Gossip

මම හීනෙන් බය වෙන්න ගත්තා. අර ආච්චි එනවා. අත වනනවා. යනවා. හිනා වෙනවා – යාපනය නැවතත් භූත බියෙන් ඇවිලෙයි

ගිය අවුරුද්දේ අග භාගයේදී යාපනය පුරා පැතිර ගිය “මහා භූත උවදුරේ” දෙවැනි අදියරය දැන් යාපනයට පැමිණ තිබේ. මෙවර ඒ භූත උවදුර පැතිර යන්නේද යාපනයේ කුඩා වෙළෙන්දන්ගේ කඩ පේළිය හරහාය.

යාපනයට භූත බිය මුලින්ම පැමිණියේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.

එදා ඒ සිදුවීම් සමුදාය විස්තර කළ යාපනයේ කුඩා වෙළෙන්දන්ගේ කඩ පෙළේ එස්. මාරිඅම්මා තවමත් එම කඩ පෙළේ පලතුරු විකුණන්නීය. එදා ඇය අප හා කී කතාව මතකය.

“අපේ අය අනූවක් විතර දෙනා මේ කඩ පෙළේ විවිධ දේ වෙළෙදාම් කරනවා. අපි පුංචි වෙළෙන්දන් නිසා සියලු දෙනාම හොඳ සහයෝගයකින් තමයි මෙතැන ඉන්නේ. මෙහෙම වෙළෙදාම් කරගෙන ඉන්න අතරේ තමයි නාදන්ගේ පවුලේ ලොකුම ළමයා උණ රෝගයක් හැදිලා මැරුණේ. ඒක සිද්ධ වුණේ හරියටම ගිය අවුරුද්දේ අලුත් අවුරුද්දට කලිනුයි. මාසයක් ගියේ නෑ නාදන්ගේ අක්කගේ දුව අකාලයේ මැරිලා ගියා.

එයා මැරුණෙත් උණ හැදිලයි. ඔහොම ඔහොම නාදන්ගේ පවුලට සම්බන්ධ හතරවරිගේ අයගෙන් නව දෙනෙක්ම මාස හතරක් ඇතුළත මැරිලා ගියා. ඒ හැම කෙනෙක්ම මැරුණේ අර උණ රෝගය හැදිලයි. නාදන්ගේ කොලුවා මැරිලා ටික දවසක් යනකොට අද්භූත දේවල් සිද්ධ වෙන්න ගත්තා. ඒ අයට ඒ ගෙවල්වල ඉන්න බෑ කියලා නෑ ගෙවල්වලට ගියා.

යාපනය ඉස්පිරිතාලෙන් කිව්වෙ මේ උණ රෝගය මොකක්ද කියලා හඳුනාගන්න බැහැ, කොළඹින් ලොකු කට්ටියක් එනවා ඒ අය ඇවිත් කියයි මේ උණ මොකක්ද කියලායි.

උණ ලෙඩේ මොකක් වුණත් එදා නාදන්ගේ කොලුවා මැරුණු දා ඉඳලා අපේ මේ කඩ පේළියේ අමුතු සිදුවීම් වෙන්න ගත්තා. සමහරු බය වුණා. ඒ අතරෙ වෙළෙදාම් දවසෙන් දවස නැති වුණා. මිනිස්සු එනවා. මේ අපි විකුණන බඩු දැක්කේ නෑ වගේ යන්න යනවා. එක දවසක් වෙළෙදාමක් කළොත් මොනව හරි ලෙඩක් කරදරයක් හැදිලා පහුවදාට වෙළෙදාම් කරන්න එන්න බැරි වෙනවා. මේ හින්දම මෙතැන වෙළෙදාම් කරන අය දවසින් දවස අඩු වුණා. මිනිසුන්ට මේ භූත කතාව ඇහුණා විතරයි එක්කෙනෙක්වත් මේ කඩ පෙළ පැත්තට එන්නේ නැතිව ගියා.

