Gossip

“මාව සීතල වෙලා ගියා..හැමතැනම අඳුරු වුණා.. යක්කු දෙන්නෙක් ඇවිත් මාව අල්ලගත්තා.මම කෑ ගහලා කිව්වා මට කඨින පිංකමට යන්න දෙන්න කියලා.” – අපායට ගොස් නැවත පැමිණි මිනිසා

මොකක්ද මේ සතර අපාය කියන්නේ? සෝවාන් නොවුණොත් ඒ කියන්නෙ දහම් ඇස පහළ නොවුනොත් යන්න වෙන අපායවල් සතරක් ගැන නිතර නිතර කථා බහට ලක්වෙනවානේ.
ඉතින් මේ සතර අපාය කියන්නේ කුමක්ද කියලා දන්නේ නැතිව කොහොමද එහි යනවාද නැත්ද කියලා තීරණය කරන්නෙ නේද?
ඒ නිසා මේ කොටස වෙන් වෙන්නේ මේ සසරේ බරපතලම අනතුර හඳුනාගන්නටයි.
බොහෝ දෙනෙක් සතර අපාය විශ්වාස කරන්නේ නෑ. විශේෂයෙන් තිරිසන් අපාය හැරුණුකොට නොපෙනී තිබෙන අපායන් විශ්වාසය කරන්නේම නෑ.
හැම ආගමකම මේ සතර අපායන් විග්‍රහ කරන්නේ මිනිස්සු භය කරන්න කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. බුදු හිමියන් නම් ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි අනුගමනය කළේ.. සතර අපාගත ලෝකයක් සකස් වෙනවා. ඒ සතර අපාගත ලෝකයට හේතු මේවයි…

ඒ සතර අපාගත ලෝක නිරෝධය මේකයි… ඒ සතර අපාගත ලෝක නිරෝධ කරගන්න ක්‍රමය මේකයි… අපායන් පිළිබඳව චතු සත්‍ය පෙන්වා දුන්නා. එතකොට සිහියෙන් අහගෙන හිටියාම ප්‍රඥාව අවධි වෙච්ච ප්‍රඥාවන්ත පිරිස සතර අපාගත ලෝකයෙන් මිදුණා.ඉතින් මේ ලිපියන් අපි ඔබව දැනුවත් කරන්න යන්නේ ආපය ගැන නෙවෙයි ලංකාවේ සිද්ද වෙච්ච්ක සත්‍ය සිදුවීමක් ගැන ඔබ්ටැහැ මේ කතාව කියවලා බලන්න ආපයට ගිහින් පැමිණි මිනිසාගේ කතාව.

මෙම පුද්ගලයා බොහෝ දෙනෙකු දන්නා හඳුනන අතර මම දන්නා කෙනෙකි. ඔහු දරුවන්ට කාරුණික පියෙක් වූ අතර, බිරිඳට දයාබර සැමියෙකු වූවා සේම ඥ‌ාතීන්ට යහපත් ඥාතියෙකුද විය. නමුත් තරුණ වියේදී ඇසුරු කරන්නට වූ පාපී මිත්‍රයන් නිසා ඔහු තදින්ම මත්පැනට ඇබ්බැහි විය.
දිවියේ මැදි වියේ පසු වුවත් බලවත්ව බීමට ඇබ්බැහි වූ ඔහුට කොතෙකුත් මත් වතුර බීමේ ආදීනව පැවසුව ද ඉන් මිදෙන්නට ඔහුට නොහැකි විය.

බිව්වොත් යන්න වෙන්නේ අපායේ ඒ නිසා බීම නවත්වන්න කියා කොතෙකුත් ඔහුගේ දරුවන් කීව ද ඔහු එය කිසිම ගණනකට ගන්නේ නැතිව දිගටම බීම කරගෙන ගියේය.‘ඔය පොඩ්ඩක් බීව කියල අපායේ යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කීවේ මදපමණින් බොන්න කියල. අපි උඹලට කලින් පන්සල් ගියේ. අපිත් ඔය ධර්මය දන්නවා. මං බිව්වා කියල යුතුකම් පැහැර හරින්නේ නැහැ. අනික කාටවත් කරදරයක් කරන්නෙත් නැහැ.’ යනු ඔහු නිතර කියන කියමනකි.බොන මිනිසුන් සුරාව මදයට පමාවට හේතුවෙනවා යන්න තේරුම් කරගෙන නැත. ඉහත සඳහන් අදහස ලංකාවේ ගැමියන් අතර බහුලව තිබෙන බව මම දනිමි. එය මොන තරම් වැරදි ද?

