Gossip

සුරතලේට ගෙදර හදන සතුන් රෝග වාහකයින්… ඔබම හුරතල් කරලා වෛරසය සහ බැක්ටීරියා වැළඳගන්නවද..? – මේ ගැන ඔබ දැනුවත්ද..?

සාමාන්‍යයෙන් නිවසේ සිටින සුරතල් බල්ලන්,පූසන් වැනි සතුන්ට වැළදෙන රෝග මිනිසුන්ට බෝ නොවේ. එහෙත් ඇතැම් අවස්ථාවලදී අපට රෝග ඇතිකරන බැක්ටීරියා,වෛරස හා පරපෝෂිතයන් සඳහා ඔවුන් රෝග වාහකයින් ලෙස ක‍්‍රියා කළ හැකිය.

දිලීර රෝග සහ පණු රෝග සඳහා සුරතල් සතුන්ට නිසි ප‍්‍රතිකාර ලබාදිය යුතුය. දරුවන් සෙල්ලම් කරන ගෙවතු පරිසරය පිරිසිදුව තබාගත යුතුය.

සුරතල් සතුන්ගේ මළපහ දිනපතා ඉවත් කළ යුතුය

සුරතල් සතුන් ඇතිකිරීම සහ එවැනි සතුන්ට ආදරය කිරීම මෙන්ම එම සතෙකුගෙන් ලැබෙන ආදරය සුන්දර අත්දැකීමකි. එනිසා අප බොහෝ දෙනා මෙය අත්විඳින්නට කැමැතිය. මෙය සුන්දර අත්දැකීමක් පමණක් නොව ශාරීරික හා මානසික සුවයට හිතකර බවද වර්තමානයේ පිළිගත් වෛද්‍ය මතයකි. නමුත් ඇතැම් අවස්ථාවන්හිදී මෙම සතුන් මගින් අපට රෝග බෝවීමේ අවදානමක්ද තිබෙන බව දැනගැනීම වැදගත්ය.

සුරතල් සතුන්ගෙන් රෝග බෝවීම

සාමාන්‍යයෙන් නිවසේ සිටින සුරතල් බල්ලන්,පූසන් වැනි සතුන්ට වැළදෙන රෝග මිනිසුන්ට බෝ නොවේ. එහෙත් ඇතැම් අවස්ථාවලදී අපට රෝග ඇතිකරන බැක්ටීරියා,වෛරස හා පරපෝෂිතයන් සඳහා ඔවුන් රෝග වාහකයින් ලෙස ක‍්‍රියා කළ හැකිය. බොහෝ විට මෙම විෂබීජ තිබෙන්නේ සුරතල් සතුන්ගේ කෙළ,මළපහ,ලෝම ආශ‍්‍රිතවය.

බල්ලන් හා පූසන් මගින් බෝවිය හැකි සුලභ රෝග කිහිපයක්

ජලභීතිකාව (Rabies)

මේ දිනවල ඇතැම් ප‍්‍රදේශවල මෙම රෝගය පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇත. සපා කෑමකින්, සීරීමකින් හෝ අපගේ සිරුරේ තුවාලවූ සමක් මත ස්පර්ශ වීමෙන්ද රෝගී සතාගේ කෙළවල ඇති මෙම රෝග කාරක වෛරසය අප ශරීර ගතවිය හැකිය.

දිලීර රෝග (Ring worm)

සුරතල් සතාගේ සමෙහි තිබෙන දිලීර රෝග ඇතැම් විට අපගේ සමෙහි ආසාදන ඇති කළ හැකිය. කසන සුළු රතු ලප ආකාරයෙන් මෙම ආසාදන අපේ සමෙහි මතුවේ. ආසාදනය ඇත්තේ හිසෙහි නම් කෙස් ගැලවී යාමක් සිදුවිය හැකිය. මෙම රෝගය බොහෝ විට කුඩා දරුවන්ට බලපායි. සුරතලාගේ ආසාදිත සම ස්පර්ශ කිරීමෙන් දරුවන්ට බෝ විය හැකිය. එසේම නිවසේ මෙම රෝගී සතා නිතර ගැවසෙන ස්ථාන වල සහ සතාගේ ලෝම වලත් මෙම විෂ බීජ රැඳී තිබිය හැකිය.

