Gossip

“1958 අවුරුද්දේ ඉදලා කොණ්ඩේ කපනවා.දෙයියනේ කියලා එදා ඉඳන් ජීවත් වුණේ මේ රස්සාවෙන්.” – අවුරුදු 60 ක් කතුරෙන් කොණ්ඩේ කපන රන්බණ්ඩා මාමා

මං 1958 අවුරුද්දේ ඉදලා කොණ්ඩේ කපනවා. අවුරුදු හැටක් තිස්සේ තැන් කීපෙකම රස්සාව කෙරුවා.
දැන් මේ ඉන්න තැන තමයි වැඩිම කාලයක් හිටියේ. මෙතෙන්ට ඇවිල්ලා මේ වෙනකොට අවුරුදු තිස්පහකට වැඩියි.
එදා ඉඳන් මේ වෙනකන් මං කොන්ඩේ කපන්නේ කතුරෙන්. මැෂින් ආවට පස්සෙත් මං කතුරෙන්ම තමයි කැපුවේ.
තව මට අවුරුද්දක් හමාරක් මේ රස්සාව කරන්න පුලුවන් වෙයි. ඒ ටිකටත් කතුරෙන්ම තමයි රස්සාව කරන්න හිතන් ඉන්නේ.
දෙයියනේ කියලා එදා ඉඳන් ජීවත් වුණේ මේ රස්සාවෙන්. දරුවෝ උස්මහත් කෙරුවේ, ඉගැන්නුවේ හැමදේම කෙරුවේ මේකෙන්.
ඇත්තටම ජීවිතේ මට මහා ලොකු දුකක් කියලා දෙයක් දැනිලා නෑ.
රන්බණ්ඩා මාමා අතීතය, වර්තමානය වචන වැලකින් එකිනෙක යා කළේය.
තඹුත්තේගම නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ ඔබ්බෙන් පිහිටි කොත්මල්පුර හන්දියට වී කරණවෑමියකු ලෙස දවස සරි කරන ඒ.ඒ. රන්බංඩා මහතාගේ කතාව අපූර්ව එකකි.
ජීවන මංපෙතේ හැත්තෑ හයවැනි සැතපුම තෙක්ම පැමිණ ඇති ඔහු එදා සේම අදත් කතුරෙන්ම කොණ්ඩය කපනුයේ බොහෝ වෙනස්වීම් ඉවසීමෙන් දකිමිනි.
1942 වර්ෂයේ අගෝස්තු මස 13 වැනිදාවක උපත ලබා ඇති අයගම ආරච්චිගේ රන්බංඩා මහතා දොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැනියාය.
ඔහුට සහෝදරයන් හත්දෙනෙකුත් සහෝදරියන් හතරදෙනෙකුත් විය. සහෝදරියන් තිදෙනෙකුම මේ වන විට ජීවිත ගමන හැර ගොස්ය. එක් සහෝදරයෙක් ද මේ ජීවිත ගමන අතරමඟ නවතා නික්ම ගොස්ය.
මහනුවර, ගලගෙදර, මිණිගමුව රන්බංඩා මහතා උපන් ගමය. මිණිගමුව කනිෂ්ඨ විද්‍යාලයට යන්තමින් දෙවන ශ්‍රේණිය තෙක් පාසල් ගොස් ඇති ඔහුට පොතක්, පතක් කියවා ගැනීමේ හැකියාවත්, අකුරු ගළපා ලියුමක් ලිවීමේ හැකියාවත් ඇත. අකුරු ඉගෙනීමේ කලාව අතහැර කොණ්ඩ කැපීමේ කලාවට ආ හැටි රන්බංඩා මහතාට හොඳට මතකය.
ගෙදරින් අනිත් අයට උගන්නන්න තිබ්බ උනන්දුව මට උගන්නන්ඩ තිබුන් නෑ. මං ඉගෙන ගන්ඩත් එච්චර දක්ෂත් නෑ. ටිකෙන් ටික මටත් ඉගෙනගැනිල්ල එපා වුණා. පස්සේ නිකංම ඉස්කෝලේ යන එක නැවතුණා. ඊට පස්සේ ජීවත් වෙන්ඩත් මොනවා හරි කරන්ඩ ඕන හින්දා පේරාදෙණියේ දාස් කියන මුදලාලි ළඟ සැලුන් වැඩ පුරුදු වෙන්ඩ ගියා.