මේ කතාවත් එක්ක යාපනය මහ ඉස්පිරිතාලේ කට්ටියකුයි පොලිසියයි මෙතෙන්ට ඇවිත් කිව්වේ කිසිම භූතයෙක් නෑ…. ඔයාලා බය නැතුව වෙළෙදාම් කරගෙන ඉන්න කියලයි. පහුවදා පත්තරවල කට්ටිය ඇවිත් අපෙන් විස්තර අහලා පත්තරවල ලිව්වා. ආයෙත් කවුදෝ ඇවිත් අපිට හොඳටම බැන්නා. දැන් කී සැරයක් කිව්වද භූතයෝ නෑ කියලා ඇයි ඒක අහන්නේ නැතුව පත්තරවලට විස්තර කිවුවේ කියලා. එතකොටම හිතකවත් තිබ්බේ නැති මහා වැස්සක් වහින්න ගත්ත නිසා ඒ නිලධාරීන් ටික යන්න ගියා. ඒ අය වාහනේට නැග්ගා විතරයි වැස්සත් නැති වුණා.

අපි ගිහින් එයාලට කිව්වා මෙන්න මෙහෙම විශ්වාස කරන්න බැරි දේවල් තමයි මෙතැන වෙන්නේ කියලා. ඒ අය හිනාවෙලා ගියා.

කොහොම හරි අපි භූතයෝ හරි මොකා හරි මෙතැන තියෙන මේ දෝසේ අරින්න කියලා කෝවිලක කෙනෙක් ගෙනැල්ලා පූජාවක් තිබ්බා. ඊට පස්සේ වැඩේ හරි ගියා. වෙළෙදාම දියුණු වුණා. කඩ පේළිය අත ඇරලා ගිය අය ආපහු ආවා.එදා මේ භූත උවදුර ගැන යාපනය පුරා ආරංචි පැතිර යමින් ජනතාව බියෙන් සිටින විට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය එස්. ප්‍රේමකුමාර් මහතා කියා සිටියේ ජනතාව කිසියම් වැරැදි විශ්වාසයක් කෙරෙහි බියට පත්ව සිටින බවයි.

“මේ වෛද්‍ය විද්‍යාවත්, විද්‍යාවත් මේ තරම් දියුණු ලෝකෙක මේ වගේ සිද්ධීන් විශ්වාස කරලා ජනතාව බියට පත්වීම ගැන අපි පුදුමයට පත්වෙනවා.
මේ මිනිස්සු එදා ඉඳලම යුද්ධය හන්දා බියට පත්වෙලයි හිටියේ. ඒ නිසා තමන් අවට සිද්ධ වෙන හැම දෙයක්ම කිසියම් බලවේගයක හැසිරීම මත සිදුවෙන බවට ඔවුන් විශ්වාස කරනවා. නමුත් ඒක මිථ්‍යාවක්. අපි දැන් උත්සාහ කරන්නේ යාපනයේ වැලඳුණු උණ රෝගය කුමක්ද කියලා හඳුනාගෙන ඊට පස්සේ මේ භූත බිය ගැන ජනතාව දැනුවත් කරන්නයි.”

වෛද්‍යවරයා කී අයුරින්ම කොළඹ සිට පැමිණි විශේෂඥ වෛද්‍ය කණ්ඩායම තීරණය කළේ යාපනය හා මුලතිව් යන ප්‍රදේශවල පැතිර යන ලද උණ රෝගය “හෙපටයිටීස්-බී” නමැති උණ රෝගය බවටය. එම රෝගය පාලනය කිරීම සඳහා මුළු යාපනයේම ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන්ද ලවුඩ්ස්පීකර් බැඳගෙන යමින් නිවේදන නිකුත් කළේය.