ඔහු නිරයට විහිළු ද කරයි.හා බලා හිටපල්ලකො අපි අපායට ගිහින් යමපල්ලන්ටත් ගහලා එන්නෙ. අපිට කොහෙත් එකයි.’ ඔහු එසේ ද කියයි. එවිට ඔහුගේ දරුවන් කටපියාගෙන පැත්තකට වෙනවා මිස වෙන කරන්නට දෙයක් ඔවුන්ට නැත.කාලය වේගයෙන් ගෙවී යන්නට විය. ගමේ පන්සලේ ප්‍රධාන ද‌ායකයෙකු වූ ඔහුට එම වසරේ කඨින පිංකම භාර කෙරිණි. දිවා රෑ ඔහුගේ සිතේ රැඳී තිබුණේ කඨින පිංකමයි.කඨින චීවරය හිසේ තබාගෙන හේවිසි හඬ මධ්‍යයේ මහ පෙරහරින් පන්සලට යන අන්දමත් එය තෙරුවන් උදෙසා පූජා කරන අන්දමත් ඔහුට මැවී පෙනෙන්නට විය. අගෝස්තු මාසය උද‌ා විය. කඨින පිංකමට තව ඉතිරිව ඇත්තේ සති කිහිපයක් පමණි.

හදිසියේම එක් රාත්‍රියක ඔහු බලවත්ව අසනීප විය. පපුව අල්ලමින් කෙඳිරිගාන්නට වූවේය. නිවැසියන් ඒ රාත්‍රියේම බදුල්ල රෝහලට ඇතුළත් කරන ලදී. වෛද්‍ය වාර්තා හා. ඊ.සී.ජී. වාර්තා ද අනුව රෝගය තරමක් බරපතළ බව සොයා ගත්තේය. වෛද්‍ය මතය වූයේ දින කීපයක් රෝහලේ රැඳී සිටිය යුතු බවය. තනියට ඔහුගේ සොහොයුරෙකු ද ළඟ නවත්වා අනෙක් අය එතැනින් පිට වූහ.

රාත්‍රී 2 ට පමණ ඔහු හදිසියේ අවදි වූයේ ළඟ හුන් තම සොහොයුරාගේ අත ද අල්ලා ගනිමිනි.
ඇඟ සීතල වෙන බව පවසනවාත් සමගම ඇස් උඩ ගි​යේය. පපුවෙන් අමුතු ශබ්දයක් ද ආවේය. හුස්ම ගැනීම නතර විය. මූසල අනතුරක සේයා දුටු සොහොයුරා හදිසියේම වෛද්‍යවරුන් කැඳවන්නට විය. වෛද්‍යවරුන් විනාඩි 10 ක් පමණ උත්සාහ කළ ද ඔහුගෙන් යහපත් පිළිතුරක් නොලැබුණි. වෛද්‍යවරුන් උත්සාහය අතහැරියේ ‘දැන් වැඩක් නැහැ’ කියමිනි. ඥ‌ාති සොහොයුරාට මුළු ලොවම අමතක විය. තම සොහොයුරා මියගිය පුවත නිවසට දැන්විය යුතුය. දැන් ඔහු කළ යුත්තේ කුමක්දැයි කියා සිතාගත නොහැකිව දෙලොවක් අතර තනි විය.

ඒත් අසාමාන්‍ය වාසනාවක් රෝගියා සොයා පැමිණියේය. රාත්‍රී සේවයට වාර්තා කළ නවක වෛද්‍යවරියක් හදිසියේම රෝගියා වෙතට දුව ආවාය. ‘ඉක්මනට ඔය මනුස්සයාව අනික් පැත්තට පෙරළන්න.’ එම වෛද්‍යවරිය රෝගියා මුනින් අතට පෙරළුවාය.
මියගියා යැයි කලින් අනුමාන කළ පුද්ගලයා කහින්නට විය. නැවත වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය. දින කීපයක් පියවි සිහිය නොමැතිව විටින් විට සිහි මුර්ජා වෙමින් සිටි ඔහු කෙමෙන් කෙමෙන් සුව අතට පත්වන්නට වුණි.