එයා ඉන්දියාවේ ඉඳලා මෙහේ ඇවිල්ලා සිංහල ගෑනු කෙනෙක් බැඳලා හිටියේ. එතැන මාස හයක් විතර වැඩ පුරුදු වුණා. එක පාරටම කොණ්ඩේ, රැවුල කපන්ඩ දෙන් නෑ. මුලින් බලාගෙන ඉන්ඩ ඕන. සබන් දිය කරන්ඩ, කෙස් අතුගාන්ඩ වගේ දේවල් තමයි කෙරුවේ.
ඇඟිලි දෙකට කතුර හුරු කරගත්තට පස්සේ ටික ටික කපන්ඩ දෙනවා. ඔහෝම තමයි ඉගෙන ගත්තේ.
කතුර දාන්නේ මොන ඇඟිලිවලටද? දැන් මගේ ප්‍රශ්න ඇසීමේ වාරයයි.
මාපට ඇඟිල්ලටයි වෙදැඟිල්ලටයි තමයි කතුර දාන්නේ. රෙදි කපන විදිහට කොණ්ඩේ කපන්ඩ බෑ. රන්බංඩා මාමා කීය.
ඉතිං ඊට පස්සේ මොකද වුණේ.
ඊට පස්සේ තැන් කීපෙකම වැඩ කෙරුවා. කොළඹ, මරදානේ තැනක වැඩ කෙරුවා. නුවර දළදා වීදියෙත් තැනක කාලයක් වැඩ කෙරුවා. ගම්පොල, අඹගමුව පාරේ තැනකත් අවුරුදු තුනක් විතර වැඩ කෙරුවා. පස්සේ කොත්මලේ, කඩදොර ගමට ආවා එතැන අවුරුදු 16 ක් එක දිගට වැඩ කෙරුවා. එතැන ඉන්න කොට තමයි මෙහෙට එන්න පොට පෑදුණේ.
ඒ කොහොමද? මම යළි ඇසීමි.
කොහොමද කියන්නේ ඒ කාලේ තමයි මහවැලියෙන් කොත්මලේ වේල්ල බැදලා ජලාශේ හදන්න ගත්තේ. මං වැඩකරපු කඩදොර ගමත් ජලාශෙට යට වුණා. එහේ හිටපු මිනිස්සු මෙහෙට ආවා. මාත් ඒ කට්ටියත් එක්ක මෙහාට ආවා. ඒ ආපු ගමන තමයි තාමත් මේ ඉන්නේ. 82 අවුරුද්දේ තමයි ආවේ. දැන් අවුරුදු 36ක් තිස්සේ මෙහෙට වෙලා කොණ්ඩේ කපනවා. කොච්චර කෙරුවත් මගේ කොණ්ඩේ මට කපාගන්ඩ බෑ. ඒකට ඉතිං වෙන කෙනෙක් ළඟට යන්ඩ ඕන.
ඔහුගේ වියපත් මුහුණේ නිර්ව්‍යාජ සිනහවක් මතුවෙයි. මේ සියල්ලක් අතරේ යන්තන් අවුරුදු දාහතක් පමණ විට 1959 වසරේ දී තම අවැස්ස නෑනා සමග විවාහ දිවිය අරඹා ඇති රන්බංඩා මහතා දැන් දරුවන්ගේ දරුවන් ද දුටු මුත්තා කෙනෙකි. වාසනාවන්ත දියණියන් දෙදෙනකුටත්, පුතෙකුටත් රන්බංඩා යුවළ මවුපියන්ය.

කසාද බැන්ඳට පස්සේ නුවර, උලපනේ නෝනගේ ගමට ආවා. එදා ඉඳන් අද වෙනකන්ම ස්ථිර පදිංචිය එහේ. මං දැනුත් පෝය දවසට ගමට යනවා. ඒ ගියහම දවස් තුන හතරක් ඉඳලා එනවා. පුතාල එහෙම කියනවා දැන් තාත්තා ගෙදරට වෙලා ඉන්ඩ කියලා. ඒත් දැන්ම ගෙදරට වෙලා නිකංම ඉන්ඩ ගියොත් ඉක්මනින් අසනීප වෙයි කියලා හිතෙනවා.

