Gossip

“මුලින්ම කඩයක් ගානෙ ගිහින් මුද්‍රණ ඇණවුම් එකතු කළා.ගොවිතැන නැවැත්තුවේ අස්වැන්න හොරකම් කරපු දවසේ” – ව්‍යාපාරයේ හදවත කැබලිවලට කපා මනුස්සකම බේරා දුන් අම්පාරේ මුනිවර මිනිසා

මේ මනුස්සකම තුට්ටුවට වැටුණු යුගයකි. එවන් වකවානුවක මිනිසුන් ප්‍රාර්ථනා කරන ආකාරයේ මනුෂ්‍යත්වයේ ආදර්ශයක් පිළිබඳ කතාවක් අම්පාරෙන් ඇසුණි. ඒ අසිරිය අපි පසුගිය සතියේ ලියා තැබුවෙමු. තම ආයතනයේ හදවත වන් රුපියල් කෝටියක් වටිනා මුද්‍රණ යන්ත්‍රය තම සේවකයාගේ අත වෙනුවෙන් කෑලි කෑලි වලට කපා දැමු ඒ සිරිමත් මනුෂ්‍යයා දැන් මා අභියසය.
ඔහු අම්පාර තරිඳු ප්‍රින්ටර්ස් අධිපති මෙත්තානන්ද රූබසිංහය. ඔහු බොඳ වූ දෑසිනි. අප අතර වචනයක්වත් හුවමාරුවන්නේ නැත.
අප ඉදිරියේ බමණ විදුලි පංකාව දෙස බලා සිටින ඔහු අවසානයේ කටහඬ අවදි කළේය.
“යකඩ නම් මොනව ද?. මුණසිංහගේ අත හදාගන්න බැරිද කියලා මම මේ බයෙන් ඉන්නේ. පුලුවන්නම් ඒකට උදව් කරන්න.”
ඔහු තවමත් ළත වෙන්නේ තම සේවකයාගේ බිඳී ගිය අත වෙනුවෙනි.
පසුගියදා අම්පාර තරිඳු ප්‍රින්ටර්ස් ආයතනයේ සේවය කරමින් සිටියදී එම මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුය. මුණසිංහගේ අත එම යන්ත්‍රයට හසුවුණේය.
එවෙලේ අත බේරාගන්නට තම යන්ත්‍ර කෑලිවලට කැපූ මේ මිනිසා ගැන දැන් කවුරුත් දන්නේය.
මේ වන විටත් අනතුරට මුහුණ දුන් සේවකයා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමිනි. ඔහුගේ අත සුවපත් කිරීමට වෛද්‍යවරු මහත් පරිශ්‍රමයක් දර­මින් සිටිති.
මෙත්තානන්ද නැමැති මේ අපූරු මිනිසා තවත් මොහොතකින් සිය හඬ අවදි කළේය. ඔහු අද නැගෙනහිර පළාතේ ප්‍රධානම මුද්‍රණාල හිමිකරුවා බව සැබෑය.
එහෙත් ඔහු ජීවිතේ බිංදුවෙන් පටන්ගත් මිනිසෙකි. මනුෂ්‍යයෙකුගේ අතක් බේරා දෙන්නට තමන් සිය ජීවිතයේ අප්‍රමාණ කැපකිරීම් කර ගොඩනගාගත් ආයතනයේ හදවත කැබලි කිරීමට හැකි වූ මේ උතුම් මනුෂ්‍යයා සිය අතීත කතාව අප අභිමුව මෙසේ කියමින් සිටියේය.
“අපි ගොඩක් දුක් විඳපු මිනිස්සු. අපි පදිංචිවෙලා හිටියෙ අම්පාරෙ ගලපිටගල. අපේ පවුලෙ දරුවො 10 දෙනෙක් උන්නා. මම නව වැනියා. මගෙ තාත්තා නැතිවුණේ මට අවුරුදු 10 දි. මේ හැමදේම හින්දා මට ඉස්කෝලෙ යන්න කැමැත්තක් තිබුණෙම නෑ. පුළුවන් හැම වෙලාවෙම මම කළේ කැලේ පණින එක. ඒ නිසා මං අයියලගෙන් ඕන තරම් ගුටි කාලා තියනවා.