නිවසට පැමිණි ඔහු දැන් අත්භූත අමුතු කතාවක් පවසන්නට විය. අසනීපයේ වේදනාව අමතක කරමින් ඔහු කතාව ඇරඹීය.දැන් ඇරඹෙන්නේ භෞතික කය ඇඳමත මළ ශරීරයක් සේ තිබියදී ඔහුගේ මනෝමය කය (Spiritual Body) ගමන්ගත් ආකාරයයි.

‘මගේ ඇඟ එකපාරටම සීතල වුණා. හුස්ම ගන්න අමාරු වුණා. එතකොට ම ඔක්කොම අඳුරු වුණා. පාවෙලා වාගේ අඳුරු තැනකට මාව ඇදිල ගියා. එක පාරටම කවුදෝ යක්කු දෙන්නෙක් වාගේ භයානක පෙනුම ඇති හැඩි දැඩි ශරීර ඇති දෙන්නෙක් ඇවිත් මාව අල්ලා ගත්තා. ඒ අය ළඟ ආයුධත් තිබුණා. ඒවා නිතරම වෙනස් වෙනවා. මම කෑ ගහල දඟලන්න පටන් ගත්තා. එතකොට මගේ අත් තදින් ගැට ගහලා තවත් අඳුරු තැනකට මාව ඇදගෙන ගියා. මම ඒ බැමි ලිහාගත්තා. ලිහාගත්තාට ඒ අය නැවත මාව බඳිනවා. ඒ බැඳලා තිබූ විදිහට තාමත් මගේ අත් දෙක රිදෙනවා.’
ඔහු තම අත් පෙන්වමින් එසේ පැවසුවේ ගෙදර අය තැති ගන්වමිනි.ඊට පස්සෙ මම ඇදගෙන එක පැත්තකට එක්කන් ගියා. මම කොච්චර කෑගැසුවත් කාටවත් ඒක ඇහෙන්නේ නැහැ. එතැන තව ගොඩක් අය සිටියා. මම එතැන ඉඳන් හයියෙන් කෑ ගැසුවා. මම මිනිසුන්ට කළ උදව් සිහිකර කර ගෑගැසුවා. එත් කවුරුවත් ඒවා අහන්නේ නැහැ.
අන්තිමට මාව තවත් ඉස්සරහට එක්කන් ගියා. එතකොට දැක්කා ඔටුන්නක් දාගත්ත මහා ලොකු කෙනෙක්ව. එයා හරි භයානක පාටයි. එතැන මම වගේම අසරණව කෑ මොර දෙන ගොඩක් අය හිටියා.

‘ඊට පස්සේ මම හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. මට කඨින පිංකම කරන්න යන්න දෙන්න කීවා. ඒත් කවුරුත් ඒක අහන්නේ නැහැ. හැම තැනින්ම එන්නේ විලාප හඬ’
දැන් උදව්වට කිසිවෙක් නැති බව ඔහුට තේරේ. ළඟින් සිටි පාපී මිතුරන් කිසිවෙක් දැන් නැත. කුමක් කරන්නදැයි සිත සිතා සිටින විට ඔහු නිතර සිහින මැවූ පන්සලේ කඨින පිංකම තදින්ම මතක් විය.

‘මට යන්න දීපල්ලා කඨින පිංකමට යන්න ඕනෑ. මට යන්න දීපල්ලා කඨින පිංකම මට කරන්න යන්න දීපල්ලා.එවිට යමෙක් ඔහු ළඟට පැමිණියේය. කාරුණිකව ඔහුව ඇමතුවේය.
‘උඹ භය වෙන්න එපා. උඹ යවයි’ඔටුණු පළන් පුද්ගලයා තමන් වගේම පැමිණි පිරිසගෙන් යමක් අහනවා දැන් ඔහුට පෙනේ. ක්‍රමයෙන් ඔහුගේ වාරය එලඹුනේය. ඉදිරියට රැගෙන ගිය ඔහු දැන් සිටින්නේ ඔටුනු පලන් පුද්ගලයා ඉදිරිපිටය.‘මට යන්න දෙන්න. මට කඨින පිංකමට යන්න ඕනැ. අනේ මට යන්න දෙන්න…’ඔටුනු පලන් පුද්ගලයා ඔහු අමතන්නට විය.