ටොක්සෝප්ලැස්මෝසිස් (Toxoplasmosis)

මෙම රෝග කාරක පරපෝෂිතයා සිටින්නේ පූසන්ගේ බඩවැල් තුළය. මළපහ සමග අවට පරිසරයට පිටවේ.පළතුරු වර්ග,පලා වර්ග වැනි නොපිසන ලද ආහාර මෙම මළපහ වලින් අපවිත‍්‍ර වී තිබුණහොත් අපට බෝවිය හැකිය. එමෙන්ම මෙම පරපෝෂිතයාගේ තවත් ආසාදිත අවධියක් (infective stage) වෙනත් සතුන් වර්ග ගණනාවකගේ ශරීර ගතවී තිබීමට පුළුවනි. එවැනි සතෙකුගේ හොඳින් පිස නොගත් මස් ආහාරයට ගැනීමෙන් ද රෝගය බෝවිය හැකිය. නිදසුනක් ලෙස ගවමස් සහ ඌරුමස් දැක්විය හැකිය. නීරෝගී සෞඛ්‍ය තත්ත්වයේ පසුවන කෙනෙකුට මෙම රෝගය වැළඳුනහොත් බොහෝවිට රෝග ලක්ෂණ මතුවන්නේ නැත. එසේ නැතිනම් උණ,මස්පිඩු රුදාව,වසා ගැටිති කිහිපයක් ඉදිමුම වැනි සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරයි. ගැබිණි මව්වරුන්ට මෙම රෝගය වැළඳුනහොත් කළලයට බොහෝ හානිකර විය හැකිය. ප‍්‍රතිශක්තිය අඩු අයට වැළඳුනහොත් භයානකය.

ටොක්සෝකරයසිස් (Toxocariasis)

මෙය බල්ලන්ගේ හා පූසන්ගේ බඩවැල් ආශ‍්‍රිත වටපණුවන්ගෙන් සෑදෙන රෝගයකි. මෙම සතුන්ගේ මළපහ සමග පිටවෙන පණු බිත්තර ආහාර පාන හරහා ශරීර ගතවීමෙන් රෝගය වැළඳේ. මිනිස් ශරීරය තුළදී බිත්තර වලින් පිටවන පණුවාගේ මුල් අවධි (Larval stages) සමට හෝ අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට පැතිරීම රෝග ලක්ෂණ වලට හේතුවේ.

ඩයිරෝෆිලරයසිස් (Dirofilariasis )

බල්ලන්ගේ රුධිරයේ හා පටක වල ජීවත්වෙන පණු වර්ගයකි.රෝග වාහක මදුරුවෙකු ලේ උරා බීමේදී මෙම පරපෝෂිතයා අපගේ සිරුරට ඇතුල්වේ. එතරම් බරපතල රෝගයක් ඇති නොවන අතර සම යට ඇති ගැටිති වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකිය.

මෙවැනි රෝග වලක්වාගැනීම

ඔබගේ නිවසේ සිටින සුරතල් සතුන්ට නිසිවේලාවට ජල භීතිකා එන්නත් ලබාදීම කළයුතුය. සුරතල් සතා තම ගෙවත්තෙන් පිටතට නොගියත් මෙය කළ යුතුය.නිසි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතුය. බල්ලන් පූසන් වැනි සතෙකු සපාකෑමක් හෝ සීරීමක් වැනි අනතුරක් සිදුකළ අවස්ථාවකදී හැකි ඉක්මනින් රජයේ රෝහලකින් ප‍්‍රතිකාර ලබාගත යුතුය. දිලීර රෝග සහ පණු රෝග සඳහා සුරතල් සතුන්ට නිසි ප‍්‍රතිකාර ලබාදිය යුතුය. දරුවන් සෙල්ලම් කරන ගෙවතු පරිසරය පිරිසිදුව තබාගත යුතුය. සුරතල් සතුන්ගේ මළපහ දිනපතා ඉවත් කළ යුතුය. ආහාර පිළියෙල කරන ස්ථාන වල සුරතලාට ගැවසීමට ඉඩ නොදීමට පියවර ගතයුතුය. මෙලෙස ආරක්ෂාකාරීලෙස සුරතල් සතුන් ඇතිකිරීමේන් එම සතුන්ගේත් අපගේත් නීරෝගී පැවැත්ම රැකගත හැකිය.

කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂවේදී අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය නිලක්ෂි සමරනායක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!