එත් මගෙ අම්මා කරුණාවෙන් පිරුණු මනුස්සයෙක්. අයියලා එහෙම ගහනකොට අම්මා අයියලාට කෑ ගහනවා. ‘ඇති ඇති ගැහුවා… දැන් ගහලා වැඩැක් නැහැනේ. ඉස්කෝලෙ යන්න බැරිනම් මොනවා කරන්නද. පාඩුවේ ඉන්න දෙනවා මිසක්.’ අම්මා කිවුවෙ එහෙමයි. මට පුංචි කාලෙ ඉඳන් අවශ්‍ය වුණේ මගේ දෙයක් කරන්න.
මම පොඩි දවස්වල ඉදල් සහ කොසු හදලා රුපියල් එකයි හැත්තැපහකට එකක් විකිණුවා. සල්ලි අඩුපාඩු වෙනකොට දවසට රුපියල් 2ක් 3ක් වගේ මිළ­කට කුලී වැඩත් කළා.
ඔහොම අවුරුදු දෙකක් තුනක් ඉස්කෝලෙ ගියේ නැතිව හිටියා. ඒත් මට ආයෙත් ඉස්කෝලෙ යන්න ආසාවක් ආවා. මං ආයෙ ඉස්කෝලෙ ගමන පටන් ගත්තා. මාව ඇතුළු කරගත්තේ 6 පන්තියට. පන්තියෙ අනෙක් ළමයි පොඩියි. මම වයසින් වැඩියි. ඒ හින්දා ළමයි ඔක්කොම මට බයයි.
දැන් මට පාසල් ගමනට සතුටුයි. මම වර්ෂ 1975 දි එස්.එස්.සී විභාගයට පෙනී සිටියා. ඊට පස්සෙ නැවතත් පාසල් ගමන නැවතුණා. නැවතත් අපොස සාමන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා විභාගෙන් සමත් වුණා. උසස්පෙළ විභාගයට පෙනී ඉන්න හිතනකොට මට වයස අවුරුදු 22 යි.
තිබුණ ප්‍රශ්නත් එක්ක උසස් පෙළ දිගටම කරගෙන යන්න අපහසුයි. ඉතින් මං ඒ ගමන නවත්තලා ජීවිත අරගලය දිනාගන්න විදිහ හොයන්න පටන් ගත්තා. මම කියවන්න පුරුදු වුණා.
එය පුරුද්දක් වශයෙන් පවත්වා ගත්තා. පුස්තකාලවලින් යාළුවන්ගෙන් පොත් ඉල්ලන් කියවන්න ගත්තා.
ඒ නිසා මට සමාජය, සාහිත්‍ය කලාව ගැන යම් විචාරයක් සහිත දැනුමක් තිබුණා.
මං කවි ලිව්වා. ජීවත්වෙන්න කුඹුරු වැඩ කළා. මම වැපුරුවාම හරියටම හරි යනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා. ඒ නිසා මට ගොඩක් අයගේ කුඹුරුවල මුල්ම වී අහුර ගහන්න සිදු­වුණා. ඒ තරම්ම මගේ අත් ගුණේ හොඳයි කියලා කට්ටිය කීවා. වැඩ ඉවරවුණාම සමාජයට ගිහින් සමිති සමාගම්වල වැඩ කළා.
මේ අතරෙ එක පොඩි සිදුවීමක් වුනා මගෙ ජීවිතේට තදින්ම දැනුණ. මේ වකවානුවෙ අපිට හරක් ටිකක් හිටියා. ඒ වැස්සියෙක් දවසක් පැටියෙක් දැම්මා. මම උදේට නොකා ගිහින් තණ කොළ කපලා වැස්සිට කන්න දෙන්න අරන් ආවා. තණ කොළටික පැත්තකින් දාලා අම්මේ මට බඩගිනියි කියලා මම අම්මා ළඟට දිව්වා. අම්මා මගෙ දිහා බලාගෙන ඉඳලා මට මෙහෙම කිව්වා. ‘ පුතේ උඹට කටක් තියෙනවා බඩගිනි උනාම ඉල්ලගෙන කන්න. ඒත් අර සතාට එහෙම ඉල්ලගෙන කන්න බැහැ. ඒ නිසා මම බත් බෙදනකම් පුතා ඒ තණකොළ ටික වැස්සිට ගිහින් දාන්න. ඒ සතා හරි බඩගින්නේ ඉන්නේ.’ අම්මා මට එදා කියලා දුන්නෙ ලොකු පාඩමක්. මගේ අම්මා ගොඩක් කරුණාව පිරුණු කෙනෙක්.