‘මම උඹට යන්න දෙනවා. උඹට මෙහාට එන්න තව කල් තියෙනවා. උඹ කඨින පිංකමට පලයන්. එය හොඳින් කරපන්.’ යැයි ඔහු කීවේය.ඉන්පසු ඔහු ජීවිතයේ දකින අතිශය භයානකම දසුන දකියි. යමපල්ලන් ඔහු ඇදගෙන යන්නේ නිරය මැදින්ය.ඔහුට දැන් ඉදිරියෙන් පෙනෙන්නේ විසල් මිනිස් පෝලිමකි.
ගැහැනු ද පිරිමිද දුකින් පිරුණු මුහුණින් එහි රැඳී සිටිති. යමපල්ලන් දෙදෙනෙක් ඔවුන්ව කොටස්වලට වෙන් කරයි. ප්‍රාණ ඝාත කළ අය වෙනම වෙන් කරයි. සොරකම් කළ අය, වැරදි කාම සේවනය කළ අය, බොරු කියපු අය, මත්වතුර, මත්ද්‍රව්‍ය භාවිත කළ අය වෙන වෙනම වෙන්කරයි.

මිනිස් ලොව මිනිසුන් දුස්සීල වී කරන හපන්කම් සියල්ල මෙහි සටහන් වෙන අයුරු ඔහුට දැනෙයි. පෙනෙයි. කිසිවක් එහි සැඟවිය නොහැක. සියල්ල එහි සටහන් වී ඇති අයුරු ඔහුට දැනෙයි.එක් එක් කාණ්ඩයට වෙන්කළ අය වෙන වෙනම දඬුවම් සඳහා ගෙන යන බව ඔහුට පෙනෙයි. යමපල්ලන් තව තවත් ඉදිරියට ඔහු රැගෙන යයි. මහා පුදුමයකි. කුඩා කල ඔහු බණට ඇසූ විසල් කටුගස් දැන් ඔහු ඉදිරියේය. භයානක කටු ඇති විසල් කටුඉඹුල් ගස් 4 ක් හෝ 5 ක් තිබුණ බව ඔහු දකියි.එතැන ද මහා පෝලිමකි.
ඒ පෝලිම තමා මිනිස් ලොව සිටියදී කරගන්නා ලද අකුසලකර්ම විඳවන්න ඇති පෝලිමකි. යමපල්ලන්ගේ ඇමතීමෙන් තමන් කැමැති වුවත් අකමැති වුවත් කටුඉඹුලේ නැගිය යුතුය.

තව තවත් ඉදිරියට ඔහු රැගෙන යයි. හැම තැනම වේළී ඇඹරී ගිය දුකින් පිරුණු මුහුණු ඔහුට දකින්නට ලැබේ. නිමක් නැති විලාප හඬ ඉවසිය නොහැක. තව තවත් ඉදිරියට යන විට රතු පාට බුබුළු ද‌ාන උතුරන වතුර ඇති ගඟක් වගේ විශාල එකක් ඔහු දකියි. එය දේවදූත සූත්‍රයේ සඳහන් ලෝකුඹු නිරය බව කිව හැක.එහි මෙසේ සඳහන් වේ. ‘ඔහු කකුල් උඩ අතට හරවා හිස යටි අතට හරවලා හාත්පසින් ගිනි ඇවිළගත් ගිනියම් වූ ලෝකුඹු නිරයෙහි ඔබනවා. එතැනදී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙණ ගුළියක් ඇති දේහයක් ඇතිවය. ඉදින් ඒ පෙණ ගුළියක් බඳු දේහයකින් යුතු නිරිසතා පැහි පැහී එක වතාවක් උඩට එනවා. ආයෙමත් යටට යනවා.’
එසේ නම් දැන් ඔහු පවසන්නේ මේ ලෝකුඹු නිරය විය යුතුය. තව තවත් ඉදිරියට යන ඔහුට දකින්නට ලැබෙන්නේ විරූපී වී ගිය මුහුණුය. සතර දෙසින් ඇසෙන්නේ හද කම්පා කරන විලාප හඬයි.

