Gossip

සයින්දමරුදු සටනේදී මරණයට අත වනමින් සිටි සහරාන්ගේ දරුවා බේරාගත් මානුෂීය මෙහෙයුම

මුස්ලිම් ජාතික හයාඞ් මොහොමඩ් සහ සමීනා හෂීම් යුවළට දාව මොහොමඞ් සහරාන් මොහොමඩ් හෂීම් උපත ලබන්නේ වර්ෂ 1985 දීය. සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන ආකාරයට වැඩිම ජනගනත්වයකින් යුත් ප‍්‍රදේශයක් ලෙස සැලකෙන කාත්තන්කුඩි වෙරළබඩ ගම්මානයක උපත ලබන මොහොමඞ් සහරාන්, මොහොමඞ් හෂීම් මෙලොව එළිය ලබන්නේ දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ලෙසින්ය.
කාත්තන්කුඩිය රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරන මොහොමඩ් සහරාන් ඉන් අනතුරුව 2001 වර්ෂයේදී කාත්තන්කුඩිය ජමියාතුල් අල් – ෆලාහ් මද්රසා දේවධර්ම විiාලයට ඇතුළත් වන අතර චතුර ලෙස අරාබි බස කතා කිරීමට සමත් සහරාන් ඉන් අනතුරුව මූලධර්මික ඉස්ලාමීය තවුහිද් වාදය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නේය. 2010 වර්ෂයේදී නාරම්මල කැකුණගොල්ල පදිංචි මුස්ලිම් තරුණියක් වන හාදියා සමග විවාහ වන සහරාන් හට වයස අවුරුදු අටක පිරිමි දරුවෙක් සහ සිව් හැවිරිදි ගැහැනු දරුවෙක් ද වෙති.
ඉස්ලාම් මූලධර්මවාදී පූජකවරයකු ලෙස පෙනී සිටිමින් මොහොමඞ් සහරාන් ඇතුළු තවත් පිරිසක් විසින් ඉකුත් පාස්කු ඉරු දින මෑත කාලීනව මෙරට සිදුකළ දැවැන්තම විපතක් සිදුකරන ලදී. අල්තාර අභියස යාච්ඤා කරමින් සිටි බාල තරුණ මහලූ විශාල පිරිසක් ඇතුළු සුපිරි හෝටල් කීපයක් ඉලක්ක කොට ප‍්‍රහාර දියත් කළ ත‍්‍රස්ත නාමාවලියේ මුලට මොහොමඞ් සහරාන් මොහොමඩ් හෂීම්ගේ නම ඒ ආකාරයට එකතු වන අතර ඔහුව ඉතිහාසයට එකතු වන්නේ ස්වදේශීය මුස්ලිම් සංවිධාන අයි. එස් සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වීමේදී ඒ සඳහා මූලික වූ 34 හැවිරිදි මිනිස් ඝාතකයා ලෙසටය.
ඉන් අනතුරුව මෙරට ආරක්‍ෂක අංශ විසින් සිදුකළ සෝදිසි කිරීමක් අතරතුර කල්මුණේ පොලිස් බලප‍්‍රදේශයට අයත් සුනාමි ගම්මානයක් තුළ සිදුවන බෝම්බ පුපුරා යෑමකදී තුවාලකරුවන් බවට පත්ව සිටි මොහොමඞ් සහරාන්ගේ බිරිඳ සහ සිව් හැවිරිදි දියණිය මෙරට ආරක්‍ෂක අංශ මැදිහත්ව බේරා ගන්නා අතර එය මෙරට ආරක්‍ෂක අංශ සතු මානුෂීයභාවය කදිමට පැහැදිලි කළ සිදුවීමක් විය.
කලක් තිස්සේ බැරැක්කවලට සීමා කර තිබුණ මෙරට ආරක්‍ෂක හමුදා සිය වික‍්‍රමාන්විත මෙහෙයුම් නැවතත් ආරම්භ කරනු ලබන්නේ ඉකුත්දා රට තුළ හටගත් අනාරක්‍ෂිත තත්ත්වයත් සමගය. පාස්කු ඉරු දින එල්ල කළ හදිසි ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග රට පුරා සෝදිසි කිරීම් ආරම්භ කරන පොලිසිය ති‍්‍රවිධ හමුදාව ඇතුළු අනෙකුත් ආරක්‍ෂක අංශ විසින් මේ වන විටත් විශාල අවි ආයුධ තොග ඇතුළු ත‍්‍රස්ත කි‍්‍රයා ආදියට සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
සිදුවීමට නියමිතව තිබූ විශාල හානියක් වළක්වා ගැනීමට ඒ හරහා හැකි විය.
සිදු කරන ලද එම සෝදිසි කිරීම් අතරතුර අන්තවාදී ත‍්‍රස්තයන් විසින් බෝම්බ පුපුරවා ගනිමින් තම තමන්ගේ ජීවිත විනාශ කරගත් සිදුවීම් දෙකක් වාර්තා විය. ඉකුත් 21 දා සවස දෙමටගොඩ මහවිල ප‍්‍රදේශයෙන් ඉන් එක් සිදුවීමක් වාර්තා වූ අතර එහිදී මියගිය පිරිස අතරට කුඩා දරුවන් දෙදෙනෙක් අයත් වූහ.
