Gossip

රියදුරෙක් මාර්ග නීති කැඩුවොත් එක් පොලිස් නිළධාරීයෙකුට ඔහුට දඩ ගහන්න පුළුවන්ද?

රථ වාහන වැරදි සම්බන්ධයෙන් එක් පොලිස් නිලධාරියෙක් පමණක් සිටින අවස්ථාවකදී නඩු පැවරීමක් කළහොත් නඩු පරාජයවීමේ හැකියාව වැඩි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා පවසයි.

මේ දිනවල ෆේස්බුක් සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණයවන ‘ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ’ ප්‍රකාශනයක් ලෙස හැඟවෙන වීඩියෝවක් පිළිබඳ කරුණු දක්වමින් ඔහු එම අදහස පළ කළේය.

මෙය තමන් විසින් ඉදිරිපත් කළ වීඩියෝවක් නොවන බව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව බීබීසී සිංහල සේවයට පැවසීය.

එම කරුණ සම්බන්ධයෙන් බීබීසීයට අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර එය “එම වීඩියෝ පටය මහජනයා නොමග යැවීමට සහ නීතියේ පාලනය බිඳ දැමීමට කළ ක්‍රියාවක්” බව කියා සිටියේය.

“මෙය නීතිය ගැන හෝ ප්‍රායෝගික දැණුම නැතිව මහජනතාව මුළා කරන්න, ද්වේශ සහගතව නීතියේ පාලනය බිඳ දමන්න කළ වීඩියෝවක්” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

‘රථවාහන පොලිස් නිලධාරියකුට වරද පැහැදිළි කරදීමකින් තොරව රියදුරු බලපත්‍රය ඉල්ලා සිටිය නොහැකි’ බවට එම වීඩියෝවේ කෙරෙන කරුණු දැක්වීමට පිළිතුරු සැපයූ පොලිස් අධිකාරීවරයා, රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනයම වැරදි ක්‍රියාවක් වන බැවින්, එය පරීක්ෂා කිරීමකින් තොරව වැරදි පැහැදිළි කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කරයි.

‘රථවාහන පොලිස් නිලධාරියකුට යම්කිසි රියදුරෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි’යයි අදාල වීඩියෝවේ කෙරෙන සඳහන නිවැරදි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රථවාහන පොලිස් නිලධාරියා තම නිල ඇඳුමෙන් සැරසී සිටියයුතු බව ඔහු පවසයි.

රියැදුරු බලපත්‍රයක් රඳවා ගැනීමකදී “තාවකාළික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමකින් තොරව බලපත්‍රය රඳවා ගැනීම වැරදි” බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වාගෙන් විමසන ලද අතර, රථවාහන වැරදි සම්බන්ධයෙන් පනවන නඩු වලදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස තවත් පොලිස් නිලධාරියෙක් අවශ්‍ය බැවින්, තනි පොලිස් නිලධාරියෙකුට රථවාහන වැරදි සම්බන්ධ නඩු පැවරීම ප්‍රායෝගික නොවන බව පෙන්වා දුන්නේය.

මේ අතර, රථවාහන වරදකට දඩ නියම කරන අවස්ථාවක ‘ඩෑෂ්කැම් වීඩියෝවක’ ආධාරයෙන් තම නිර්දෝෂීභාවය සනාථ කරන රියැදුරෙකුගේ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණයවේ.

මේ පිළිබඳ අදහස් පළකළ නීතීඥ සංගමයේ සභාපතිවරයා, රථවාහන පොලිස් නිලධාරීන් නඩු පැවරීමේ පරමාර්ථයෙන්ම කටයුතු නොකොට “රථවාහන තදබදය අවම කිරීමට” මැදිහත් වියයුතු බව ප්‍රකාශ කළේය.

“පොලිසිය නඩු පවරන්නේ මහජනතාවගේ සුභසිද්ධිය සඳහා බවත්, රිය අනතුරු යම් ප්‍රමාණයකින් හෝ සීමා වී ඇත්තේ පොලිසිය මෙසේ නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන්” බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අදාළ දර්ශන මුල් අවස්ථාවේම උසාවියට ඉදිරිපත් කිරීමේ හැකියාව වග උත්තරකරුවන්ට ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

කෙසේ වෙතත්, කැපවීමෙන් රාජකාරී කරනා රථවාහන පොලිස් නිලධාරීන්ගේ සේවය සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ අගය කරමින් පළකළ පුවත් ද දැකිය හැකිය.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!