කාලයාගේ ඇවෑමන් යාපනයේ වසංගත උණ රෝගයද භූත බලවේගයද දුරු වී ගිය නමුත් උණ රෝගයත් භූත උවදුරත් අතර නෑදෑකමක් ඇති බව යාපනයේ වැසියන් තහවුරු කළා මිස වෛද්‍යවරුන්ගේ මතය පිළිගැනීමට අකැමැති වූහ.

කාලය බොහෝ දේ වෙනස් කරන බව යථාර්ථයක් වුවත් යාපනයේ වැසියන්ගේ මනස තුළට කා වැදුණු භූත බිය කාලය සමඟ පහව ගොස් නොමැත.

භූතයන් ගැන සඳහන්ව ඇති ප්‍රවාදවල කියන්නේද භූතයන් අරක්ගත් තැන සිට තවත් තැනකට යෑමට කිසිදු කැමැත්තක් නොදක්වන බවයි. භූතයන් එළවීම පිණිස කටයුතු කරන යකැදුරන් භූතයකු එළවීමට සූදානම් වන විට භූතයාගෙන් ප්‍රශ්න කරන්නේ යනවාද? නැද්ද? යන ප්‍රශ්නයමය. භූතයා කියන්නේම නොයන බවමය. යාපනයේ භූතයන්ගේ තත්ත්වයද ඊට දෙවැනි නොවේ.

යාපනයේ යටගිය භූත උවදුර යළිත් කල එළියට පැමිණියේ මෙවර සිංහල අලුත් අවුරුද්දත් සමඟිනි. එදා සිටම යාපනයේ භූතයන් ගැන සියලු කතා කී එස්. මාරි අම්මා මේ අවුරුද්දේ පැමිණි භූතයන් ගැන කියන්නට කටහඬ අවදි කළත් ඇයද භූතයන්ට දක්වන්නේ විශාල බියකි.

“ඉස්සර අපි බයවෙලා හිටිය දේවල් නැති වෙලා ගියා. කට්ටිය ආයෙමත් වෙළෙදාම් පටන් ගත්තා. මෙහෙම ඉන්නකොට දැන් මාස හතරකට පහකට උඩදි ආයෙත් අර නාදන්ලාගේ පවුලේ උදවියත් ඇවිත් මෙතැන වෙළෙදාම් කරන්න වුණා. ඒ අය කිව්වේ සේරම කරදර ඉවර වුණා. ඒ වගේම තමයි තිබුණු සේරම සේසතමත් ඉවර වුණා කියලයි.

නාදන්ලාගේ පවුලේ අය ආයෙත් ලෙඩ වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි මෙතැන වෙළෙදාමත් ආයෙ නැති වෙන්න ගත්තා. ආයෙත් එක එක වෙළෙන්දා ගාණේ දවසින් දවස මෙතැන අත්ඇරලා යන්න පටන් ගත්තා. අවුරුදු කාලේ අපි මෙතැන වෙළෙදාම් කළා. කිසිම යහපතක් නෑ. වෙන අවුරුදුවලට කෙසෙල් ගෙඩි නම් කොච්චර විකිණෙනවද? ඒත් මිනිස්සු කෙසෙල් ගන්නෙ නෑ. අපි බැරිම තැන අනිත් අය කෙසෙල් විකුණන ගාණට වඩා කිලෝ එකක් රුපියල් දහයක් විස්සක් අඩු කරලා වික්කා. ඒත් අපි හිතුව තරම් කෙසෙල් අපිට විකුණගන්න බැරි වුණා.