තවදුරටත් නිවැසියන්ට මෙසේ ඔහුගේ වචනයෙන්ම කීවේ මෙසේය. ‘මට මතකයි මම එනකොට ඒ විරූපීව වේදනාවෙන් කෑගහන අය අතරේ මගේ පරණ යාළුවෝ කිහිප දෙනෙක් හිටියා. ඒ අය දැනට ටික කාලයකට පෙර මැරිච්ච අය. අපි කා බී විනෝද වූවා වගේම හැම චණ්ඩිකමක්ම කළේ එකටයි. එයාල මැරෙන්න කලින් මොන චණ්ඩිකම් කළත් එහේදී බේරාගන්න කවුරුවත් නැහැ. දරාගන්න බැරි වේදනාවෙන් කෑමොර දෙනවා. මගේ හිතට ගොඩාක්ම අමාරු මගෙත් එක්ක එකටම හිටපු එයාල දුක් විඳිනව දැක්කාමයි. නමුත් මට කරන්න කිසිවක් නැහැ. එයාල කරපු දේවලට දුක් විඳින්න වෙන්නේ එයාලටමයි.’

ඔය විදියට ඔහුගේ කතාව නිවැසියන්ට කියන්නට වුණා. එයින් අපට පැහැදිලි වෙන්නේ මීට වසර 2600 කට පෙර අපේ ලොව්තුරා බුදු හිමියන් දේශනා කළ අපාය සත්‍යයක්ම වෙන බවය.
ඔටුන්න ද‌ාගත්ත දැවැන්ත පුද්ගලයා යම රජුය. මැදුම් සගියේ දේව දූත සූත්‍රයේ නිරයේ විස්තරය ගළපන විට ඔහු ඒකාන්තයෙන්ම මනෝමය කයින් ගොස් ඇත්තේ නිරයටය. අපාය යනු එයයි.මේ වාගේ සිද්ධි නවීන වෛද්‍යවරුන්ට වැදගත් වෙන්නේ භෞතික මරණය පමණකින් රෝගීන් මැරුණා කියා මෝචරියට දමන්නේ නැතිව නැවත මනෝමය කයින් ගොඩ එන්නට හැකියාව පවතින නිසාය. මෙම තැනැත්තා දැන් කිසිම මත්වතුර බීමක් හෝ අකුසලකර්ම කරන්නේ නැතිව ඉතා යහපත් ජීවිතයක් ගතකරයි.
මෙම සිද්ධියෙන් පසු ඉතා දැහැමිව ද‌ාන, ශීල, භාවනා කරමින් දැන් කල් ගතකරන බව මා සමග පවසා ඇති අතර මිනිසුන්ගේ ගුණධර්ම දියුණු කරගැනීම සඳහා මෙම ප්‍රවෘත්තිය ලියා මිනිසුන්ට බලා ගන්නට සැලසීම යහපත් බවත් ඕනෑම වෙලාවක එය ඕනෑම කෙනෙකුට කියන්නට හැකි බවත් ඔහු ප්‍රකාශ කොට ඇත.

මා මනෝමය කය පිළිබඳ කතා කරන්නේ එසේ සිදුවෙන සිද්ධි තුළින් අපේ අකුසලයන් නැතිකර ගැනීමට උපකාරයක් වෙන නිසාය. අද සමාජයේ වැඩිහිටියන් වැරදි වැඩ, පස් පව් කරන්​නේ ඇයි? මේවායේ ආදීනව හරියට ඇඟට කා වැදී නැති නිසාය. ඒ නිසා අධ්‍යාපනය කරන පෙර පාසල් අවදියේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා මුළු හිතින්ම පවක් නොකරන්නට ළමුන්ට මෙවැනි සිද්ධි තුළින් පවට බය ඇති කළ යුතුය.බටහිර අධ්‍යාපන දර්ශනයෙන් භෞතික දියුණුව ඇති කළාට ආධ්‍යාත්මික දියුණුව ඇතිකරන්නට නම් අපට මෙම දහම, දිවියට ඇතුළත් කරගත යුතුමය. එබැවින් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මේවාට යොමු වේවා යැයි පතන්නේ අල්ලස, දූෂණය, වංචාව, කාම අපරාධ ඇතිවෙන්නේ මෙවැනි දේට කුඩා කල සිට බියක් ඇති නොවීම නිසාය. කර්මය හා විපාකය ගැන මීට වඩා සිසුන් මෙන්ම වැඩිහිටියන් ද සැලකිලිමත් විය යුතුය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!