ඒ මනුෂ්‍යත්වය විඳිමිනුයි අපි ඇතිදැඩි උනේ. ඒත් සමාජයෙන් ලොකු වැරදි මට සිද්ධ වුණා.. මොනතරම් දුක හිතුනත් ඒ පිළිබඳ වෛරයක් ඇතිකරගන්න අපේ අම්මා ඉඩ දුන්නෙ නෑ. එක කතාවක් කියන්නම්. ඒ කාලෙ මට වැටහුණ දෙයක් තිබුණා. මම ගොවිතැනට දක්ෂයි. කම්මැලි කමක් කවදාවත් තිබුණෙ නෑ.
මම හොඳ කෙහෙල් වගාවක් දැම්මා. තව කහ වගාවක් කළා. සරුවට හැදුන කහ ටික ගලවලා තම්බලා වේලෙන්න තිබ්බා.
පසුවදා බලද්දි කවුද ඒවා හොරකම් කරලා. මට වගාව එපා වුණා.
මගෙ ඔළුව එක එක දේවල්වලට යොමු වෙමින් තිබුණෙ. මගෙ එක මල්ලිකෙනෙක් දුමින්ද එරංග. ඔහු ඒ කාලෙ රස්සාව කළේ දැවැන්ත මුද්‍රණ ආයතනයක. දවසක් මම ඔහුව හම්බවෙන්න ඒ ආයතනයට ගියා. එතන වැඩ දැක්කම ලොකු ආශාවක් ඇති­වුනා මට ඒ වගේ කර්මාන්තයක් පටන් ගන්න. අපිත් මෙහෙම මැෂින් එකක් අරන් වැඩ කරන්න පටන් ගනි­මුද කියලා මං මල්ලි­ගෙන් ඇහුවා. මල්ලි මට මහා හයියෙන් හිනාවුණා. ‘පිස්සුද ඔයාට.. මේ මැෂින් එකක් ගන්න නම් අපේ ගමත් එක්ක තව ගම්දෙක තුන­ක්වත් විකු­ණන්න වෙනවා’ මල්ලි එදා කිවුවෙ එහෙම. ඒ විතරක් නෙමෙයි. මේ කතාව මතක් වෙන ගානෙ එයා මට විහිළු කළා.
මගෙ හිතේ වැඩේ තිබුණා. කොතැන­කින් හරි පටන් ගන්න එපායැ. මම මුලින්ම කළේ මුද්‍රණ ආයතනයකට කැලැන්ඩර් ඇනවුම් අරන් ගිහින් දෙන එක. මුලින්ම නගරයෙන් නගරයට ඇනවුම් ගන්න ගියා. වැඩේ සාර්ථක වුණේ නැහැ. නමුත් මම උත්සාහය අත්හැරියේ නැහැ. එහෙම යද්දි වැඩේ ටිකක් හරි ගියා. පස්සේ මම ඒ ආයතනයේ වැඩිම ඇනවුම් අරන් දෙන පුද්ගලයා බවට පත්වුණා.
ජීවත් වෙන්න ඒක විතරක් මදි. මා ඒ වෙද්දි උහන නගරයේ රෙදි කඩයක් ආරම්භ කරලයි තිබුණෙ. ඒ අතරේම කැලැන්ඩර් කරේ තියන් කඩයෙන් කඩයට ගියා. මම මුද්‍රණ කර්මාන්තයට ආවෙ එහෙම. ඒ වෙනකොට මම මුද්‍රණ අංශය ගැන දැනුමක් ලබා ගෙන තිබුණා ප්‍රායෝගිකවම. මුද්‍රණ යන්ත්‍ර ගැන යම් අවබෝධයක් තිබුණා. අවසානයේ 2006දි මම මගේ හීනය හැබෑ කර­ගත්තා. ඒ උහන නගරයේදි මගේම මුද්‍රණ ආයතනයක් පටන් ගිනිමින්. ආපු කරදර එමට‍යි. එත් සියල්ල දරාගෙන මං අවුරුදු ගානක් වැඩ කළා. මොන ගැටලු තිබුණත් මම හරියට වැඩේ කළා. මහන්සි වුණා. නියමිත වෙලාවට වගකීමකින් හා ප්‍රමිතියකින් යුතුව වැඩ කරලා දෙන්න හැකි උපරිම ආකාරයෙන් කට­යුතු කළා.