කෙසෙල් විතරක් නෙවෙයි අනෙක් පලතුරු වෙළෙදාමත් එහෙමම තමයි. පලතුරු විතරක් නෙවෙයි මෙතැන දැන් කිසිම දෙයක් ආයෙත් විකිණෙන්නේ නැති ගානට ඇවිත් තියෙන්නේ. මේ කඩ පෙළේ කිසිම කෙනෙක් සතුටෙන් නෑ. තනියම ඉන්නෙත් නෑ. තනියම ඉන්න දාට එක එක සිද්ධි වෙනවා. ඒ සිද්ධි මේකයි මේකයි කියලා කියන්න බෑ. ඒකට හේතුව තමයි අද වුණු දේ නෙවෙයි අනෙක් දවසේ වෙන්නේ. හැමදාම එකම දේ වෙන්නෙත් නෑ”

මේ සිදුවන දේවල් ගැන කියන්නේ ඇයම පමණක් නොවේ. යාපනයේ කුඩා වෙළෙඳුන්ගේ කඩ පෙළේ සිටින සෑම අයකුටම පාහේ කියන්නට කුමක් හෝ තිබේ. ඇතැම් අය මේ ගැන කතා කරනවාටද විරුද්ධය. තවත් පිරිසක් බියය. හැමෝම තුළ ඇත්තේ භූතයන් පැමිණ ඔවුන්ට යම් විපතක් කරනු ඇතැයි යන බියය.

මේ සියලුම දෙනාගේ අදහස් හා පුරෝකතන කැටි කොට එක්කළ විට එය කතා සරිත් සාගරය වගේය. කතා මැද කතාද ඒ කතා මැද අතුරු කතාද බොහොමයක්ය. “දවසක් මම හවස හයට විතර කඩේ වහන්න කියලා හැදුවා. වයසක ආච්චි කෙනෙක් ඇවිත් කපුරු තියෙනවාද ඇහුවා. මම ඔව් තියෙනවා කඩේ වහන්න යන්නේ පොඩ්ඩක් ඉන්න මම අරන් දෙන්නම් කිව්වා. ඒ ආච්චි මගෙ අතට රුපියල් විස්සක් දුන්නා. ඒක සල්ලි කොළයක්. මට ඒක හොඳට මතකයි. මම ඒ සල්ලි කොළේ අතේ තියාගෙන කඩේ ඇතුළට ගිහින් කපුරු පැකට් එකක් අරන් එනකොට ආච්චි නෑ.

මම ආච්චිට අක්කා අක්කා කියලා කතා කළා. ළඟ කඩේ කෙනා ඇහුවා කාටද කතා කරන්නේ කියලා. මම විස්තරේ කිව්වා. එයා කිව්වේ එහෙම කෙනෙක් එයා දැක්කේ නෑ කියලයි. මම එළියට බැහැලා පාරේ දෙපැත්තටම ගියා. ඒ ආව කෙනා නෑ. එයාගේ වයසේ හැටියට ඒ තරම්ම දුරක් යන්නත් බෑ. ඒත් එයා කොහෙවත් හිටියේ නෑ.

මට පස්සේ මතක් වුණේ එයා දුන්න රුපියල් විස්සේ සල්ලි කොළේ. ඒක මගේ අතේ තිබ්බේ නෑ. ලාච්චුවට දැම්මෙත් නෑ මොකද කඩේ වහලා තිබ්බ නිසා. මම ගොඩක් කල්පනා කළා. කොහොම හරි ගෙදර ගියා. ගෙදර අය නිතරම මගෙන් ඇහුවා මොනවද ඔය හැටි කල්පනා කරන්නේ කියලා. මම ඒ අයටත් බැන්නා. ඒත් දුව විහිළුවට වගේ ඇහුවා භූතයා ආවද තාත්තා කියලා. මෙම මොනවත් නොකියා හිටියා. රෑ වෙලා මට උණ හැදුණා. මම බය වුණා අර භූත උණ කියලා. මම හීනෙන් බය වෙන්න ගත්තා. අර ආච්චි එනවා. අත වනනවා. යනවා. හිනා වෙනවා. එක එක දේවල් කරනවා. පහුවදා ඉස්පිරිතාලෙ ගිහින් නතර වුණා. සනීප වෙන්න සති දෙකක් ගියා. ඒ වෙනකොට මගෙ අතේ සතයක්වත් තිබුණේ නෑ.

