Gossip

විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි නිමල් ලෙව්කේ ත්‍රස්තයන් ගැන හෙළි කළ කතාව මෙන්න

සිවිල් වැසියන් මෙන් ම ආරක්ෂක අංශ සහ ඊට අදාළ ආයතන ඉදිරියේදි මෙරට ආරක්ෂාව සම්බන්ධව අවධානය යොමු කළ යුතු කරුණු රැසක්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි නිමල් ලෙව්කේ මහතා පෙන්වා දෙනවා.
රටක ආරක්ෂාව කියන්නේ දවසක දෙකක එකක් නොවෙයි. ඒක අනිවාර්යෙන්ම දීර්ඝ කාලීන සැලැස්මක් අනුව විය යුතුයි කියන එක මගේ අත්දැකීමට අනුව ප්‍රකාශ කරන්න පුළුවන්.
අනෙක් කරුණු තමයි ලෝකයේ ඕනෑම රටක ඒ රටේ ආරක්ෂාවට අදාළ අංශ නිරන්තරයෙන් ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි.
යුද්ධයක් ඇතත් නැතත් රටක ආරක්ෂාව වෙනුවෙන් නිබඳවම පවුරක් වැටක් බැද තැබිය යුතුයි.
තමන් වටේ කුමක් සිදුවන්නේද? කුමන පුද්ගලයන් සිටින්නේද? අලුත් යමක් සිදු වනවාද යන්න පිළිබඳව දැඩි විමසිලිමත් කමකින් යුතුව සිටිය යුතුය.
ත්‍රස්තවාදියා වෙනත් ලෝකයකින් හෝ වෙනත් ස්ථානයක සිටිය නොහැකියි. සමහරවිට ඔහු ඔබගේ මිතුරකුසේ පෙනී සිටිය හැකිය.
එසේත් නැත්නම් ඔහු ඔබගේ අසල්වැසියකු විය හැකිය. තවත් විටක ඔහු ඔබ දැක ඇති පළමු අවස්ථාව විය හැකිය.
ශ්‍රී ලංකාව තුළ ලෝකයේ දක්ෂතම යැයි කිව හැකි ත්‍රිවිධ හමුදාවක් මෙන් ම පොලිසියක් සිටින බව අප අමතක කළ යුතු නැත.
විශේෂයෙන් ම පොලිස් විශේෂ කාර්ය බළකාය පිළිබඳ අවධානය යොමු කළහොත් ඕනෑම බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමේ විශේෂ හැකියාව සතු සෙබළුන් නිලධාරීන් අප සතුව සිටිති.
ඔවුන්ට පණිවුඩය දැනුණු සැණින් ඔවුන් ක්‍රියාත්මක වනු ඇත. වසර තිහක යුද්ධය පැවති සමයේ විශේෂ කාර්ය බළකාය විසින් දහස් ගණනක් වූ බෝම්බ ප්‍රමාණයක් නිෂ්ක්‍රීය කර ඇත්තේ කිසිවෙකුටවත් හානි සිදු නොවන ආකාරයටය.
දෙමවුපියන් ආරක්ෂක අංශ සමඟ එක්වී එකිනෙකාට කළ හැකි දේ ඔවුන‍්ගේ උපදෙස් පරිදි සිදු කළ යුතුයි.
මට මතකයි එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ අවස්ථාවේ පාසල් සඳහා වෙනම ආරක්ෂක පියවර රැසක් ක්‍රියාත්මක කළා.
ඒ සඳහා ගුරුවරුන්, ආරක්ෂක අංශ සාමාජිකයින්, පාසල් අවට පදිංචිකරුවන් අතර හොඳ සහසම්බන්ධයක් අප ගොඩනඟා ගත්තා. යුද්ධය පැවැති අවසන් කාලයේදිවත් අප පාසල් වසා දැම්මේ නැහැ. එවකට ළමුන් පාසල් පැමිණියා. මේ තරම් අඩු සංඛ්‍යාවක් නොවෙයි. ඊට වඩා වැඩි පිරිසක් පැමිණියා.
පාසල් සාමාන්‍ය පරිදි කරගෙන ගියා. අපි හැකි ඉක්මණින් මේ තත්වයට රට නැවත ගෙන ආ යුතුයි.
අපට තිබෙන ලොකු ම අර්බුදය තමයි මේ ත්‍රස්ත්‍රවාදියා කොටි ත්‍රස්තවාදයාට හාත් පස වෙනස් වූ ක්‍රියාදාමයක සිටීම.
මේ කරුණු කිහිපය නිසා අපට යමක් අලුතෙන් සිතීමට සිදු වෙයි. යමක් අලුතෙන් සිදු කිරීමට වෙයි. ඒ මෙලෙස අන්ධභක්තිකයන් බවට පත්ව ඇති මුස්ලිම් අන්තවාදීන් එම තත්වයෙන් මුදා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. මට මගේ ජීවිතයේ ඇති අත්දැකීම් අනුව මේක පහසු කාර්යයක් ලෙස කිසිසේත් පෙන්වා දිය නොහැකියි.