අම්පාරේ මගේ ව්‍යාපාරය ආරම්භ කළේ 2012 දි. මම අවුරුද්දට වතාවක් කොහොම හරි මගේ ව්‍යාපාරයට අලුතින් යමක් එකතු කරගත්තා. එක මගේ ආශාවක්. මම අභියෝග වලට බය නැහැ. මට සම්මාන ගොඩක් හම්බ වුණා. නැඟෙනහිර පළාතේ හොඳම ව්‍යවසායකයා ලෙස අවස්ථා කිහිපයක් සම්මාන ගත්තා. නැඟෙනහිර පළාතේ හොඳම සේවා සපයන්නා ලෙස සම්මාන ගත්තා. හොඳම ව්‍යවාසායකයා බවට පත්වෙලා ජාතික මට්ටමෙන් රිදී සම්මානය ගත්තා.
එය තමයි එවර ලබාදුන් ඉහළම සම්මානය. කොළඹ හැරුණු විට හොඳම දින දර්ශනය මුද්‍රණය කරලා හැම දිස්ත්‍රික්කයෙන්ම පළමු වෙනියා උණා. ඒ විදි­හට මට සම්මාන 20කට ආසන්න ප්‍රමාණයක් සහ­තික පත් 25කට වඩා ලැබුණා. බිරිඳ කමලා සහ දරුවන් දෙන්නා මාගේ මේ වැඩ කටයුත්තට විශාල සහයෝගයක් දුන්නා.
මගේ හදවත වගේ වටිනා කමෙන් යුක්ත අධි තාක්ෂණික නවීණ මුද්‍රණ යන්ත්‍රය ගත්තෙ පූර්ණ බැංකු ණයකින්. රුපියල් කෝටියක් පමණ මිලක් වුණා යන්ත්‍රයට. මේ යන්ත්‍රය නිසා ඵලදායීතාව වැඩි වුණා. මුද්‍රණ ප්‍රමිතිය වැඩි වුණා. ඒ හින්දා විශාල පාරිභෝගික පිරිසක් එකතු වුණා. මගේ ව්‍යාපා­රය තවත් දියුණු වුණා. මම සම්මාන පිට සම්මාන ගත්තේ ඒ යන්ත්‍රයට පින් සිදු වෙන්න. මුද්‍රණ වැඩවලට කියාපු මැෂිම. එක තමයි මගේ හදවත. මාස කිහිපයකට කලින් මම ලක්ෂ 12 ක් විය­දම් කරලා එකේ සේවා කට­යුතු සිදු­කළා. ඒ අතරෙ මුද්‍රණ යන්ත්‍ර­යට රුපි­යල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් මාසයකට ලීසිං වාරිකයක් ගෙවමින් හිටියා.
එදා ඒ අවසාන­වන්ත දේ වෙද්දි මම හිටියේ කාර්යාලයේ. මම එතෙන්ට යද්දි මුණසිංහ වේදනාවෙන් ඇඹරෙනවා. කෑ ගහනවා. මැෂිම නතර වෙලා.
ඒ ආරක්ෂක උපකරණ වල ගැටීම නිසා. කොහොම හරි සහායකයත් ඒ මොහොතේම වගේ මැෂිම නතර කරලා තියෙනවා. ඒ වෙලාවෙ අතෙන් ලේ ගලාගෙන යනවා.
මම වෛද්‍ය ගයාන් ගාල්ලගේ මහ­තාට කියපු සැනින් ඔහු යන ගමන නතර කරලා ආවා. ඒ විතරක් නොවෙයි සුළු මොහොතකින් වෛද්‍ය ප්‍රමිත මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයත් ආවා. ගතවුණේ විනාඩි 15ක් 20ක් විතරයි. අපි කලබල වෙලා හිටියේ. ඔවුන් අපවත් සන්සුන් කරමින් රෝගියාගේ ජිවිතය බේරගන්න කටයුතු කරා.