එහිම දිගුවක් ලෙස ඉහත සඳහන් දෙවැනි පිපිරීම සිදුවන්නේ ඉකුත් 26 වැනිදාය. කල්මුණේ පොලිස් බලප‍්‍රදේශයට අයත් සයින්දමරුදු ප‍්‍රදේශයේ සුනාමි ගම්මානයක් තුළ එම පුපුරා යෑම සිදුවන අතර එහිදී මරණයට පත්වන පිරිස කුලී පදනම මත ලබාගත් එම නිවස වෙත පැමිණ ඇත්තේ ඉකුත් 18 දාය.
පසුගිය 26 වැනි දින ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුණ තොරතුරු මත මෙම නිවස පරීක්‍ෂා කරන ආරක්‍ෂක අංශ වෙත ත‍්‍රස්තයන් විසින් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරන අතර ආරක්‍ෂක අංශ විසින් ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරනු ලබන්නේය. පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදා විශේෂ බළකාය, කමාන්ඩෝ බළකාය ඒ සඳහා පෙරමුණ ගන්නා අතර ප‍්‍රහාරය නිමාවට පත්වන්නේ එම ප‍්‍රදේශයේ බලය මුළුමනින්ම ආරක්‍ෂක අංශ විසින් නතුකර ගැනීමෙන් අනතුරුවය.
එම සිදුවීමෙන් අනතුරුව ඉකුත් 27 වැනිදා උදෑසන යුද හමුදාව හා පොලිසිය එක්ව ප‍්‍රදේශයේ නැවතත් සෝදිසි කිරීම සිදුකරනු ලබන්නේය. එහිදී ආරක්‍ෂක අංශ සාමාජිකයන් හට දකින්නට ලැබී ඇත්තේ පෙර දින රාති‍්‍රයෙහි අන්තවාදී ත‍්‍රස්තයන් පිරිස විසින් සිදුකර තිබූ විනාශයක තරමය. අදාළ නිවස මුළුමනින්ම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබී ඇති අතර තැන තැන පිළිස්සී ගිය ත‍්‍රස්තයන්ගේ මළ සිරුරුය.
එම සිදුවීම දෙස්, විදෙස් මාධ්‍ය මගින් ලොව පුරා ප‍්‍රචාරය කරන්නට විය. ඒ අතරින් බොහෝ දෙනකුගේ අවධානය හමුදා සාමාජිකයන් පිරිස විසින් සුන්බුන් අතර සිටි කුඩා දරුවෙක් හා කාන්තාවක් බේරා ගන්නා දර්ශනය වෙත යොමු වූහ. එම වීඩියෝ දර්ශනයට අනුව හාත්පස දකින්නට ලැබෙන්නේ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයේ තරම දැක්වෙන සුන්බුන් ගොඩක්ය.
තැන තැන මරාගෙන මැරෙන පිපිරීම් සිදුකරගත් මිනීමරු අන්තවාදීන්ගේ සිරුරු කොටස් විසිරී තිබෙන අයුරක් දැකගක හැකිය.
ඒ වන විටත් අදාළ පිපිරීම් සිදුවූ භූමියේ ආරක්‍ෂාව පිළිබඳ නිවැරැදි නිගමනයක් ආරක්‍ෂක හමුදාව සතු නොවීය. එම අවිනිශ්චිත තත්ත්වය හමුවේ පවා ආරක්‍ෂක හමුදාව රටේ ආරක්‍ෂාවත් ඒකීයභාවයත් පිණිස පිපිරීම් සිදුවූ ස්ථානයේ වැඩිදුරටත් විමර්ශන කටයුතු ආදියෙහි නිරත වෙමින් සිටියහ.
කල්මුණේ සයින්දමරුදු සුනාමි ගම්මානයේ එක්තරා නිවසක සිදුවූ මෙම පුපුරා යෑමේ සහ වෙඩි හුවමාරුවේ ප‍්‍රතිඵලයක් ලෙස ඒ වන විට මිය ගොස් සිටි පිරිස පහළොස් දෙනෙක්ය.
ඒ අතර මරාගෙන මැරෙන ත‍්‍රස්තයන් යැයි සැක කරන මළ සිරුරු තුනක්, කාන්තාවන් තිදෙනෙක්, කුඩා දරුවන් හයදෙනෙක් වූ අතර නිවසින් පිටත තවත් ත‍්‍රස්තවාදීන් තිදෙනකුගේ මළ සිරුරු දකින්නට ලැබී ඇත.