ජීවිතයේ වැඩි කාලයක් යුද උපක්‍රම, යුද භූමි මෙන්ම වෙනත් රටවල ආරක්ෂක අංශ සමඟ කළ අධ්‍යයනයන්වලට එහා ගිය දෙයක් මෙහි තිබෙනවා. ඒ නිසා අප අලුත් ම උපක්‍රම මේ සඳහා භාවිතා කළ යුතුයි.
බෝම්බ පුපුරවාගත් දිනයේ දෙමටගොඩ සුවිසල් නිවසකදී මුස්ලිම් කාන්තාවක් මරාගෙන මැරෙන්නේ තමන්ගේ කුස තුළ මාස කිහිපයක් වන දරුවෙකු සිටියදීය.
ඇය ඇයගේ දරුවන් දෙදෙනාත් සමඟ මිය යන්නේ ස්වර්ගයට යා හැකියැයි සිතමින්ය.
මෙය ඉතා අමානුෂික තත්වයකි. අප මින්‍ පෙර ළමුන් සමඟ බෝම්බයක් පුපුරවා ගන්නා මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් පිළිබඳව කතා බහ නොකර ඇත්තෙමු. එහෙත් වර්තමානයේ අපට එවැනි කාන්තාවන් ගැන ද සිතීමට කාලය පැමිණ තිබේ. මෙන්න මෙවැනි කරුණු නිසා අප අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන ගැඹුරින් අධ්‍යයනය කළ යුතුව ඇත.
තවත් වැදගත් ම කරුණක් වන්නේ මෙම ත්‍රස්තවාදීන් කණ්ඩායම භාවිතා කළ තාක්ෂණ ක්‍රම වේදයන්ය.
ඔවුන්ගේ සන්නිවේදන කටයුතු ඉතා උසස් මට්ටමක ක්‍රියාත්මක කර තිබෙන බව මේ පිළිබඳව අධ්‍යයනය කරන අයෙකුට වටහා ගත හැකිය.
බොහෝ සැලසුම් විදේශ රටවල සිට ක්‍රියාත්මක කර ඇති අතර සන්නිවේදන කටයුතු ඉතා දක්ෂ ලෙස මෙහෙයවා තිබෙනවා.
මේ පිරිස දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී අන්තර්ජාලය හරහා ඒවා වැඩි වශයෙන් සිදු කර ඇති අතර ඔවුන් සන්නිවේදන තාක්ෂණය උපරිම ලෙස භාවිත කර තිබෙනවා.
පෙර තිබූ ක්‍රමවලට වඩා සන්නිවේදන කටයුතු වැඩි දියුණු වෙලා තිබෙන මොහොතක ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ ඉලක්ක කරා යාම ඉතා පහසු වෙනවා. අනික මුස්ලිම් අන්තවාදී සංවිධාන ලෝකය පුරාම ව්‍යාප්ත වී තිබෙනවා. ඔවුන් ලංකාවේ පමණක් ක්‍රියාත්මක එකක් නොවෙයි. අයි.එස්.අයි.එස්. සංවිධානය සමඟ සම්බන්ධ වී ශ්‍රී ලංකාවේ මෙලෙස ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වෙනත් රටවලත් මෙලෙස ස්ථානගතවී සිටිනවා.
ඔවුන් කුමන මොහොතක ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව කිව නොහැකි තත්වයකට පත්ව ඇත්තේ ඔවුන්ගේ සන්නිවේදන ජාලය ඒ තරමටම ප්‍රබල නිසයි.
විශේෂයෙන් ම එවකට කොටි සංවිධානය භාවිතා කළ ‘රේඩියෝ සිස්ටම්’ එකට ඇතුලු වන්නට විශේෂ කාර්ය බළකාය ක්‍රමවේද හොයා ගත්තා. නැගෙනහිරදී ඔවුන් සමඟ සටන් කරන කොට අපි අපට අවශ්‍ය විදියට වෙනස් තාක්ෂණික ක්‍රමවේදයන් සහ අප විසින් ම ‘රේඩියෝ සිස්ටම්’ (යුද්ධයකදී සන්නිවේදන කටයුතු කරන ක්‍රමවේදයකි.) නිර්මාණය කළා.
පොලිස් විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක කළ මෙම ක්‍රමවේදය පසුව ත්‍රිවිධ හමුදාවත් භාවිතා කළා. අන්න ඒ ආකාරයට අප සතුරාට වඩා නිරන්තරයෙන් ඉදිරියට යා හැකි ක්‍රමවේදයන් සකස් කර ගත යුතුයි. එවිටයි අපට සතුරා පරාජය කළ හැක්කේ.
වසර තිහක යුද්ධය පැවති මේ රටේ අප බොහෝ කැප කිරීම් සිදු කරලයි එය ජයග්‍රහණය කළේ. ඒ නිසා රටක් හැටියට මෙය ජයග්‍රහණය කිරීම සඳහා අප සියලු දෙනා කැප කිරීම් සිදු කළ යුතුයි.