පස්සේ මම ගෙදර අයට කතාව කිව්වා. ඒ අය මාව දේවාලෙට එක්කන් ගියා. ඊට පස්සේ හීනෙන් බය වෙන එකනම් නතර වුණා. ඒත් කඩේ නම් තවම කිසිම සරුවක් නෑ. යාපනයේ කුඩා වෙළෙඳුන්ගේ කඩ පෙළෙහි සිටින වෙළෙන්දන් පවසන අන්දමට මේ භූත බලවේගය ක්‍රියාත්මක වන්නේ ඒ වෙළෙඳසල අවට ප්‍රදේශයට පමණකි. නමුත් පසුගිය වතාවේ යාපනයේ භූත කතා සොයමින් යන අතරතුර යාපනයේ වෙනත් පළාත්වලදීද භූතයන් හමුවුණු පිරිස් බොහොමයක් මුණගැසුණි. තත්ත්වය එසේ නම් යාපනයේ භූතයන්ගේ බැල්ම හෙළී ඇත්තේ මේ ව්‍යාපාර භූමියට පමණක් නොවේ.

“කොහොම හරි නාදන්ගේ පවුලේ උදවිය හන්දා මෙතැන එක එක දේවල් වෙනවා කියන එක අපි කවුරුවත් පිළිගන්නේ නෑ. මොකක් හරි හේතුවක් හින්දා නාදන්ගේ පවුල නැත්තටම නැතිවුණා. දැන් ඒ මනුස්සයා ඉන්න තැනක්වත් හොයාගන්න නෑ.”

මෙසේ පවසන තවත් අයකු ඔහුට වූ අත්දැකීම්ද විස්තර කළේය.

“මම ඔය යක්කු භූතයෝ විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මමත් මගෙ තාත්තත් කැලෑ කොටලා හේන් කළ මිනිස්සු. ඒ කාලේ මම පැල්වල කොයි තරම් තනියම ඉඳලා තියෙනවද? ඒත් කිසිම දේකට මම බය වෙලා නෑ. මේ කඩේ වැඩ කරන දවසක මම දවසක් කෙසෙල් කැන් පනහක් විතර ගත්තා. තෛපොංගල් දවස් ළඟ ආව නිසා මම ඒ තරමට කෙසෙල් අර ගත්තේ. එව්වා පොංගල් කිට්ටුව ඉදුණේ නෑ. ඒක නිසා මම හිතුවා කෙසෙල් කැන්ටික දුම් පෝරනේට දාන්න.

ගෙදර අයටත් කියලා මම එදා රෑ කඩේ නැවතිලා කෙසෙල් කැන් ටික දුම් පෝරනේ දාන්න පටන් ගත්තා. රෑ එකොළහ විතර වෙනකොට වැඩේ ඉවර වුණා. ඒත් ගෙදර යන්න බැරි නිසා කඩේම ඉන්න කියලා මම මූණ සෝදන්න එළියට ගියා. මම මූණ සෝදගෙන තේ එකකුත් බීලා ආයෙත් ළඟට එනකොට ගෙවල් ළඟ කෙනෙක් කඩේ ඉස්සරහා මම එනකල් බලාගෙන උන්නා. එයා කිව්වේ මගෙ තාත්තට අමාරු වෙලා ඉස්පිරිතාලෙට ගෙනාවා. ඔයාට ඒක කියන්න කතා කළා. ටෙලිෆෝන් එක වැඩ නැති නිසා තමයි මම ආවේ. දැන් ඉස්පිරිතාලෙට යන්න බෑනේ ගෙදර යමු කියලා.
මම හොඳටම කලබල වුණා. තාත්තට මොකද කියලා අහපුවාම එයා කිව්වේ උණ වැඩි වෙලා හවස ඉස්පිරිතාලෙට ගෙනාවා කියලා.