මේ අතර තවත් හමුදා භට පිරිසක් පිපිරුම් සිදුවූ නිවස ඇතුළත පරීක්‍ෂා කිරීමේ නිරතව ඇති අතර එහිදී ඔවුන්ට අසන්නට ලැබී ඇත්තේ මළවුන් අතර නොමැරී සිටින කුඩා දරුවකුගේ සිහින් කෙඳිරිලි හඬක්ය. එය හමුදා සෙබළුන්ගේ නිල ඇඳුමට යටින් ඇති හදවත් මොහොතකට සසල කළ සිදුවීමක් වී ඇත.
මුහුණ අත් පා ආදියේ පිළිස්සුම් තුවාල සහිතව උඩුකය නිරාවරණය එම ළදරුවා වෙත සමීප වන හමුදා සෙබළුන්ට දකින්නට ලැබී ඇත්තේ ඇය කුඩා දැරිවියක් බවත් තවදුරටත් ඇයට ජීවත්වීමට වාසනාව උරුමව ඇති බවත්ය. සෙබළ සිත වෙඬරු මෙන් උණු වන්නට යන්නේ මොහොතක්ය.
වහාම කි‍්‍රයාත්මක වන යුද හමුදා සෙබළෙක් ගිනිගෙන දැවෙමින් පවතින සුන්බුන් අතරින් සීරුවට අඩි තබමින් කුඩා දැරිය සමීපයට පියනගන්නේය.
එම සංවේදී දසුන මනුෂ්‍යත්වයට ජාති ආගම් ආදී පටු භේද නොමැති බව නැවත නැවතත් ප‍්‍රදර්ශනය කළ සිදුවීමක් බඳුය. ඉන් අනතුරුව මලක් මෙන් කුඩා දැරිවියව දෝතට ගන්නා යුද හමුදා සෙබළා ඇයව එළි මහනට රැගෙන එනු ලබන්නේ තාත්තා කෙනකු විසින් තම ලෙයින් ජනිත කළ දරුවකු විපතකින් ගලවා ගන්නා අයුරින්ය.
ඉන් අනතුරුව ඇයව තවත් යුද හමුදා භට පිරිසක් අතරට පත්වන අතර එතැන් සිට ඇයට ප‍්‍රථමාධාර දීම අරඹන්නේය. මේ අතර නිවස තුළ වූ සුන්බුන් අතර සිරවූ තවත් කාන්තාවක් යුද හමුදා සෙබළුන්ගේ නිරීක්‍ෂණයට ලක්වන්නේය. ඒ වන විටත් එම කාන්තාව බරපතළ තුවාල සහිතව ජීවතුන් අතර සිටින බව දකින හමුදා භට පිරිස් එම කාන්තාවගේ ජීවිතය බේරා ගැනීම පිණිස ද ඉදිරිපත් වූහ. පසුව මූලික ප‍්‍රතිකාර කිරීමක් ඒ ස්ථානයේම සිදුවූ අතර පසුව යුද හමුදාව සහ පොලිසිය එක්ව විපතට පත් කුඩා දැරිය සහ කාන්තාව අම්පාර රෝහල වෙත ඇතුළත් කිරීමට කඩිනමින් පියවර ගත්හ. ඉකුත් 27 දා උදෑසන සිදුවූ එම සිදුවීමෙන් අනතුරුව රෝහල්ගත කරන ලද කුඩා දැරිය සහ කාන්තාව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඔවුන්ට දෙවන වරටද ජීවත් වීමේ වාසනාව හිමි වන්නේ ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදාවන්හි මැදහත්වීම මතය.
ආරක්‍ෂක අංශ විසින් පසුව සිදුකළ විමර්ශන කටයුතු ආදියෙන් මේ වන විට තහවුරු වී ඇත්තේ සයින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් දිවි ගලවාගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් හෂීම්ගේ බිරිඳ හා දරුවා බවය.
සහරාන්ගේ බිරිඳ වන 24 හැවිරිදි ෆාතිමා සහ සිව් හැවිරිදි දියණිය වන රුසියා යන දෙදෙනාම ඔවුන්ගේ ඥාතීන් විසින් ද මේ වන විට හඳුනාගෙන තිබෙන අතර ඒ බව බුද්ධි අංශ විසින් ද තහවුරු කොට ඇත.
ත‍්‍රස්තවාදයට හිතක් පපුවක් නැත. ලොව කොතැන කි‍්‍රයාත්මක වුවද ත‍්‍රස්තවාදයේ හැඩරුව බිහිසුණුය. ඒ බව මෙරට තුළ ඉකුත් සිදුවීම් තුළින් දෙවැනි වරටද ඔප්පු වී හමාරය. මෙවර රට තුළ ක්‍රියාත්මක ත‍්‍රස්තවාදයේ ඇරඹුම සිදුවන්නේ අති බිහිසුණු ස්වරූපයක් පෙන්නුම් කරමින්ය. අන්තවාදී අදහස් අනුව යමින් ඔවුන් සිය සාහසිකත්වය මුදාහරිනු ලබමින් සිටින්නේ තම අඹු දරුවන්ගේ පවා ජීවිත විනාශයට පත් කරමින්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!