2009 වසරේ මැයි 18 වනදා වසර තිහක යුද්ධයේ අවසන් දිනය ලෙස සැලකෙනවා.
මේ දවසත් මා ගත කළේ කිළිනොච්චියේ. උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. අපි එහිදී අවසන් මොහොතේ පවා රට වෙනුවෙන් එකට එක්වී අත්දැකීම් බෙදා හදා ගනිමින් තීරණ ගනු ලැබුවා. ඒවා නිවැරැදි තීරණ බව ප්‍රතිඵල අනුව පෙනී ගියා.
රාජ්‍ය නායකත්වය සහ අදාළ අංශ සමඟ තීරණ ගැනීම ඉතා ඉක්මනින් සිදු කළා.
අප සෑම අවස්ථාවකම සාකච්ඡා කර තීරණ ගනු ලැබුවා. ඒ නිසා රටේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා තීරණ යමක් වීමට පෙර කඩිනමින් සිදු කළා.
ත්‍රස්තවාදය පිළිබඳව ජාත්‍යන්තර පාඨමාලා පුහුණු සැසි බොහොමයකට සහභාගි වෙලා අත්දැකීම් රාශියක් මා සතුව තිබෙනවා. එලෙසම යුද භූමිය තුළ ලද අත්දැකීම් සම්භාරයක් සමඟ ත්‍රස්තවාදයෙන් බේරීමට ගත හැකි ක්‍රමෝපායයන් ගැන අපිට කතා කරන්න පුළුවන්.
අපි අවධාරණය කළ යුතු ප්‍රධාන කරුණක් නම් යුද්ධයෙන් පස්සේ මේ රටේ ආරක්ෂාව සම්බන්ධව මොනවද කළේ කියන එක. යුද්ධය කියන්නේ මිනිසුන්ගේ ප්‍රශ්නයක්. යුද්ධයෙන් පස්සේ අපි ඒ පළාත්වල කළේ මොනවද කියන එකත් ඉතා වැදගත් කාරණයක්.
දේශපාලනික වශයෙන් ඒ පළාත්වල වැපිරෙන්නේ අවිශ්වාස, ක්‍රෝධය, වෛරය. ඒ තත්වය වෙනස් විය යුතුයි.
ජාතික ආරක්ෂාව කියන්නේ තුවක්කුවෙන් වෙඩි තියලා පමණක් රැක ගන්න පුළුවන් එකක් නොවෙයි.
මරාගෙන මැරෙන බෝම්බකරු බිහිවන්නේ කෙසේද කියන එකත් මෙහිදී හැදෑරිය යුතු කරුණක්.
“මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් හැටියට නම් කළ හැක්කේ එක් අරමුණක් වෙනුවෙන් පමණක් කැප කරන පුද්ගලයෙක් කියන එකයි මගේ මතය. ආත්ම අභිමානය සහ භක්තිය මත රඳා පැවතීම මේ පුද්ගලයන්ගේ ප්‍රධානම ලක්ෂණයක්. පුද්ගලිකව සංවිධානාත්මක නොවූ මනසක් මෙන් ම සමාජගත නොවූ මනසක් මොහුන් සතු වෙයි.
සමාජයෙන් හෝ වෙනත් කණ්‍ඩායමක් නිසා සිත් තැවුලකට හෝ පීඩාවකට පත් වූවෙක් මෙලෙස මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් විය හැකියි.
එහෙත් මුස්ලිම් අන්තවාදී මරාගෙන මැරෙන ‍බෝම්බකරු භක්තිය මත බිහිවන බෝම්බකරු‍වෙකු බවට හඳුනාගත හැකියි.
බෝම්බකරුවන් පිරිසක් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කර අවසන් කියන නිගමනයේ අප නොසිටිය යුතුයි.
මීට වඩා දරුණු තත්වයක් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අප ගැන සැලකිලිමත් විය යුතුයි. අවදානම් තත්වය ගැන ආරක්ෂක අංශ කටයුතු කළ යුතුයි.
අවදානම් ඕනෑම ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බළකායට භාර දෙන්න කියලා මම යෝජනා කරනවා.
මන්ද පොලිස් විශේෂ කාර්ය බළාකය නිර්මාණය කරලා තිබෙන්නේ ප්‍රභූ ආරක්ෂක සේවාවක් සහ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධව ක්ෂණිකව ක්‍රියා කළ හැකි අයුරින්.
මේ සඳහා අති දක්ෂ නිලධාරීන් රැසක් පොලිස් විශේෂ කාර්ය බළකාය සතුව සිටිනවා.
එලෙසම ලෝකයේ කිසිම රටක සිදු නොකළ මෙහෙයුම් සිදු කළ ත්‍රිවිධ හමුදාවක් අප සතුයි. ඒ නිසා මේ තත්වයට මුහුණ දීමට අපට හොඳ හැකියාවක් තිබෙනවා. හැබැයි මෙය දවසින් දෙකෙන් සිදු නොකර දීර්ඝ සැලසුමකට අනුව සිදු කළ යුතුයි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!