අවුරුද්දෙ අන්තිම. භාරගත්ත වැඩ ගොඩක්. මේ වෙද්දි හැමෝම කීවේ මැෂීම ආපස්සට කරකවමු කියලා. තුවාල කරු මුණසිංහ මහා හයියෙන් විලාප දෙනවා. මැෂීම ආපස්සට දාන්න කියලා. කට්ටිය එකට ලෑස්ති උනා. මම කෑගහලා බොහෝම අමාරුවෙන් තමයි කට්ටිය පාලනය කර ගත්තේ මැෂිම ආපස්සට දාන්න එපා කියලා. එහෙම වුනා නම් අත අනිවාර්යෙන්ම දෙකට කැපෙ­නවා කියලා මම දන්නවා. කොළයක් යන්න තියෙන ඉඩකින් අතක් ගියාම කොහමෙද? අපි අලවංගුවක් දාල ඒ රෝලර් එක උස්සන්න බැලූවා. ඒක හෙල­වුනේවත් නැහැ. අල­වං­ගු­ව­නැ­මිලා කැඩිලා ගියා.
පස්සේ අවට ආයතනවල කාර්මික ශීල්පින් ගෙන්නලා තමයි මැෂිම කපන්න කිව්වා. මාව ගොඩගත්තු යන්ත්‍රය තමයි. ඒත් එක් කෑලිවලට කපද්දි මට දුකක් ඇතිවුණේ නෑ. කපන හැම යකඩ කෑල්ලක් එක්කම පණ අදින මිනිහෙකුට ජීවිත බලා­පොරොත්තුවක් එනවා කියලා මා දැනගෙන හිටියා.
මැෂිම කපද්දි ගිනි ගනී කියන අවදානම ආවා. මගේ නෝනයි ගෙදර අයයි කිවේ මැෂිම කපලා හරි අත බේරගන්න කියලා. යන්ත්‍රය කැපුවා. මුණසිංහ බේරගත්තා.
පහුවදා ඉඳලා අනෙක් පොඩි යන්ත්‍ර දෙක­කින් වැඩ පටන් ගත්තා.
එත් ඇනවුම් 60කටත් වැඩිය අවලංගු කළා. මට තේරේනවා. පෙර ආකාරයෙන් කාර්යක්ෂ­මව කටයුතු වෙන්නේ නැහැ. සේවකයෝ කම්පනයට පත් වෙලයි ඉන්නේ. මේ තත්වය ටික දවසකින් හරියාවි. මේ ගමන කොහොමහරි ඉදිරියට යා යුතුයි.
මේ වෙලාවෙදි මනුෂ්‍යත්වයත් අරගෙන උදව්ට ආපු සම්පත් , සුසන්ත ලේත් වර්ක් ආයතනයේ සුසන්ත ඇතුළු පිරිස, ආසිරි හොල්ඩින් ආයතනයේ කළමනාකරු ඇතුළු සියලු දෙනාට ස්තුතියි පුද කරනවා. ඔහු කතාව නිමා කළේය.
මම යලිත් වරක් ඔහුව විමසුවෙමි. “ඇත්තටම රූපසිංහ මහත්තයා. වෙච්චි ආර්ථික අලාභය ගැන පොඩි දුකක්වත් නැද්ද?”
අපි මිනිස්සු. ලොකු කම්පනයක් තියනවා තමයි. මේ යන්ත්‍රය තමයි මගේ මුළු ව්‍යාපාරයෙම බලාපොරොත්තුව. ඒත් මේ යකඩ ගොඩ නැති වෙනවා කියලා අර මනුස්යගේ අත කපන්න විනාශ වෙන්න දුන්න නම් මොන නරුමයෙක්ද?. අපේ අම්මා අපිට කියලා දුන්නේ ගොඩ ගහන සල්ලි නෙමෙයි. මනුස්සකම. මට මේක දරා­ගන්න බැරි පාඩුවක් තමයි. නමුත් මම ආයේ නැගිටිනවා. එහෙම පුළුවන් කියන ආත්ම විශ්වාසය මට තියනවා.
මහත්තයාට කියන්න දැන් මගේ හිතට පුදුම සැහැල්ලු­වක් දැනෙන්නේ. ඒ සැහැල්ලුව රුපියල් කෝටි සීයක් හම්බ කළත් ලැබෙන්නේ නැහැ. මම ඒ උතුම් මනුෂ්‍යයාගේ ප්‍රභාන්විත සිනාව දෙස බලාගෙන සිටියෙමි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!