැය අඩුකොට ‘ලෝකඩ පැහැ’ (Bronze Skin) සමක් ඇති කර ගැනීමට දක්වන උනන්දුව සුළුපටු නැත. ඊට අමතරව සුදු සහ නීග්‍රෝ ජාතික මාපියන්ගේ දරුවන්ට හිමි ‘මුලාටෝ (Mulatto) ඡවි වර්ණයටත් ඊට අමතරව කළුවර දැව සහිත ඡවි වර්ණයටත් (Ebony) ලොව ඇති පිළිගැනීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

යුරෝපයේ ශීත සෘතුවේදී නිවර්තන කලාපීය රටවලට පැමිණ සිත් සේ ‘හිරු රැස් නාන’ කතුන් නැවත එම රටවලට ගොස් ඔබ දැන් ‘ලෝකඩ වර්ණයට’ නැතහොත් ‘කළුවර දැව වර්ණයට’ පැමිණ ඇතැයි සෙස්සන් පවසනු අසා සිටින්නේ මහත් ආඩම්බරයෙනි. එය තම ධනය මත පදනම් කර ගත් නිවර්තන කලාපීය සංචාරය ප්‍රකට කරවන ලක්ෂණයක් ලෙසද ඔවුහු සලකති.

පසුගිය දශක කිහිපය තුළ කළු ජාතිකයන් සුදු ජාතිකයන් අභිබවා ලෝකයේ ප්‍රමුඛතම ස්ථාන වලට පත් වීම අප රටේ වැසියන් අතීතයේ සුද්දන්ට දැක්වූ ඇල්ම මෙන් වර්තමානයේ සුද්දන් කළු ජාතිකයන්ට දක්වන ඇල්ම මනාව ප්‍රකට කරන්නකි.

කළු පැහැති සමක් හිමි බැරැක් ඔබාමා ලෝකයේ ප්‍රමුඛතම රාජ්‍ය නායකයා බවට පත් වීමත් එවැනිම කළු සමක් හිමි මිචෙල් ඔබාමා ලොව මුල්ම ගැහැනිය බවට පත් වීමත් එහි අග්‍රපලයකි. එමෙන්ම ලෝකප්‍රකට ගායිකාවක වූ විට්නි හූස්ටන් ඇතුළු තවත් ලෝක පූජිත කාන්තාවන් කළු පැහැයෙන් යුතු වීම නිසාත් මේ වන විට ජාත්‍යන්තර රූප රාජිනී තරඟ සඳහා කළු යුවතියන්ගේ ඉදිරිපත් වීම වැඩි වෙමින් පවතී. එනිසාම ඔවුන්ගේ ජයග්‍රහණයන් ප්‍රමාණයද ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

ඒ අතර අප රටේ කාන්තාවන් තුළ වර්තමානයේ පවත්නා ‘සුදු වීමේ උන්මාදය’ අනාගත තරුණියන් ගේ උපහාසයට ලක් වීම කෙසේ වත් වැලැක්විය නොහැකි යැයි මට සිතේ. ඊට හේතුව අනාගතයේ සුදු පැහැයට වඩා කළු පැහැය රූමත් බවේ සංකේතයක් ලෙස ලෝක පිළිගැනීමට ලක්වන බැවිනි.

මානව වංශ විද්‍යාත්මක සාධක අනුවද එවැන්නක් සිදුවීමේ පසුබිම දැනටම නිර්මාණය වෙමින් පවතී.

එබැවින් කළු යුවතියනි, සමේ පැහැය නිසා මෙතෙක් සමාජයෙන් කොන් වූ ඔබ ‘සුදු’ යුවතියන්ද අභිබවා පෙරට එන දිනය උදාවන්නට වැඩි කාලයක් නැත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!