උණ ගැන කිව්වම මම තවත් බය වුණා. මොකද වසංගත උණ තිබුණු දවස්නේ. මම එයත් එක්ක කතා කර කරා කඩේ වැහුවා. අපි යමු කියලා මම එයා ආව මෝටර්සයිකලේට නැංගා.

අපි දෙන්නා යන්න පටන් ගත්තා. කතාවක් බහක් දැන් නෑ. ගෙදරට තමයි දැන් අපි යන්නේ. මඟක් ගිහින් අපේ ගෙදරට හැරෙන හන්දියක් තියෙනවා. එතැනදි අර කෙනා කිව්වා ඔයා යන්න, මම තව පණිවුඩයක් තියෙනවා කියලා එන්නම් කියලා. මගෙ ගෙදරට තිබුණේ පොඩි දුරක් හන්දා මම හා කියලා සයිකලෙන් බැස්සා. එයා ගියා.

මම ගෙදර ගියා. ගෙදර අයට කතා කළාම ඒ අය හොඳටම බය වුණා. මම එන්නේ නෑ කියලනේ ගියේ. මම විස්තරේ කිව්වම ඔක්කොම අය පුදුමෙන් බලාන උන්නා. තාත්තා ගෙදර ඉන්නවා. මට හොඳටම තරහා ආවා. උදේම ගියා මම අර මනුස්සයා හම්බ වෙන්න. ගෙදර අය කිව්වේ එයා ඊට ඉස්සර දවසේ කොළඹ ගියා තාම ආවේ නෑ කියලා. මට මොනවත් හිතාගන්න බැරි වුණා. මම එයාලටත් කතාව කිව්වා එයාලා පිළිගත්තේ නෑ.

මට මහ මොකක්දො අමුත්තක් දැනුණා. මට උණ හැදුණා. මම හිතුවා මමත් ඉවරයිම තමයි කියලා. මම ඉක්මනින් ගිහින් ඉස්පිරිතාලෙ නතර වුණා.

මම ඉස්පිරිතාලේ නතර වුණේ දවල් එකොළහට විතර. හවස පහට මාව බලන්න ආව පවුල මට කිව්වා තාත්තටත් හොඳටම උණ කියලා. පහුවදා බෙහෙත් අරන් දෙන්න ඕනේ කිව්වා.

පහුවදා බෙහෙත් අරගන්න ආවහම තාත්තව මම හිටිය වාට්ටුවෙම නතර කළා. ඒත් දවස් දෙකකින් තාත්තා ඒ උණෙන්ම නැති වුණා. මම සනීප වෙලා ගෙදර ගියා. එදා ඉඳලා මගෙ හිතට සහනයක් නෑ. බය වෙනවා. කවුදො කතා කරනවා. දේවාල ගාණකට ගිහින් බාර වෙලා එක එක දේවල් කරලා තමයි මට සනීප වුණේ. මේවා මොනවාද කියලා තේරෙන්නේ නෑ.”

මේ ආදී වශයෙන් භූත කතා ඇති පදමට යාපනයෙන් ඇසිය හැකිය. කා සමඟ හෝ ප්‍රකාශ නොකළත් මේ වැසියෝ භූත උවදුරෙන් මිදීමට වැයකොට ඇති මුදල සුළු පටු නොවේ. විද්‍යාත්මකව සිද්ධි පිරිසිඳ දකින පැණවතුන්ට නම් මේ භූත කතා සිනහ උපදවන ප්‍රලාපයන්ය. එහෙත් උතුරේ අහිංසක මිනිස්සු පිරිසක් මේ මොහොත වනවිට නොදකිනා බලවේගයකට බියෙන් ස්වකීය සුපුරුදු ජීවන රටාව ව්‍යසනයට ලක් කරගෙන සිටිති. ඔවුන්ට මේ මානසික වියවුලෙන් බේරීමට කාගෙන් හෝ උපකාරයක් ඇවැසිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!