අනිත් එක මං මහලොකු ඉතිරියක් කරලා නෑ. හම්බ කරපුවා දරුවන්ට ඉගෙන ගන්ඩ වියදම් කෙරුවා. කාලා බීලා සන්තෝසෙන් හිටියා. මට කාගෙ හරි මඟුලකට, මර‍ෙණ්කට යන්ඩ එහෙම ඕන වුනොත් මං කැමැති නෑ දරුවන්ගෙන් වුණත් සල්ලි ඉල්ලන්ඩ. ඉල්ලුවොත් නොදී ඉන්නේ නෑ. ඒත් මං කැමති නෑ.
1958 වසර වන විට කොණ්ඩය කැපීමට ශත විසිපහක මුදලකුත්, රැවුල කැපීම සඳහා ශත පහළොවකුත් අයකළ බව රන්බංඩා මාමා පැවසීය. 1982 වර්ෂයේ දී කොත්මල්පුරට පැමිණි මුල් වකවානුවේදී දරුවකුගේ කොණ්ඩය කැපීම සඳහා රුපියල් දෙකකුත්, වැඩිහිටියකුගේ කොණ්ඩය සහ රැවුල කපනු සඳහා රුපියල් පහකුත් අයකළ බව හෙතෙම පැවසීය.
අදත් මං තමයි මේ පැත්තෙන්ම අඩුවට කොණ්ඩේ, රැවුල කපන්නේ. මං ලොකු කෙනෙක්ගේ කොණ්ඩේ කපන්ඩ ගන්නේ රුපියල් සීයයි. රැවුලකට රුපියල් පනහයි. ලොකු දරුවකුට හැත්තෑවකුයි, පොඩි දරුවකුට පනහකුයි ගන්නවා. කොච්චර දේවල් වෙනස් වුණත් අදටත් මං ළඟටත් එන කට්ටියක් ඉන්නවා. සමහරු මං එනකන්ම ඉන්නවා
කොණ්ඩේ කපාගන්නඩ. ඒක හිතවත්කම හින්දත් වෙනවා. සමහරු පුරුද්දටත් එනවා. තරුණ ළමයි නම් එනවා අඩුයි. ඒත් ඒ ගැන අහිතක් නෑ. මං අදටත් මේ ඉන්නේ මගේ තැනක නෙමෙයි. හිතවත්කමට ඉන්නේ. කෑම බීම ටික දෙන්නෙත් මේ අයමයි. මට මෙහේ ඉඩකඩම්, ගෙවල් තියාගෙන මොකටද. මගේ කවුරුවත් මෙහේ එන්නේ නෑනේ. මං නැතිවුණ දාට මෙහෙත් එක්ක තියෙන සම්බන්ධකම් ඔක්කොම ඉවරයි. ඒක තමයි ජීවිතේ කියන්නේ. මං තවම සිල් ගත්තේ නම් නෑ. ඒත් උදේට, හවසට බුදුන්ට,දෙවියන්ට මල් පහන් තියලා, හවසට වැවෙන් වතුර ටිකක් නාගෙන හිතේ සැනසීමෙන් ඉන්නවා.
අත්දැකීමෙන් පිරුණු රන්බංඩා මහතාගේ මනස් විල දැන් නිසලය. එහි තැතිගැන්මක් හෝ කලබලයක් නැත. රජකු වුවත් කරනවෑමීයා අභිමුව හිස පහත් කළ යුතුය. එදා මෙන්ම අද ද එය එසේමය. හිස කොණ්ඩය කැපීම සහ රැවුල බෑම ද එක්තරා කලාවකි. ඒ කලාවට වසර හැටක් තිස්සේ පණ දෙන රන්බංඩා මාමාට සම්මාන දෙන්නට කිසිවෙක් නැත. ඔහු සම්මාන ඉල්ලන්නේ ද නැත. හෙතෙම නිදුක් නිරෝගීව, ආයුෂ ලබා සොබාදහමේ සම්මාන ලබන්නෙකි. රංබණ්ඩා මහතා සමීප ඥාතීන් කිසිවෙකුත් නොමැතිව ජීවිතයේ වැඩි කලක් ගෙවා දමා ඇති මේ කොත්මල්පුර ගමත්, ආසන්නයේ ඇති තඹුත්තේගම නගරයත් මහවැලි එච් කලාපයේ දායාදයන්ය.
මෙතැන් සිට එප්පාවල නගරය දක්වා දිවෙන මාර්ගය දෙපසින් ඇත්තේ කඩිනම් මහවැලියේ ජලාශ සඳහා සිය ගම් බිම් දන්දී මෙහි පැමිණි උදවියගේ ජනාවාසය. වික්ටෝරියා,රන්දෙනිගල, කොත්මලේ, මාදුරුඔය ආදි ජලාශ ඉදිවෙත්ම එහි සිටි උදවිය මෙහි ගෙනවිත් පදිංචි කොට ඇත්තේ නව ගම්මාන ගණනාවක් බිහිකරමිනි. කොත්මල්පුර,ගැමුණුපුර, සමන්එළිය, රන්වන්තලාගම, දෙකේ කෑල්ල, පහේ කෑල්ල ආදි වශයෙන් එසේ බිහිවු නව ගම්මාන කිහිපයකි. එපරිද්දෙන් මේ පොෙළාවේ උරුමකරුවන් සමග මෙහි ආ රන්බංඩා මාමාට එදා අහු කොන් ගැන තවමත් ඇත්තේ පැහැදිලි මතකයකි.
එදා මේ පැත්ත පළාතටම බාබර්ලා දෙතුන් දෙනෙකුට වැඩිය හිටියේ නෑ. ඔය තඹුත්තේගම ටවුන් එක පුංචි කඩපේළියක් විදිහට තමයි තිබ්බේ. මේ තඹුත්තේගම – එප්පාවල පාර පොඩි කරත්ත පාරක් වගේ තිබ්බේ. නල්ලච්චිය වැව ඒ වෙනකොට හදලා තිබ්බේ. වටේම කැලේ. හැබැයි ඉතිං බැලු බැලු අත මිනිස්සු කඩියෝ වගේ වැඩ. පුංචි අතු පැලවල් හදාගෙන මිනිස්සු පදිංචියට ආවේ. අපිටත් දෙයියනේ කියලා වැඩ තිබුණා. දැන් හැමදේම වෙනස් වෙලා. මිනිස්සු ගෙවල් දොරවල් හදාගෙන දියුණු වෙලා ඉන්නවා.
ඒත් තව තව හම්බ කරන්ඩම දගලනවා. මැරෙනව කියලා ගාණක්වත් නෑ. ප්‍රශ්නවල කෙලවරකුත් නෑ.
ලොකුම දේ කොච්චර කෙරුවත් කාටවත් සතුටක් නෑ.
රන්බංඩා මහතා ළඟ ඇති කතුරු, වාඩිවෙන පුටු ආදි සමහර ආම්පන්න ද වසර විස්සකට වඩා පැරණි ඒවාය.
ඉන් සමහරක පොඩි පොඩි ඇද පළුදුය. ඒත් වැඩගැනීමට බාධාවක් නැත. වැඩ කුටියේ ද වැඩි අරුමෝසමක් නැත. එහෙත් කුමක්දෝ නොකිව හැකි සන්සුන්කමක් එහි ඇත. අතෝරක් කලබැගෑනි මැද සතුට සොයන නුතන මානවකයන්ට එයම අහිමි වී ඇති බව රන්බංඩා මාමා කියයි. අතු පතර විහිදී යන සේ ආතුරව ඇති මේ වියපත් සමාජයට ඔහු වැනි නිරාමිස මිනිසුන් සැනසුමක් නොවේදැයි මම මෙනෙහි කළෙමි. කොත්මල්පුර ගම් මායිමේ ඇති විචිත්‍රවත් නල්ලච්චිය වැවේ සුවදායක සුළඟට ආ වඩමින් මම යළි ආ මඟට හැරුෙණමි.
මහත්තයා පත්තරේ යන දවස අනේ පොඩ්ඩක් මට කියන්න.
රන්බංඩා මාමාගේ හඩ ළඟ ළඟම ඇසෙන්නාක් මෙන්ය.

උපුටා ගැනීම – [ඩබ්ලිව්. ප්‍රදීප්]

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!